අතනෑර රැකගත යුතු මිලේනියම් චැලේන්ජ් | දිනමිණ


 

අතනෑර රැකගත යුතු මිලේනියම් චැලේන්ජ්

ලංකාවේ වටිනා ඉඩම් අමෙරිකාවට පවරා දෙන බවටත්, රටේ වටිනා සම්පත් අමෙරිකාවට දීර්ඝකාලීන බදු ක්‍රමයකට යටත් කරන බවටත් ඇතැම් මාධ්‍ය, විවිධ සංවිධාන, පුද්ගලයන් හා දේශපාලනඥයන් මිථ්‍යා අදහස් ප්‍රචාරය කරති.

ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට ජාත්‍යන්තර “ණය” හා “ආධාර” අත්‍යවශ්‍යය. ‘ණය’ පොලී සහිත හා රහිතව නැවත ගෙවීමට සිදුවන අතර ‘ආධාර’ නැවත ගෙවීමට සිදු වන්නේ නැත. එය පරිත්‍යාගයක් ලෙසද සැලකීමට පුළුවන. ශ්‍රී ලංකාව යනු මේ වනවිට ජාත්‍යන්තර ‘ණය බරින් හෙම්බත්වී සිටින රටකි. එවැනි පසුබිමක ලැබීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි (Millenium Challenge Corporation) වෙතින් අමෙරිකන් ඩොලර් මිලියන 480ක ආධාර මුදල පිළිබඳ කාගෙත් අවධානය යොමුවීම වැලැක්විය නොහැකි වන්නේ එහෙයිනි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය එක්සත් ජනපද කොංග්‍රසය මගින් 2004 වර්ෂයේ දී ද්විපාර්ශ්වික සහයෝගය මත ආරම්භ කරන ලද සුවිශේෂ ආයතනයකි. මෙමගින් දීර්ඝ කාලීන උපදේශන සේවා සහිත හවුල් පදනමක් මත රටවල් සඳහා ආධාර ලබාදෙනු ලබයි. ඒ රජය විසින් මෙහෙයවන විසඳුම් තුළින් දිළිඳුකම තුරන් කරවීම සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම සඳහා ය. මෙම ආධාර වැඩසටහන එක්සත් ජනපද සහ අනිකුත් අන්තර්ජාතික ආධාර වැඩසටහන් සඳහා අනුපූරකයක් ලෙස සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා සැලසුම් කර තිබේ. එමෙන්ම දැඩි අධීක්ෂණ ක්‍රියාවලියකින් හා නිරීක්ෂණ, ඇගයීම් ක්‍රියාවලියක් හරහා ආධාර මුදල් භාවිතය පිළිබඳ හවුල් පාර්ශ්ව රටවල් වගකීමට යටත් කිරීම ද සිදුවේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතීත්වය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් හොබවන අතර එහි සාමාජිකයන් ලෙස භාණ්ඩාගාර ලේකම්, අමෙරිකානු වෙළෙඳ නියෝජිතයන්, USAID සමාගමේ පරිපාලන නිලධාරී, මිලේනියම් චැලේන්ජ්හි ප්‍රධාන විධායක නිලධාරී ඇතුළුව පෞද්ගලික අංශයේ නියෝජිතයන් සිවුදෙනකුගෙන් සමන්විතය. මෙම සාමාජිකයන් සෙනෙට් සභාවේ අනුමැතිය යටතේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි ශ්‍රී ලංකා ශාඛාව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය තුළ ස්ථාපිත කර ඇත.

අනවබෝධය

“දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්‍රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියා කිරීම මගින් දිළිඳුකම පිටු දැකීමේ සහ ජන ජීවිත නඟාසිටුවීමේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු”යි යන්න මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි (M.C.C.) ප්‍රධාන ආදර්ශ පාඨය වේ. සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව සම්පත් වෙනුවෙන් කෙරෙන ආයෝජන සහ ආර්ථික නිදහස මෙම ප්‍රතිපාදන ලබාදීමේදී සැලකිල්ලට ගන්නා ප්‍රධාන නිර්ණායකයන්ය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකන් ඩොලර් මිලියන 480ක ආධාරය පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ලංකාව තුළ මිථ්‍යා මත විශාල ප්‍රමාණයක් ප්‍රචාරය වෙමින් තිබේ. මෙම ආධාර ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති විවිධ මාධ්‍ය, සංවිධාන හා දේශපාලනඥයන් අසත්‍ය තොරතුරු පවසමින් ජනතාව මුළා කිරීමට උත්සාහ කරති. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මූල්‍ය ආධාරය පිළබඳවත්, එමගින් ලැබෙන ප්‍රතිලාභ ගැනත් ජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කිරීම රජයේ වගකීම වන්නේ එහෙයිනි.

යුරෝපය, එංගලන්තය, ජපානය වැනි ධනවත් රටවල්, ලොව දිළිඳු සහ දියුණුවෙමින් පවතින රටවලට උපකාර කිරීමටත්, ආධාර සැපයීමටත් විවිධ ව්‍යාපෘති ස්ථාපිත කර තිබෙන අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අමෙරිකාවේ ස්ථාපිතකර තිබෙන එවැනි ව්‍යාපෘතියකි. ස්වාධීන ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් ආධාර ලබා ගැනීමට අවශ්‍ය රටවල් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. 2015 වසරේදී ශ්‍රී ලංකාව ද ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමුකර තිබූ අතර මිලේනියම් චැලේන්ජ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ රජයෙන්, සිවිල් සමාජයෙන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් හා බුද්ධිමතුන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ආර්ථික සංවර්ධනය ළඟාකරදිය හැකි වැඩසටහනක් සකස්කර එවන මෙන් යෝජනාකර තිබුණි. ශ්‍රී ලංකා රජය හා විවිධ පාර්ශ්ව ලබාදුන් යෝජනා මෙම වැඩසටහනේ සංවර්ධන සහයෝගිතා ප්‍රමුඛතා සකස් කිරීමේදී එම්. සී. සී. ආයතනයේ දැඩි අධීක්ෂණයට පත්ව තිබුණි. ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කර තිබූ ප්‍රමුඛතම අවශ්‍යතා පිළිබඳ යෝජනා, රජය ඒ වනවිටත් ආරම්භ කර තිබූ වැඩසටහන් තවදුරටත් ව්‍යාප්තකර ගැනීමට ආධාර කිරීමට එම්. සී. සී. ආයතනය එකඟ වී තිබේ. ඇගයීම් කටයුතු හා පර්යේෂණ කටයුතු අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවට ආධාර ලබාදිය යුතු යැයි 2018 වසරේදී අනුමත කර තිබුණි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් මේ වනවිට ලෝකයේ රටවල් 30ක් පමණ ආධාර ලබාගෙන තිබෙන අතර මොංගෝලියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, නේපාලය යන ආසියාතික රටවල් ද ඒ අතර වේ. එම ආධාරය ලැබීමට වරම් ලද අලුත්ම රට ශ්‍රී ලංකාව ය. මෙම ආධාරය යටතේ ලංකාවට ලැබෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 480ක් වන අතර එය ලංකාව වැනි රටකට විශාල මුදලකි. ප්‍රධාන ව්‍යාපෘති දෙකකට මෙම ආධාර ඉල්ලුම්කර තිබෙන අතර ඒවානම් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල (Colombo Metropolitan Area) පොදු ප්‍රවාහන කටයුතු නවීකරණය කර දියුණු කිරීමටත්, ඊට අදාළ යටිතල පහසුකම් දියුණුකිරීමටත් ය. ඒ සඳහා ලැබෙන ආධාරයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 350ක් වෙන් කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය මගින් ගමනාගමනය යටතේ කොළඹ සහ මහනුවර අතර පවතින වාහන තදබදය අඩුකිරීම් පිළිබඳ අවධානය යොමුකොට ඇත. ඒ අනුව මෙම වැඩසටහන නිමා වූ පසු ජනතාවට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව තම සේවා ස්ථානවලට ළඟාවීමට හැකිවනු ඇත. එපමණක් නොවේ, කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට අධිවේගී මාර්ගවලට ඉක්මනින් යා හැකි වනු ඇත. පවතින වාහන තදබදය නිසා පිටකොටුවේ සිට දකුණු අධිවේගී මාර්ග පිවිසුමට යාමට කොට්ටාවේ සිට ගාල්ලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගතවන කාලයට සමාන කාලයක් ගතවන බව ජනතාව දනිති. මෙම ව්‍යාපෘතිය මගින් කාර්යබහුල වේලාවන්හි කොළඹ නගරයේ වාහන තදබදය කිලෝමීටර් 205ක ප්‍රමාණයක් අඩුවනු ඇත. නගරය තුළ ගමනාගමනය සඳහා ගතවන කාලය ද 40% කින් පමණ අඩුවේ. ලංකාවේ ජනගහණයෙන් අඩක් පමණ පොදු වාහන සේවා පරිහරණය කරන අතර බස් මාර්ග හා කාලසටහන් ප්‍රතිසංවිධානය වීමෙන් දුප්පත් ජනතාවට ද සහනයක් සැළසෙනු ඇත.

විශේෂ වාසි

පිට පළාත්වල ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමේ හැකියාව ද වර්ධනය වීම මෙම ව්‍යාපෘතියේ තවත් ඵලයකි. කොළඹ වටරවුම් මාර්ගයේ ගමන් කාලය 35% කින් අඩුවන අතරම වාහන අනතුරු හා මරණ සංඛ්‍යාවද අවම වනු ඇත. තවද කොළඹ වරායට භාණ්ඩ ප්‍රවාහනය කඩිනම් වී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය කාර්යක්ෂම වනු ඇත. ලංකාවේ ප්‍රවාහන පද්ධතිය කළමනාකරණය මිලේනියම් චැලේන්ජ්හි පළමු පියවර වන අතර ලංකාවේ භූ දත්ත පරිගණකගතකර නිසි කළමනාකරණයට ලක් කිරීම දෙවැනි අදියර වේ. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 67ක මුදලක් වෙන්කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රජයේ, පෞද්ගලික සියලු ඉඩම් හා භූගෝලීය පිහිටීම් පරිගණකගත කිරීම මෙහිදී සිදුවේ. එහිදී රජයේ පරිපාලන කටයුතුවලට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගත හැකි වන අතර ඉඩම් සම්බන්ධ දූෂණ, වංචා ද හෙළිදරව් කරගත හැකිවේ. එසේම රජයේ ඉඩම්, ආගමික ස්ථානවලට අයත් ඉඩම් හා පෞද්ගලික ඉඩම් මොනවාදැයි වෙන් වෙන්ව පැහැදිලිව හඳුනාගැනීමේ පහසුව ද ලැබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාරය යටතේ කිසිදු ඉඩමක් අමෙරිකානු රජයට හෝ වෙනත් ආයතනයක් වෙත පැවරීමක් සිදු නොවන අතර සියලු වැඩසටහන්වල කළමනාකරණ අයිතිය ශ්‍රී ලංකාව සතුය. ශ්‍රී ලංකා රජය මගින් දැනටමත් ආරම්භකොට ඇති වැඩසටහන් වන දිස්ත්‍රික්ක හතක වර්ග කිලෝමී‍ටර් 46,000ක් ආවරණය වන පරිදි සකස්කරනු ලබන විස්තරාත්මක සිතියම්ගත කිරීම වැනි වැඩසටහන් මත ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වනු ඇත. එමගින් ශ්‍රී ලංකා පුරවැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලියාපදිංචිකොට සුරක්ෂිතව තබා ගැනීමට හැකියාව සැළසෙනු ඇත. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය පරිදි නූතන ක්‍රමවේදවලට අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමට මෙම වැඩසටහන පහසුවනු ඇත.

ව්‍යාපෘති දෙකෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගණනය කර ආධාර ලබාදීම සිදුවන අතර එම ව්‍යාපෘති දෙකට වෙන්කළ මුදල්වලට අමතර ඉතිරි වන මුදල් එම ව්‍යාපෘතිවල පරිපාලන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය. එම ව්‍යාපෘති වසර පහක් තුළ ක්‍රියාත්මක කර සාර්ථකව නිමාකළ යුතු අතර යම් ආකාරයකින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා රජය අපොහොසත් වුවහොත් එම ආධාර නැවත මිලේනියම් චැලේන්ජ් ආයතනයට ලබා දිය යුතුය. ඒ අනුව මෙම ව්‍යාපෘති ඉතා සැලසුම්ගතව, ක්‍රමවත්ව, විනිවිදභාවයෙන් යුතුව අදාළ වසර පහ තුළ ක්‍රියාත්මක කර අවසන්කළ යුතුය. ලබාදෙන ආධාර මුදල් නිසි අයුරින් පරිහරණය කිරීමට එවැනි කොන්දේසි පනවා තිබේ.

මෙවැනි ආධාර රටකට ලබාදීමට සපුරාලිය යුතු කොන්දේසි නිර්නායක කීපයක් යටතේ ක්‍රියාත්මක කරන අතර රටේ ආර්ථික නිදහස මැනිය හැකි දර්ශක අධීක්ෂණය, රටේ ජනතාවට ණය මුදලක් ගැනීමේ පහසුව, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තිබෙන පහසුකම, රටේ අය - වැය ප්‍රතිපත්තිය, ආර්ථිකයේ ස්ත්‍රී - පුරුෂ සහභාගීත්වය, උද්ධමන තත්ත්වය, වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ අධීක්ෂණයක යෙදෙනු ඇත.

නිර්ණායක

රටේ ආර්ථික නිදහස (Economic Freedom) සම්බන්ධ නිර්ණායකය වන්නේ යහපාලනය ය. ඒ යටතේ නීති-රීති ක්‍රියාත්මක කිරීම, දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ රජය කොතරම් ඵලදායී ආකාරයට කටයුතු කරනවාද යන්න පිළිබඳව සැලකිලිමත්වන අතර මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය කොතෙක්දුරට සාර්ථකව ක්‍රියාත්මක වේදැයි අධීක්ෂණය කරයි. ඔවුන්ගේ ඊළඟ නිර්නායකය වනුයේ දූෂණය වළක්වාලීමට ගෙන තිබෙන පියවර මොනවාද හා සිවිල් සමාජයේ නිදහස කොතෙක් දුරට ආරක්ෂාවේද යන කාරණා පිළිබඳවය. ඊට අමතරව රජය, ජනතාව වෙනුවෙන් කරන ආයෝජනය (Investing in People) හා ළමා සෞඛ්‍යය වෙනුවෙන් ආණ්ඩුවේ ස්ථාවරය කොතරම්දැයි ඔවුන් සැලකිලිමත්වී තිබේ. කාන්තාවන්ට හිමි අධ්‍යාපන නිදහස, රටේ සියලු දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබෙනවා ද, සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රජය වෙන්කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණය, නිසි වයසට දරුවන්ට එන්නත් ලබාදෙන්නේද යන්නත්, ස්වභාවික සම්පත් කොතෙක්දුරට ආරක්ෂා කරනවාද, පරිසර හිතකාමී වැඩසටහන් කොතෙක් ක්‍රියාත්මක කරනවාද යන පරිපාලන කටයුතු ගැන අවධානය වඩාත් යොමුකර ඇත. ඉහත නිර්නායක යටතේ ලකුණු ලබාදීමක් සිදුකළ අතර ඔවුන් විසින් තීරණය කළ ලකුණු මට්ටමට ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගත් රටවලට මිලේනියම් චැලේන්ජ් ආධාරය ලබාදීමට කටයුතු කෙරේ. සියලු නිර්නායකයන් වෙනුවෙන් ඉහළ ලකුණු ලබා තිබූ ශ්‍රී ලංකාව එම ආධාර මුදල ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබේ. එය රටේත් ජනතාවගේත් භාග්‍යයකි. National Physical Planning Departmant නම් වූ වැඩසටහන යටතේ දියුණුවන ප්‍රධාන කලාප පහක් (Metro Regent) නම්කර තිබෙන අතර ඒවා කොළඹට අමතරව හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය හා යාපනය වරාය ආශ්‍රිත ගොඩනැඟෙන සංවර්ධිත ප්‍රදේශ වේ. කොළඹ ආර්ථික මධ්‍යස්ථාන මෙන් මෙම වෙළෙඳ කලාප ද සංවර්ධනය කිරීමට නියමිතය. එම සැලසුම අනුව පුරෝකථනය කරන ආකාරයට 2030 වර්ෂය වනවිට ලංකාවේ ජනගහනයෙන් අඩක් පමණ මෙම සංවර්ධිත කලාපවල වාසය කරනු ඇත. තම ආර්ථික කටයුතු වේගයෙන් සංවර්ධනය වන නිසා ජනතාව කොළඹට සංක්‍රමණය වනවා සේම අනිකුත් සංවර්ධිත කලාපවලට ද ජනතාව සංක්‍රමණය වේ. මෙම (Transport Corridor) ප්‍රවාහන පද්ධති කලාප මගින් රටේ සංවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මිලේනියම් චැලේන්ජ් වැඩසටහන යටතේ සිදුවේ.

ආසියානු සංවර්ධන වැඩසටහන යටතේ Asia Railway Network ව්‍යාපෘතියක් සැලසුම්කොට තිබෙන අතර එය මන්නාරමෙන් ලංකාවට සම්බන්ධ වීමට නියමිතය. ඒ අනුව කොළඹ සිට යාපනය, මන්නාරම, හම්බන්තොට, ත්‍රිකුණාමලය දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී. පළමුව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවාහන කෝරිඩෝ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ සැලසුමකි. ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් සැලසුම් කඩිනම් කිරීමට මිලේනියම් චැලේන්ජ් ආධාර උපයෝගී කර ගනු ඇත.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පසු ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අමෙරිකානු නීතිය බවත්, ලංකාවේ වටිනා ඉඩම් අමෙරිකාවට පවරා දෙන බවටත්, රටේ වටිනා සම්පත් අමෙරිකාවට දීර්ඝකාලීන බදු ක්‍රමයකට යටත් කරන බවටත් ඇතැම් මාධ්‍ය, විවිධ සංවිධාන, පුද්ගලයන් හා දේශපාලනඥයන් මිථ්‍යා අදහස් ප්‍රචාරය කරති. පටු දේශපාලන මානයෙන් බලා සත්‍ය විකෘතිකොට ජනතාව නොමග යවමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම මෙහි අරමුණු බව පැහැදිලිය.

මිලේනියම් චැලේන්ජ් ආධාර ගිවිසුම ක්‍රියාත්මක වන වසර පහක කාලය තුළ මෙම ගිවිසුමට යටත් ව්‍යාපෘති වෙනුවෙන් ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තරය හා සම්බන්ධවී සිදු කරන ණය, ආධාර හා ආයෝජන ඇතුළු එවැනි ක්‍රියාවලදී ලොව ඕනෑම රටක බලපවත්වන නීතිය වන්නේ ජාත්‍යන්තර නීතියයි. විදේශ සම්බන්ධතා සමඟ කටයුතු කිරීමේදී යම් මතභේදයක් හෝ ගැටලුවක් මතු වූ විට අප යා යුත්තේ දේශීය අධිකරණයට නොව ජාත්‍යන්තර අධිකරණය වෙතයි. විදේශීය ආයෝජකයකු හෝ ආධාර උපකාර කරන විදේශ ආයතන හා සංවිධාන යටත්වන්නේ ජාත්‍යන්තර නීතියටය. මෙම ක්‍රමය ලංකාවට අලුත් දෙයක් නොවන අතර “හෙජින්” ගිවිසුම සම්බන්ධ ගැටලුවට විසඳුම් ලබා ගැනීමේදී ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පැතීම මෑත කාලයේ වූ සිදුවීමකි. එම නඩු විභාගය ලන්ඩන්වල හා සිංගප්පූරුවේ දී සිදු කෙරුණි.

මිලේනියම් චැලේන්ජ් ආධාර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අපමණය. දියුණු රටක තිබෙන ප්‍රවාහන පද්ධතිය කොළඹ නගරයට ලැබීමෙන් කාර්ය බහුල ජනතාවට කාලය කළමනාකරණය කරගැනීමට පහසුවන අතර ඔවුනට ලැබෙන මිල කළ නොහැකි ලාභයකි. ලොව දියුණු තාක්ෂණ ක්‍රම උපයෝගී කරගත් සාර්ථක පොදු ප්‍රවාහන පද්ධතියක් එමගින් ලැබෙන අතර මාර්ග පද්ධති නවීකරණය වීමෙන් පාසල් දරුවන් ඇතුළු සියලු වෘත්තිකයන්ගේ පහසුවට කටයුතු සිදුවනු ඇත.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ තිබෙන තවත් වැදගත් කොන්දේසියක් වන්නේ රට තුළ කාන්තාවන්ට සිදුවන හිංසන අවම කිරීමට කටයුතු යෙදීමය. උදාහරණයක් වශයෙන් පොදු ප්‍රවාහන පද්ධතිවලදී හා පොදු ස්ථානවලදී කාන්තාවන් වාචිකව හා ශාරීරිකව හිංසනයට ලක්වන අතර ඒ සඳහා ප්‍රමාණවත් නීති ක්‍රියාත්මක කිරීම හා පුද්ගලයන් දැනුවත් කිරීම මෙමගින් සිදුවන සුවිශේෂී ක්‍රියාවලියකි. පාසල් සිසුවියන් හා රැකියා‍වන්හි නිරත තරුණියන් දසදෙනෙකුගෙන් නව දෙනකුම පිරිමින්ගේ විවිධ හිංසනයන්ට ලක්වන බව සිදුකළ සමීක්ෂණවලදී තහවුරු වී තිබේ. දියුණු සමාජයක එවැනි දේ සිදුවිය නොහැකිය. මානව නිදහස ගරු කරන රටක එවැනි ක්‍රියා සිදුවීම වහා නතරකළ යුතුය. ඒ සඳහා සමාජය දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.

වැදගත් අවස්ථාවක්

ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධන කටයුතුවලදී අහිතකර ප්‍රතිලාභ අවම වන ආකාරයටත්, යහපත් ප්‍රතිඵල ලැබෙන ක්‍රමයටත් කටයුතු කිරීමට රජයට හැකියාව ලැබෙන අතර කිසිදු පුද්ගලයකුට හිතුමතයට වන රක්ෂිත විනාශකර විවිධ ඉදිකිරීම් හෝ වෙනත් කටයුතු වෙනුවෙන් හෝ පරිහරණය කිරීමට නොහැකි වේ. ලංකාවේ තිබෙන සියලු ඉඩම්වල තොරතුරු (Special Data) පරිගණකගතවී තිබීම එයට හේතුවය. කවර හෝ ඉඩම් වංචාවක් කළ පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ පහසුව එමගින් ලැබෙනු ඇත. ලොව දියුණු රටවල එවැනි ක්‍රමවේද ක්‍රියාත්මක වේ. ලංකාවේද එවැනි ප්‍රතිපත්ති අනුගමනය කර ඉඩම් පරිපාලනයට අවශ්‍ය පදනම ස්ථාපිත කිරීම මිලේනියම් ච‍ැලේන්ජ් ව්‍යාපෘතියේ ඉඩම් කළමනාකරණයේ තවත් ප්‍රතිලාභයකි.

මෙවැනි ප්‍රතිලාභ රාශියක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අතර තවමත් එම ගිවිසුම අත්සන් කිරීමට ප්‍රමාද කිරීම පුදුමයට කරුණකි. යම් හෙයකින් මෙම ගිවිසුම මෙවර අත්සන් නොකළහොත් යළි කිසිදිනක එවැනි අවස්ථාවක් උදානොවනු ඇත. මක්නිසාදයත් මීට මාස දෙකකට පෙර ලෝක බැංකුව දිළිඳු හා ධනවත් රටවල් වර්ගීකරණය කළ අතර එම වර්ගීකරණයට අනුව ලංකාව මේ වනවිට ඉහළ ආදායම් ලබන රටවල් අතරට වැටී තිබෙන බැවිනි. ඒකපුද්ගල ආදායම අමෙරිකන් ‍ඩොලර් 4000 ට වඩා ඉහළ ප්‍රතිශතයක් ගත් රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ගණයට සළකන අතර එවැනි රටවල් සඳහා මූල්‍ය ආධාර ලබා නොදෙනු ඇත.

ලංකාවට මිලේනියම් චැලේන්ජ් ආධාරය ලබාදීම සුදුසුයැයි අනුමතවී ඇත්තේ 2018 වසරේදී බැවින් අනුමත වූ ආධාරය ලබාගැනීමට බාධාවක් නැත. එම තත්ත්වය මත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 480ක මූල්‍ය ආධාරය ලංකාවට ලැබෙන අවසන් මුදල් ආධාරය වනු ඇත. යම් හේතුවක් නිසා හෝ ලංකාව මෙම ආධාරය ලබා නොගතහොත් යළි කිසිදා අපට මෙවැනි ආධාර නොලැබෙනු ඇත.

රටේ සංවර්ධන ක්‍රියාවලිය හා ජන ජීවිත සංවර්ධනය උදෙසා මෙම ආධාරය ලබා ගැනීම තවත් ප්‍රමාදකළ යුතු කටයුත්තක් නොවනු ඇත. එසේ නොවුවහොත් ශ්‍රී ලාංකික අපට සදා පසුතැවීමට සිදුවනු නොඅනුමානය.

සටහන - නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න