භාෂාව මරන්න බෑ | දිනමිණ

භාෂාව මරන්න බෑ

සිංහල නාට්‍ය බැලීමට එන සෙනඟට වඩා ඉංග්‍රීසි නාට්‍ය බලන්න එන අය වැඩියි කියල එක් කලාකරුවෙක් කියල තිබුණ. ඔහු ඒ ගැන කම්පා වෙන බවයි පෙනුනේ. ඒකට හේතුව කුමක්ද කියලත් ඔහු ප්‍රශ්න කළා. තව තැනක යමෙක් මතු කළා වෙනම ප්‍රශ්නයක්, මෙහෙම ගියොත් සිංහලය වඳ භාවයට පත් වෙලා යල්පැනගිය තැනකට යයි ද කියල.

ඇත්තටම ලෝකය පුරා ඉංග්‍රීසිය පැතිරෙන හැටියට හැම භාෂාවක්ම එයට ඉඩ දීල ගමන යන තැනට පත් වෙනව. ගෝලීයකරණයේ දී එය නිකම්ම මතුවන තත්ත්වයක්. ඒත් ඉංග්‍රීසි හැම තැනම එක වගේ පැලපදියම් වෙන්න තව කලක් යයි. ඇත්ත තමයි මහා බ්‍රිතාන්‍යෙය් අයිරිශ්, ස්කොටිෂ්, වේල්ස් යන භාෂා තුනක් හැටියට වෙනම තිබුණේ. නමුත් ඒවා දැනටමත් අභාවයට පත් වෙමින් යන බවයි පේන්නේ. වරින් වර ඒ භාෂාවන් ගැන කෑකෝ ගැහිලි ඇති වුණත් අලුත් පරම්පරාවන් ඉංගිරිසිකාරයන් ලෙස පෙනී සිටීමේ වාසිය අමතක කරල නෑ. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය ඉංග්‍රීසිය තම තමන්ගේ රාජ්‍ය භාෂාව කරගෙන තියෙන්නේ.

ඒ අතර යුරෝපානු එකමුතුවෙත් ඉංග්‍රීසි සම්බන්ධතා භාෂාව බවට පත් කරල තියෙන්නේ. ඒ නිසාම එංගලන්තය යුරෝපයෙන් වෙන්වීම විහිලු වැඩක් කියල කියන තැනට පත් වෙලා. මේ විදියට හැම රටකම ඉංග්‍රීසිකාරයන් මතුවෙලා. චීනය, රුසියාව තුළත් එම බසට ලොකු ඉඩක් තියෙනව. මේ ගලාගෙන යන දෙයක්. එය ආපසු හරවන්න බෑ.

ඒ වුණත් මෙහෙම ගියාම අනෙක් භාෂාවන්වලට මොනවා වෙයිද කියල ප්‍රශ්න කෙරෙනවා. ඇත්තටම හැම භාෂාවක්ම යොදා ගැන්මම විශාල සංවර්ධනයක් වෙන්න පුළුවන්. උදාහරණ හැටියට සිංහල භාෂාවෙන් තිබෙන දර්ශනවාදී පොත්-පත් හා ග්‍රන්ථවල තිබෙන අදහස් හා සංකල්ප අනෙක් බසට එකවරම ගේන්න බෑ. ඒ තුළින්ම අදහස් අමුනා ගෙනයන්න වෙනව. බුදු බණවල සාකච්ඡා වෙන කර්මය, නිර්වාණය වැනි වචන වුණත් එහි අරුත් නිවැරදි තේරුම් සහගතව ඇතුලට ගන්න ඉංග්‍රීසියට සිදු වෙලා තියෙනව. මේ අනුව කිසිම භාෂාවක් ලේසියෙන් ඉවත් කරන්න බෑ. අදත් සංස්කෘත, පාලි වගේම යුදෙව් භාෂාවමත් තවම දර්ශනවාදී කතා බහට ලොකු ඇතුල්වීමක් කරනව. ආගම් තියෙන තාක් කල් මෙම ආගම්වලට ඈඳුන භාෂාවන් ඉවත් කරන්න බැරි වෙනව. සිංහල භාෂාවත් ඒ නිසාම කුණු ගොඩට තල්ලුවෙයි කියල හිතන්න අමාරුයි. තාම අපි ලියනව, අලුත් අදහස් දක්වනව, ඒවාට හරියන ඉංග්‍රීසි ලිවීම් මතු වෙලා නෑ. ඒ නිසා අපි ලියනකල් සිංහලය ඉවත් කරන්න පුළුවන් වෙන එකක් නෑ.

හැබැයි ඒ නිසාම සිංහල කලාව විහිදී යයි කියල කියන්න බෑ. කලාව කලාකරුවා විතරක් නොවෙයි රස විඳින්නාත් සමඟයි පටන් ගන්නේ. රස විඳින්නන් ඉංග්‍රීසි දැනුමට වහල් වන දිනය මෑතක වෙන්න බෑ. ඒක සම්පූර්ණ වන එකකුත් නෑ. ඇත්තටම අද වෙන කොට සිංහල නාට්‍යය වෙනුවට ඉංග්‍රීසි නාට්‍ය ප්‍රචලිත වෙනව නම්, එයට වෙන හේතු තියෙන්න පුළුවන්. සමහර විට අර සරමට වඩා කලිසම ප්‍රිය කළා වගේ වැඩක් වෙන්නත් පුළුවන්. එයින් සමාජයේ ඉහළ තැනකට යන්න පුළුවන් බව පෙනුනා නේ. වඩා හොඳ ගැඹුරු තේරුම් ඇති නාට්‍ය ඉංග්‍රීසි ඒවා තමයි කියන අදහස පවතිනව වෙන්නත් පුළුවන්. වියදම් කරන විට දැන් හැමෝම මැනල බලනව කෝකද ප්‍රමුඛව කරන්න ඕන කියල. ඇඳ පැළඳ ගෙන පයින් ඇවිදගෙන යන්න තරුණ අය කැමති නෑ. ත්‍රී වීලර් එකක් අරන් යන්න තමා බලන්නේ. ඒ නිසා ත්‍රීවීලර් කරුවන්ට බැනල වැඩක් නෑ. මොකද ඒ ඇත්තෝ නොවෙයි මේ මාර්කට් එක හදල තියෙන්නේ. නූතනත්වය එයට තැන දීල තියෙනව. ඇවිදීම අඩුයි-තදබදය වැඩියි.

ජැන්ඩියට ඇඳල, ත්‍රීවීල් එකේ ඇවිත්, බලන්න නම් නූතන වින්දනයට ගැපෙන නාට්‍යයක් විය යුතුයි. නිකම් සරල, ගැම්මක් නැති දෙයට තරුණයන් එන්නේ නෑ. සාරයක්, ගැඹුරක්, අර්ථයක් ඇති දෙයකට ඒ අය ඇඳිල යනව. දැන් කාලේ අම්මා තාත්තා වුණත් නාඩගම් බලන්න ගියා, ඇහැලේපොල නාට්‍ය බලන්න ගියා කිව්වහම කට අැඹුල් කර ගනියි. ඉංග්‍රීසි නාට්‍යයක් බලන්න ගියා කීවහම ටක්ගාල තේ කෝප්පයකුත් හදල ගෙනත් දෙයි. එහෙම නුතන තත්ත්වයක් ඇති වෙලා තියෙනව. එය වටහාගෙන සිංහල කලාකරුවන් නූතන හැඩරුව රැගෙන කලාවට බහින්න වෙනව. මේ විදියට නූතන ගමනට හරස් නොවී සියලු අදහස් සම්ප්‍රදායයන් නූතන අඩවියට ගෙන යමින් මේ සටන ජය ගත යුතුයි. නූතන ලෝකයට, ගොලීයකරණය වූ, ලෝකයට අපව ඇදගෙන ගිහින් ඉවරයි. එයින් බඩු ලාබ වෙලා, කලාවත් අමුතු වෙලා තියෙන්නේ. එයට විරුද්ධව සටන දැන් විහිලුවට පත් වෙලා. වෙන දේ වෙලා ඉවරයි. අපි සාධාරණය හා ගුණය වෙනුවෙන් සටන් කළ යුතුයි.

එහෙම කළොත් සිංහල මැරෙන්නේ නෑ. ලස්සනට හොඳට දැනෙන ලෙසට ඇත්ත යුත්ත කියා දෙනව නම් සිංහල මැරෙන්න හේතුවක් නෑ. නූතනය ප්‍රකාශ වෙන වචන අපි හදන්න ඕනා. අලුත් තේරුම් දිය යුතු වෙනව ඒ මගින්. එක තැන ඉඳල බෑ. භාෂාව පවතිනව නම් එයින් නිතරම සංවර්ධිත, දියුණු අදහස් ගලාගෙන ආ යුතුයි. භාෂාව අදහස්වලට මිස අදහස් භාෂාවට නොවන බව අපි වටහා ගත යුතුයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

නව අදහස දක්වන්න