රේගුව සතු රත්තරන් කිලෝ අටක් බැහැර කිරීම | දිනමිණ

රේගුව සතු රත්තරන් කිලෝ අටක් බැහැර කිරීම

කමනි අල්විස්

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි උපදෙස්

රේගුව රාජසන්තක කර තිබූ රත්තරන් කිලෝ අටක් අනුරාධපුරයේ සඳහිරුසෑයේ තැන්පත් කිරීමට අවශ්‍ය රනින් නිම කළ සමාධි පිළිමයක් සෑදීම සඳහා 2014 වර්ෂයේ දී මුදාහැරීම සම්බන්ධයෙන් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර, විශ්‍රාමික අතිරේක ‍රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පෙරේදා (19) පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දුන්නේය.

අදාළ සැකකරුවන්ගේ උදෘත අඩංගු ගොනු වහාම නීතිපතිවරයාට එවීමට පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා තිබේ.

ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ රත්තරන් කිලෝ අටක ප්‍රමාණයක් වංචනිකව හෝ වංචනිකව බැහැර කිරීමෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද සිදු කිරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ 389වැනි වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව ඇති බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජ‍යේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය. එවකට හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා විසින් රත්තරන් කිලෝ අටක අවශ්‍යතාව සඳහන් කරමින් සැකකාර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් නිකුත් කර තිබේ.

වසර 2014 ඔක්තෝබර් පළමුවැනිදා උතුරු මාදගල් මුහුදේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබුණ රත්තරන් කිලෝග්‍රෑම් හතළිස්පහයි දශම තුනකට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාවේ අත්අඩංගුවට පත්විය. රේගුව විසින් එම රන් තොගය රාජසන්තක කර තිබේ. මේ රන් තොගයෙන් කිලෝ අටක් නිකුත් කරන ලෙසට නාවික හමුදාපතිවරයා ඉල්ලා තිබුණත් එම රන් තොගය අභියාචනා කාලසීමාව යටතේ පැවතීම හේතුවෙන් එයින් රත්තරන් නිකුත් කිරීමක් සිදුකර නැත. ඒ වෙනුවට අභියාචනා කාලසීමාව ඉවත්වූ වෙනත් රන් තොගයකින් අදාළ රන් කිලෝ අට මුදාහැර තිබේ.

බුදුපිළිම වහන්සේ තුන්නමක් නිර්මාණය කර තිබෙන බවටත් තොරතුරු ඇත. සැබෑ රන් පිළිමය විහාරය තුළ තැන්පත් නොකළ බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

රාජසන්තක වූ හෝ රාජසන්තක කළ ‍රේගු භාණ්ඩ රජයේ දේපළ ලෙස සැලකේ. එවැනි භාණ්ඩ බැහැර කිරීමට රේගු ආඥා පනත යටතේ රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසරයක් ලබාදී නොමැත.

රාජසන්තක වූ භාණ්ඩ විකිණීමකින් තොරව එහි සැබෑ අයිතිකරුවන්ට සුදුසු කොන්දේසි යටතේ මුදාහැරීමේ බලය පැවරී තිබෙන්නේ මුදල් ඇමැතිවරයාටය.

සැකකාර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රන් කිලෝ අට නාවික හමුදාවට මුදාහැරීමත් අතිරේක ‍රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා නිර්දේශයක් ලබාදී තිබේ.

නව අදහස දක්වන්න