ජනාධිපතිවරණය! | දිනමිණ

ජනාධිපතිවරණය!

ජනාධිපතිවරණය පිළිබඳ දින-වකවානු ප්‍රකාශයට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇතැ’යි ද සිතන්නට පුළුවන. ඊට අදාළ ප්‍රධාන සාධක දෙකක් මෙහිලා සඳහන් කළ හැකි ය. පැෆරල් සංවිධානය යෝජනා කර ඇති පරිදි සියලු අපේක්ෂකයන් එක ම වේදිකාවකට රැගෙන’විත් මහජන සංවාදයක් ඇතිකිරීමට නියමිත ය. එහිදී සාකච්ඡාවට ගනු ලබන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න බව ද කියති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙන පරිදි නිදහස් හා ස්වාධීන මැතිවරණයක් සඳහා අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය වී තිබේ. මේ සාධක දෙකෙන් ම පෙනීයන්නේ මහජනයා අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රීය අයිතියට හා නිදහසට බාධාවක් එල්ල නො වන බව ය.

රටේ ජනතාව අපේක්ෂා කරන්නේ පවත්නා ගැටලුවලට ස්ථාවර විසැඳුමකි. එම විසැඳුම ඇතිකළ හැක්කේ අනාගතය පිළිබඳ දැක්මක් ඇති නායකයකුට පමණි. නායකයන් හා දේශපාලන ව්‍යාපාර රටේ අනාගතය සඳහා විවිධා’කාර ‍සැලැසුම්, ප්‍රතිපත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරන අතර ඒවා පිළිබඳ සංවාදයක යෙදීමට මහජනයාට ඇති ඉඩකඩ සීමිත ය. විශේෂයෙන් දේශපාලන නායකයන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් මහජනයාට නැත. පැෆරල් සංවිධානය එම අවස්ථාව ලබා දීමට යයි. දේශපාලකයා හා ඡන්දදායකයා මුහුණට මුහුණ සම්මුඛ කිරීම හා දෙපාර්ශ්වයම නිදහස් හා විවෘත සංවාදයකට එකතුකර ගැනීම දියුණු ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයකි. අමෙරිකාව මේ ක්‍රමය භාවිත කරයි.

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැවැතියේ පොරොන්දු දේශපාලනයකි. දේශපාලකයා වේදිකාවක සිට පොරොන්දු ගොන්නක් දිග හරින අතර ඒවා නිරීක්ෂණය කොට මහජනයා ඡන්දය ලබා දෙති. නොමිලේ හාල් සේරුවක් ලබාදීම, ධාන්‍ය රාත්තල් අටක් ලබාදීම, පාන් මිල පහත දැමීම වැනි සිල්ලර කාරණා මත ආණ්ඩු වෙනස් වූ අවස්ථා තිබේ. තමිල්නාඩු දේශපාලනයේ එක් බල පෙරැළියකට හේතු වූයේ මහජනයාට වර්ණ රූපවාහිනී ලබාදීම සඳහා දේශපාලන නායකයකු දුන් පොරොන්දුවකි. ඔහුට ජයග්‍රහණය හිමිවිය. මීට වඩා වැදගත් හා ගැඹුරු දේශපාලනයක් අපට තිබිය යුතු ය. නායකයා ගැන සේ ම රටේ අනාගතය ගැන ද විමසිලිමත් වන ඡන්දදායකයන් අපට අවශ්‍ය කෙරේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අභියෝග ගණනාවකට මුහුණ දෙන රාජ්‍යයකි. ඉන් ප්‍රධාන වන්නේ ආර්ථික අභියෝගය බව කාගේත් පිළිගැනීම ය. ආදායම් උපදවන දියුණු ආර්ථිකයකට අවශ්‍ය පදනම එක අතෙකින් ගොඩනැඟෙයි. තව අතෙකින් ඒවා ඉදිරියට පවත්වාගැනීම අභියෝගයට ලක්වෙයි. ආර්ථිකය සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තියක් හා ජාතික වැඩපිළිවෙළක් අපට නැත. ප්‍රධාන දේශපාලන ධාරා දෙක එකිනෙකට පරස්පර ප්‍රතිපත්ති හා සැලැසුම් ක්‍රියාවට නංවමින් සිටින බව ඉතා පැහැදිලි ය. බලයට පත්වන ආණ්ඩුව පැවැති ආණ්ඩුවේ වැඩසටහන් කණපිට හරවන තැනක සිටී. ඒ හැරෙන්නට ආර්ථිකයට බලපාන අනෙක් ප්‍රධාන ගැටලුව වන්නේ විදේශීය ණය බර ය. ණය හා පොලී ගෙවීම සඳහා ජාතික ආදායම ප්‍රමාණවත් නො වන අතර ඒවා ගෙවීම සඳහා තව - තවත් ණය ගැනීමට සිදු වී ඇත. ණය උගුලෙන් වහා ගැලවිය යුතුව තිබේ.

සියල්ල ගොඩනැඟීම සඳහා දේශපාලන ස්ථාවරත්වයක් ද පැවැතිය යුතු ය. එකිනෙක දේශපාලන ධාරා අතර මූලික දේශපාලන රාමුව සම්බන්ධයෙන් පවා සම්මුතියක් නැත. ඒ හැරෙන්නට එකිනෙක පක්ෂ තුළ වෙන ම අර්බුද පවතී. ජනාධිපතිවරණයක් ප්‍රකාශ වී ඇති අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යෝජනා ගෙන එයි. ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාව ‍මඟින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන්නේ ප්‍රධාන ඉලක්ක දෙකක් ජය ගැනීම සඳහා ය. පළමු ඉලක්කය වූයේ බලවත් තීරණ ගනිමින් වේගවත් සංවර්ධනයක් රටට ලබා දීම ය. දෙවන ඉලක්කය වූයේ එක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රබල ම දේශපාලන ප්‍රවාහය බවට පත් කිරීම ය. ජයවර්ධන මහතා ස්වකීය ඉලක්ක දෙක ම ජයගත් බව ඉතිහාසය නිරීක්ෂණය කරන විට පෙනී යයි.

විධායක ජනාධිපති ක්‍රමය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයකට ඔරොත්තු නො දෙන සාධකයක් බව සත්‍යයෙකි. ඒ මඟින් දරුණු ඒකාධිපති පාලකයකු බිහිවිය හැකි ය. විධායක ජනාධිපති ක්‍රමයේ සාධනීය හා නිෂේධනීය ලක්ෂණ ගැන සංවාද වට ගණනාවක් පවත්වා ඇත. ඒ පමණක් නො ව; මේ ක්‍රමය වෙනස් කරන බවට නායකයන් ම ප්‍රතිඥා දී තිබේ. එහෙත් එය සිදුවූයේ නැත. විසිවන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ එය වෙනස් කළ හැකි ව තිබේ. එහෙත් ඊට සුදුසු ම අවස්ථාව මෙය නො වේ. එක අතෙකින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් වී ඇත. තව අතෙකින් ජනතාව ඒ සඳහා පෙළගැසෙමින් සිටිති. මේ මොහොතේ සිදුවිය යුත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමය.

රටේ නායකයන් ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු අවස්ථාවක් පැමිණ ඇතැ’යි සඳහන් කළ හැකි ය. දේශපාලන තීන්දු ගැනීමේ දී නායකයන් අනුවණ ලෙස ක්‍රියා කළහොත් විනාශ ගණනාවක් සිදු විය හැකි ය. දැන් කළ යුත්තේ නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සඳහා සියලු පක්ෂ සාමූහිකව ක්‍රියා කිරීම යැයි කිව හැකිය. රටේ සිවිල් සංවිධාන පමණක් නො ව; රාජ්‍ය නො වන සංවිධාන පවා නිදහස් ජනාධිපතිවරණයකට අවශ්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත් වී සිටිති. එය යහපත් ලක්ෂණයකි. මැතිවරණ කොමිසම ස්වාධීනය. පොලිසිය ස්වාධීන ය. 2015 සිට රට තුළ පෞද්ගලික නිදහස ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු වී තිබේ. මේ පසුබිම පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මූලික පදනම ගොඩනැඟී ඇති බව ය. මේ මොහොතේ ඊට බාධා කරන ඕනෑ ම වැඩසටහනක් අනුමත කළ නොහැකිය.

නව අදහස දක්වන්න