තේරීම් කාරක සභාව! | දිනමිණ

තේරීම් කාරක සභාව!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අදහස් දැක්වීම සිවිල් සමාජයේ අගය කිරීමට ලක් වී ඇත. එයින් පෙනී යන්නේ රටේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන බව යැයි ද සිවිල් සමාජය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මුලින් කියා සිටියේ ‍තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන බව ය. එබඳු බලයක් හා අයිතියක් ජනාධිපතිවරයාට ඇති බවද පිළිගත යුතු ය. එහෙත් සමාජයේ පැවැති පොදු මතය වූයේ ජනාධිපතිවරයා තේරිම් කාරක සභාවට සහභාගී වුවහොත්; ඒ මගින් පාස්කු සිද්ධිය පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් ලබාගත හැකි බවය.

ජනාධිපතිවරයා අවසන් ලෙස ජනමතය නිරීක්ෂණය කර ඇති බවද වඩාත් යුක්තිසහගත තීරණයක් ගෙන ඇති බවද පෙනී යයි. රටේ ආරක්ෂක අංශවල ප්‍රධානයා වන්නේ ජනාධිපතිවරයා ය. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානයා වන්නේ ද ජනාධිපතිවරයා ය. ඒ අනුව පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනයක දී ජනාධිපතිවරයාගේ අදහස් ඉතා වැදගත් වෙයි. මෙහිදී තේරීම් කාරක සභාව ද නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජනාධිපති කාර්යාලය වෙත ගොස් අදහස් විමසීම වැදගත් පියවරක් ලෙස සැලැකිය හැකි ය. අදහස් ඉදිරිපත් කිරිීම සාර්ථක ලෙස සිදු වු බවද ඉතා ඉක්මනින් වාර්තාව ලබාදිය හැකි බවද ‍තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ප්‍රකාශකර ඇත.

පාස්කු ප්‍රහාරය යනු රටේ සියලු ක්ෂේත්‍ර පසුබෑමට ලක් කළ සිද්ධියකි. ඒ හැරෙන්නට රටේ අනාගතය පිළිබඳ බරපතළ බලපෑමක් ද එයින් සිදු වී ඇත. මෙබඳු සිද්ධියක් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට නිවැරැදි දත්ත හා ‍තොරතුරු ලබාගැනීම ද අනාගතයේ එවැන්නක් නොවීමට පියවර ගැනීම ද රජයක යුතුකම වෙයි. ඒ අනුව ප්‍රධාන විමර්ශන දෙකක් ආරම්භ විය. එකක් ජනාධිපති කොමිෂන් සභාව ය. අනෙක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ය. මේ දෙකෙහි ම අරමුණ ඉදිරියේ දි මෙබඳු අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම සඳහා පියවර ගැනීමට අදාළ නිර්දේශ ලබා ගැනීම ය. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලැබී ඇත. තේරීම් කාරක සභාවේ වාර්තාව ද ඉතා ඉක්මනින් ලැබෙනු ඇත.

ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව හමුවේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ නම්; එහි වාර්තාව අංගසම්පූර්ණ එකක් වන්නේ නැත. තව අතෙකින් ඉහත හේතුව නිසා තේරීම් කාරක සභාවේ වාර්තාව තවදුරටත් ප්‍රමාද වීමට ද ඉඩ තිබිණි. නායකයන් බුද්ධිමත් ලෙස ද නම්‍යශීලී ලෙස ද කටයුතු කරන විට රාජ්‍ය පාලනය පහසු වෙයි. ජනාධිපතිවරයා හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලකයකු බවද තමන් සතු බලය පවා අත්හරින නායකයකු බව ද ප්‍රකටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට හඬක් නැගූ ජනාධිපතිවරයා එය යම්තාක් දුරකට ක්‍රියාවෙන් ද සනාථ කර පෙන්වීය. තේරීම් කාරක සභාව ඉදිරියේ ජනාධිපතිවරයා පෙනී සිටීම කෙනකුගේ විවේචනයට ලක්විය හැකි වුව; එම විවේචනය සාධාරණ යැයි කිව නො හැකි ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබුණේ ආරක්ෂක ප්‍රධානීන් වෙත ය. හිටපු පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ද ඒ අතර සිටියෝ ය. ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබුණ ද, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම මෙහි දී එල්ල වූ ප්‍රධාන හා බරපතළ චෝදනාවකි. ආරක්ෂක ප්‍රධානීන් ‍තේරීම් කාරක සභාව හමුවේ මීට අදාළ විවිධ සාක්ෂි හා හේතු - සාධක දක්වා තිබිණි. ආරක්ෂක ප්‍රධානීන් ඇඟ බේරා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ද චෝදනාවක් එල්ල විය. ජනාධිපතිවරයා මීට අදාළව ලබාදී ඇති අදහස් වන්නේ කිසිදු ආරක්ෂක ප්‍රධානියකු ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කර තිබුණේ නැති බව ය. ඉන් පෙනී යන්නේ ඇතැම් ආරක්ෂක ප්‍රධානීන් තම රාජකාරිය පැහැර හැර ඇති බවකි.

මෙබඳු සභාවක දී කළ යුත්තේ එකිනෙකා වෙත ‍‍‍චෝදනා ඉදිරිපත් කිරීම නොව; සත්‍යය සොයා ගැනීම බව සිහිපත් කළ යුතු ය. කෙනකු දේශපාලන අභිලාස ඇතිව නායකයන් විවේචනය කිරීමට සූදානම් විය හැකි ය. එහෙත් එබඳු උත්සාහවලින් තේරීම් කාරක සභාවේ වාර්තාව සාධනීය එකක් වන්නේ නැත. සිදුවිය යුත්තේ අනාගතයේ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම නම්; ඒ සඳහා සාමූහිකව හා සත්‍යවාදීව ක්‍රියා කළ යුතු බව මතක් කර දීම වටී.

යේමනයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් සෞදි අරාබියේ තෙල් පරිශ්‍ර දෙකකට පහර දී සති දෙකක්වත් ගතවී නැත. ඉතා දැඩි ආරක්ෂක තත්ත්වයන් යටතේ පවා සූක්ෂ්ම ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්ත සංවිධාන සමත් වී සිටිති. එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යාත්‍රා දහයක් යොදාගෙන තිබිණි. සෞදියට මීට පෙර ද ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබිණි. තෙල් පරිශ්‍රවලට පහරදීම ඊට වඩා බරපතළ ය. ත්‍රස්තයන්ගේ ඉලක්කය වන්නට ඇත්තේ සෞදි ආර්ථිකය දුර්වල කිරීම යැයි සින්නට පුළුවන. ත්‍රස්ත සංවිධානවල අරමුණු හා ඉලක්ක විවිධාකාර ය. ඒවා සාක්ෂාත් කරගනු ලබන උපායමාර්ගද විවිධාකාර ය. ඇතැම්විට බලවත් රටවල සහයෝගය ත්‍රස්ත සංවිධානවලට ලැබෙන අතර තවත් විටෙක ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ද ඔවුනට ලැබේ. මෙහි අර්ථය වන්නේ සාමූහික ලෙස ත්‍රස්තවාදයට මුහුණදීම වඩා වැදගත් බව ය.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් පසු රට යථා තත්ත්වයට ගැනීමට ද, ප්‍රහාරකයන් කොටු කර ගැනීමට ද ආණ්ඩුව සමත් විය. මේ වන විට ද නොකඩවා අවශ්‍ය මෙහෙයුම් හා නිරීක්ෂණ සිදුවෙයි. එය හොඳ තත්ත්වයකි. ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වැදගත් තොරතුරු හා දත්ත රාශියක් ද විමර්ශන ඔස්සේ ලබාගැනීමට හැකියාව ලැබී ඇත. ඇතැම් තොරතුරු හා දත්ත ප්‍රසිද්ධියට පත් කර නැත. මෙබඳු සිදුවීම් පිළිබඳ සියල්ල මහජනයා දැනගත යුතු යැයි නියමයක් නැත. ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව ඉදිරියේ අදහස් දැක්වීම ද විද්‍යුත් මාධ්‍ය මඟින් විකාශය කළේ නැත. එය බුද්ධිමත් තීරණයක් හැටියට ද පෙන්වා දිය හැකි ය. කෙසේ වුව තේරීම් කාරක සභාව හමුවට පැමිණීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වීම අතිශය වැදගත් බව මෙහිලා සටහන් කර තැබිය යුතු ය.

 

නව අදහස දක්වන්න