අධ්‍යාපනයට වැට කඩුලු බැඳිය නොහැකියි | දිනමිණ

අධ්‍යාපනයට වැට කඩුලු බැඳිය නොහැකියි

සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය විශ්ව විද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ඒ ආකාරයෙන්ම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බව කියා සිටියේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කරන ලද වෛද්‍ය සිසුන් සහ මාපියන් සමඟ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති හමුව අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විදේශ විනිමය ලෙස වසරකට රුපියල්කෝටි 800ක මුදලක් පිටරටට ගලා යන බවයි.

අධ්‍යාපනයේ තරගකාරිත්වයට වැට කඩුලු බැඳිය නොහැකි අතර එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි අන්දමින් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසර කිහිපය පුරා ඇතමුන් විසින් තම පටු දේශපාලන වුවමනා ඉටුකර ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් මෙහය වුවද එමසිසුන් රැක ගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳාදීමට තමන් කැපවූ බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රටේම දරුවන් තම දරුවන් ලෙස සලකන බව පැවසූ ජනාධිපතිවරයා දෙමාපියන් තම දරුවන්ට ආදරය කරන තරමින් පාලකයන් ද රටේ දරුවන්ට ආදරය කළ යුතු බවද කියා සිටියේය.

ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරාල් සර් ජෝන්කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහත්වරු සහ ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න