ජනපතිවරණය නිමවන තුරු දේශපාලනඥයන් නංවන්න රාජ්‍ය දේපළ - උත්සව බෑ | දිනමිණ

ජනපතිවරණය නිමවන තුරු දේශපාලනඥයන් නංවන්න රාජ්‍ය දේපළ - උත්සව බෑ

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසාන වනතෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිතා කර දේශපාලනඥයන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

රජයේ, පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැයකරමින් සිදුකරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සව අවස්ථාවලදී දේශපාලනඥයන් ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීම හෝ සිදු නොකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.රාජ්‍ය උත්සවවලදී සිදුකරන එවැනි ප්‍රවර්ධන කටයුතු හෝ අගතියට පත්කිරීමේ කටයුතු හෝ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ජනාධිපතිවරණ කාල සීමාව තුලදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට කිසිදු අකාරයකට බාධාවක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබේ. එමෙන්ම මැතිවරණයට අදාළව පැමිණිලි ලබාදීම සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවලට මේ වන විටත් එවැනි පැමිණිලි කිහිපයක්ම ලැබි ඇති බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න