රබර් සංවර්ධනයට නව පිවිසුමක් | දිනමිණ

රබර් සංවර්ධනයට නව පිවිසුමක්

ශ්‍රී ලංකාවේ රබර් අස්වැන්න සාමාන්‍යයෙන් හෙක්ටයාරයට කිලෝ ග්‍රෑම් 800 ක් පමණ වේ. නවීන පිරිමැසුම්දායක වඩාත් ඵලදායි ක්‍රම හඳුන්වාදීමෙන් හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 2000 ක පමණ අස්වැන්නක් ලබාගත හැකි යැයි අපේක්ෂා කෙරේ. එසේම චීන ව්‍යවසායකයන්ගේ අනුග්‍රහයෙන් කුඩා රබර් ඉඩම් හිමියන්ටද සිය නිෂ්පාදන සඳහා ස්ථිර වෙළෙඳ පොළක් නිර්මාණය වනු ඇත.

එදා පැවැති ඉංග්‍රීසි පාලනයේ මෙහෙයවීම සිට 1876 දී ගම්පහ හෙනරත්ගොඩ උයන් බිමේදී රබර් ඇට 1919 ක් සිටුවා ආරම්භ කරන ලද මෙරට රබර් වගාව අද වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික වගාවක් බවට පත්ව තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් රබර් වගාව ව්‍යාප්තව තිබේ. එසේම තවත් ප්‍රදේශ කීපයක රබර් වගා ආරම්භ කිරීමේ මූලික කටයුතු ඇරැඹී ඇත. ඒ අතර උතුරු නැගෙනහිර පළාත් ද වෙයි. ලංකා භූමි තලයෙන් හෙක්ටයාර 1,36 000 ක් විශාල ප්‍රදේශයක රබර් වගාව ව්‍යාප්තය.

1880 කෝපි වගාව “වසංගත” රෝගයකින් වැනසී යෑම සමග ආයෝජකයෝ තේ වගාවටත්, අනතුරුව රබර් වගාවටත් යොමු වූහ. මේ ආයෝජකයන් අතර විදේශීය හා දේශීය පිරිස් ප්‍රමුඛත්වය ගත්හ. 1910 – 1912 අතරතුර කාලයේදී රබර් සඳහා විශාල ඉල්ලුමක් ලෝක වෙළෙඳ පොළ තුළ දක්නට ලැබුණි.

එසේම පළමුවන ලෝක යුද්ධය සමග රබර් නිෂ්පාදන සඳහා ප්‍රබල ඉල්ලුමක් ඇති විය. යුරෝපයේ සහ ඇමෙරිකාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය දියුණුවීම රබර් වගාවේද දියුණුවට හේතු විය. 1910 රබර් අපනයනය ටොන් 1600ක් වුවත්, 1916 වන විට රබර් අපනයනය ටොන් 24000 දක්වා වැඩිවිය. ක්‍රමයෙන් වෙළෙඳ පොළ තුළ රබර් වගාව විවිධ පෙරළිවලට මුහුණ දුන් අතර කෘත්‍රිම රබර් වෙළෙඳ පොළට පැමිණීම රබර් වගාවට එල්ල වූ ලොකුම අභියෝගයයි.

නිෂ්්පාදනයේ අවදානම

රබර් වගාවේ සංයුතියේ හැඩතල ද අද වනවිට වෙනස්ව තිබේ. 1927 වනවිට අක්කර 1000 ට වඩා විශාල රබර් වතු හිමියෝ රාශියකි. ඔවුන් අතර හෙන්රි අමරසූරිය, දොස්තර ආතර් ද සිල්වා, ඒ.ජේ.ආර්. ද සොයිසා , බැස්ටියන් ප්‍රනාන්දු, දොස්තර මාකස් ප්‍රනාන්දු, එච්.වොට්සන් පීරිස්, ඩැනියෙල් ප්‍රනාන්දු, ඉබ්‍රාහිම් ලෙබ්බේ මරික්කාර්, ඇලිස් කොතලාවල, ඊ.ජී.ආදමාලි සහ ඊ.සී. ද ෆොන්සේකා කැපී පෙනෙන දේශීය වැවිලිකරුවෝ වූහ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඉඩම් අයිතිය වෙනස් කිරීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීම සමඟ බොහෝ ඉඩම් රාජ්‍ය සංස්ථාපිත අධිකාරි බලයට අනුගත විය. අද වනවිට රජයේ අණසකට යටත් රබර් ඉඩම් සංඛ්‍යාව සියයට එකකි. සියයට 64 ක් වූ රබර් ඉඩම් ප්‍රමාණයක් කුඩා රබර් ඉඩම් හිමියන් සතුව පවතී. සියයට 30 ආර්.පී.සී.කලාප වතු සමාගම් විස්සක් සතු වේ.

අද දක්නට ලැබෙන්නේ රබර් කර්මාන්තය ක්‍රමික පරිහානියකට ලක්වන බවයි. රබර් ඉඩම් ඉතා විශාල ප්‍රමාණයක් අතහැර දමා තිබේ. 2018 වනවිට වගාවට යටව තිබූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 136000ක් වුවද, කිරි කපා ගැනීම් සිදුකළ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 107000 කි. මේ නිසා නිෂ්පාදනය අඩුවීමේ අවදානමක් පවතී. 2017 නිෂ්පාදනය කි.ග්‍රෑම් දසලක්ෂ 83.1 වූවත් 2018 දී එය කි.ග්‍රෑම් දසලක්ෂ 82.6 දක්වා පහත වැටුණි. එසේම නැවත රබර් ඉඩම් වගා කිරීම 2017 දී හෙක්ටයාර 1837 ක් වුවත්, 2018 දි හෙක්ටයාර 870 දක්වා නැවත ඉඩම් වගා කිරීම අඩුවිය.

මෙසේ රබර් වගාව දුර්වලවීමට බලපෑ හේතු ගණනාවකි. ඉහළ නිෂ්පාදන වියදම, වැවිලි කටයුතුවල දුර්වල කළමනාකාරිත්වය සහ රබර් වගා ප්‍රදේශවල වැසි සහිත කාලගුණය ඉන් ප්‍රධාන හේතුන් ලෙස හඳුනාගෙන තිබේ. එසේම ශ්‍රමික හිඟය තේ, පොල් සහ රබර් යන වගා තුනටම ඍජුව බලපාන ප්‍රශ්නයකි. තේ කර්මාන්තය සිය ශ්‍රමික හිඟය මඟහරවා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටී.

රබර් නිෂ්පාදනයේ පහළ බැසීම අපනයනය අඩපණ කිරීමට හේතුවිය. 2018 වසරේ ස්වභාවික රබර් අපනයනය සියයට 18.9 ක පහළ යෑමක් පිළිබිඹු කළා පමණක් නොව අපනයන ආදායමද අඩු කෙළේය. රබර් අපනයන ආදායම 2017 වසරේ ඇ.ඩොලර් දස ලක්ෂ 17 ක් හෙවත් රුපියල් දස ලක්ෂ 39 ක් උපයා දුන්නත්, 2018 උපයා දුන්නේ ඇ.ඩොලර් දසලක්ෂ 14 ක් හෙවත් රුපියල් දසලක්ෂ 32 කි. (පිට 83 වන සටහන 2018 ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව)

‍මේ අනුව අපේ රබර් කර්මාන්තය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ පියවර රාශියක් අනුගමනය කිරීමට රජය පියවර ගත්තේ ය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒ සඳහා චීනයේ සහයෝගය ලබාගැනීමට සැරසෙයි. චීනය මෙයට පෙරද ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට රාජ්‍ය මට්ටමින් සහයෝගය දුන් රටකි. ශ්‍රී ලංකාවට සිය රබර් විකුණාගැනීමට අපහසුව තිබූ සමයක ශ්‍රී ලංකා චීන වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට චීනය කටයුතු කෙළේය. ඒ 1952 දීය.

චීන සහයෝගය

චීන ශ්‍රී ලංකා රබර් - සහල් ගිවිසුමේ වැඩි ආර්ථික වාසිය හිමිවූයේ ශ්‍රී ලංකාවටය යන්න විද්වතුනගේ මතයයි. එම ගිවිසුමේ සමරුවකදී ආචාර්ය ජයන්ත කැලේගම නම් ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයා මේ බව සඳහන් කළේය. මේ ඓතිහාසික ගිවිසුමට දෙරට අත්සන් තැබුවේ 1952 දෙසැම්බර 18 වැනිදාය. ශ්‍රී ලංකාව නියෝජනය කෙළේ එකල වෙළෙඳ ඇමැති ආර්.ජී.සේනානායක මහතාය. ඔහු දේශප්‍රේමි ජනනායකයකු වූ ඇෆ්.ආර්.සේනානායක සිරිමතාණන්ගේ පුත්‍රයෙකි. ඩඩ්ලි සේනානායක මහතාගේ ඥාති සහෝදරයෙකි.

මේ අවධිය වනවිට ශ්‍රී ලංකාවේ සැම රටවැසි පුද්ගලයකුටම නොමිලේ සහල් සේරු දෙක බැගින් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සහල් මිල ගණන් ඉහළ ගොස් තිබුණි. චීනයේ සහල් නිෂ්පාදනය පැවතුනේ ඉහළ මට්ටමකය. චීනයේ නිෂ්පාදනයන් සඳහා අමුද්‍රව්‍යක් වශයෙන් රබර් අවශ්‍ය වී තිබුණත් අමෙරිකාව සහ එක්සත් ජාතින් විසින් චීනයට එරෙහි ආර්ථික අවහිරතා ක්‍රියාත්මක කරන ලදී.

මේ අනුව ශ්‍රී ලංකාව චීනයට රබර් දීමටත්, චීනය එම වටිනාකමට සරිලන පරිදි ශ්‍රී ලංකාවට සහල් සැපයීමටත් එකඟවීම මේ ගිවිසුමේ අන්තර්ගතයයි. චීනය කොමියුනිස්ට් නොවන රාජ්‍යයක් සමඟ එළැඹි පළමු ගිවිසුම මෙය වන්නාසේම භාණ්ඩ හුවමාරු (BARTER TRADE) භාණ්ඩ - භාණ්ඩ හුවමාරුවකින් යුතු ප්‍රථම ගිවිසුම ද ශ්‍රී ලංකා චීන රබර් සහල් ගිවිසුමයි.

වසර 5 න් පහට ගිවිසුම අලුත්වැඩියා කළ අතර ශ්‍රී ලංකාවේ රබර්වලට චීනය ඉහළ මිලක් තීරණය කළාය. එසේම සහල් සඳහා නියම කෙළේද අඩු මිලකි. එම නිසා මෙය දෙආකාරයකින්ම ශ්‍රී ලංකාවට වාසි සහගත ගිවිසුමකි. මේ සඳහා වෙළෙඳ ඇමැති ආර්.ජී.සේනානායක මහත්මා ගත් උත්සාහය සුළුපටු නොවේ. අද වනවිට චීන - ශ්‍රී ලංකා සබඳතා ප්‍රශස්ත මට්ටමක පවතින අතර එම සබඳතාවේ මුදුන් මුල ඉහත කී රබර් - සහල් ගිවිසුමයි.

මේ අයුරින්ම ශ්‍රී ලංකා තේ ඉරානයටත් ඉරාන තෙල් ශ්‍රී ලංකාවටත් හුවමාරු වන භාණ්ඩ හුවමාරු ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් පවතී. ඉරානය සඳහා ඇමෙරිකාව පනවා ඇති වෙළෙඳ තහංචි නිසා ශ්‍රී ලංකාව තේ අලෙවිකර ගැනීමේදී පැනනගින ගැටලු විසඳාගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි.

චීනයේ HAINAN STATE FARM ආයතනය චීන රජය සතු ව්‍යවසායකි. රබර් ඉඩම් අක්කර දසලක්ෂයක් එහි පාලනයට නතුව තිබේ. මේ සමාගමයට අයත් තවත් සමාගමයක් වන CHINA HAINAN RUBBER INDUSTRY GROUP නම් ආයතනය ෂැංහයි කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමයකි. එහි මූලධනය ඇ.ඩොලර් බිලියන 4.2 කි.

ශ්‍රී ලංකාවේ රබර් වගාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. මේ ආයෝජනයට උර දෙමින් ඇ.ඩොලර් දසලක්ෂ 50 – 100 අතර ආයෝජනයක් වතුවැවිලි අංශයට ලබාදීමට එම සමාගමය ඉදිරිපත්ව සිටී. සමාගමයේ ප්‍රධානියකු වන ආචාර්ය SHEN DANYANG ශ්‍රී ලංකාවට පැමිණ මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනටම ආරම්භ කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රබර් නිෂ්පාදනය පදනම් කරගත් නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට ද මේ අනුව නියමිතය. ඉදිරි මාස තුන හතර ඇතුළත මේ නිෂ්පාදන කලාපය ඇරැඹෙනු ඇත. මෙම නිෂ්පාදන හුදෙක් අපනයන ළෛඳ පොළ ඉලක්ක කර නිෂ්පාදනය වීමද විශේෂත්වයකි. රබර් වතු පිළිබඳ පාලන අයිතිය හිමි කලාපීය සමාගම් සඳහා ද උපකාර කිරීම් මෙහිදී සිදුවෙයි. රාජ්‍ය හා පෞද්ගලික PPP සංකල්පය මත මේ ව්‍යවසායයන් ක්‍රියාත්මක කැරෙනු ඇත.

මේ ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් නම් ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය වැඩිකිරීමය. දැනට ශ්‍රී ලංකාවේ රබර් අස්වැන්න සාමාන්‍යයෙන් හෙක්ටයාරයට කිලෝ ග්‍රෑම් 800 ක් පමණ වේ. නවීන පිරිමැසුම්දායක වඩාත් ඵලදායි ක්‍රම හඳුන්වාදීමෙන් හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 2000 ක පමණ අස්වැන්නක් ලබාගත හැකි යැයි අපේක්ෂා කෙරේ. එසේම චීන ව්‍යවසායකයන්ගේ අනුග්‍රහයෙන් කුඩා රබර් ඉඩම් හිමියන්ටද සිය නිෂ්පාදන සඳහා ස්ථිර වෙළෙඳ පොළක් නිර්මාණය වනු ඇත. මේ සමස්ත ව්‍යාපෘතියේම අධීක්ෂණය සහ උපදේශක සේවා අර්නස්ට් සහ යං යන ලෝක ප්‍රසිද්ධ සමාගමය වෙත පවරා තිබේ. ව්‍යාපෘතියට අදාළ මුල් ගිවිසුම් සඳහා අත්සන් තබන ලද්දේ පසුගිය මැයි මාසයේදීය.

ව්‍යාපෘති සැලැසුමක්

දේශීය රබර් කර්මාන්තය පුනරුත්ථාපනය කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත රබර් නිෂ්පාදන මාස්ටර් ප්ලැන් 2017 – 2026 නම් ව්‍යාපෘති සැලැස්මක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.

එම සැලැස්ම යෝජනා ව්‍යාපෘති 25 කි. එයින් තෝරාගත් ව්‍යාපෘති 10 ක් ආරම්භක වශයෙන් පළමු පියවර වශයෙන් ක්‍රියාත්මක වනු ඇත. රුපියල් බිලියන 12 ක වියදමක් මේ සඳහා අවශ්‍ය වෙයි. මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශක්‍යතා වාර්තා දැන් සකස් වෙමින් පවතින බව අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. එසේම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සංගමය මේ සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට ද ඉකුත් සතියේ අත්සන් තබන ලදී.

දැනට ඇ.ඩොලර් බිලියනයක් වන ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන කර්මාන්තය 2026 වන විට ඇ.ඩොලර් බිලියන 3 ක් වන කර්මාන්තයක් බවට පත් කිරීම මේ සැලැස්මේ එක් ඉලක්කයකි.

2017 දී ඇරැඹීමට නියමිතව තිබූ රබර් මාස්ටර් ප්ලෑන් සැලැස්ම විවිධ හේතුන් නිසා ක්‍රියාත්මක කිරීම අතපසු වුවත්, දැන් ඒ සඳහා තිබූ අවහිරතා දුරුව ඇතැයිද, ආරම්භක පියවර 7 ක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇතැයිද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉතිරි පියවර 3 සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් ළඟදීම සිදුවනු ඇත.

රුපියල් බිලියන 6.6 ක් වැයවන එක් ව්‍යාපෘතියක් වන්නේ මොනරාගල, අම්පාර, වව්නියාව , මුලතිව්, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර 22,000 ක නව රබර් වගා ඇරැඹීමයි.

එසේම කලාපීය වතු සමාගම් (RPC) යටතේ පාලනය වන රබර් වතුවල වඩාත් ඵලදායක ලෙස රබර් වගා ඉඩම් ප්‍රමාණය තවදුරටත් පුළුල් කරනු ඇත. මේ අනුව හෙක්ටයාර 3000 ක නව රබර් වගා බිම් ප්‍රමාණයක් රබර් වගාවට එක්වනු ඇත. මේ සඳහා රුපියල් බිලියන 1.5 ක් වැයවනු ඇත.

රබර් නිෂ්පාදනයේ අස්වනු වැඩිකිරීම ශ්‍රම ඵලදායකත්වය වැඩිකිරීම, ඒ සඳහා නව තාක්ෂණික හා කළමනාකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි. මේ වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වැය වෙයි.

ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන අලෙවි කිරීමේ වැඩ පිළිවෙළකට පෞද්ගලික අංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහාය ලබාගැනීමද තවත් පියවරකි. මේ සඳහා රුපියල් බිලියන 1.3 ක් වැයවෙතැයි අපේක්ෂා කරයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ UNEP ආයතනය, යූනිඩෝ ආයතනය, යුරෝපා සංගමයේ සහ ජපානයේ JICA ආයතනයේ සහාය ලබාගෙන සම්පත් කළමනාකරණය ඇතුළු නව පියවර රාශියක් ක්‍රියාත්මක කර රබර් නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම් සිදුවේ. අපේක්ෂිත ආයෝජනය රුපියල් දසලක්ෂ 150 කි.

එසේම රබර් කර්මාන්තයේ තොරතුරු රැස්කිරීම පරිගණක පද්ධති වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ උසස් රබර් නිෂ්පාදන ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමවේද අනුගමනය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ ව්‍යාපෘති සංකල්පය තහවුරු කිරීම සෙසු පියවර අතර වේ.

මේ අතර රබර් දැවයෙන් ඉදිකෙරෙන ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ඇමෙරිකාව, ජර්මනිය සහ බෙල්ජියම රටවලින් විශාල ඉල්ලුමක් පවතින බව එම නිෂ්පාදක සංගමය සිය වාර්ෂික රැස්වීමේදී ප්‍රකාශ කරයි.

කොටස් වෙළෙඳ පොළ

සැප්තැම්බර් 20 වන සිකුරාදා ගනුදෙනු නිමා වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5793 තුළ ස්ථාපිත විය. එහෙත් සැප්තැම්බර් 12 වන දින ගනුදෙනු නිමාවනවිට ඒසතියේ එම දර්ශකය ස්ථාපිත වූයේ ඒකක 5825 තුළය. ඒ අනුව ඉකුත් සතියේ එම දර්ශකය ඒකක 32 ක පහත වැටීමක් වාර්තා කළාය.

සතියේ පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවීය. එම පිරිවැටුම පෙර සතියට සාපේක්ෂව බිලියන 5 ක වැඩිවීමකි.

සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 1410 කි. පෙර සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 526 කි. වසරකට පෙර රුපියල් දසලක්ෂ 700 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සැප්: 20 සතිපතා වාර්තාව කියයි.

සීමාසහිත හන්ටර්ස්, පෑන්ඒෂියා පවර්, සමාගම් ලාභාංශ ප්‍රකාශයට පත්කර ඇත. වටවල වැවිලි සමාගම ප්‍රසාද බෝනස් කොටස් පිරිනැමීම සිදුකර ඇතැයි කොටස් හිමියනට ලිඛිතව දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 17 - 18 තේ වෙන්දේසියට ඉදිරිපත් වූ තේ ප්‍රමාණය කි.ග්‍රෑම් දසලක්ෂ 7.3 කි.

අධික වර්ෂාව සහ අයහපත් කාලගුණය සබරගමු කලාපීය නිෂ්පාදනයට බාධාව තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ගල් පෙරළීම සහ නායයෑම් නිෂ්පාදන කටයුතුවලට හානි පමුණුවා ඇත. බටහිර කලාපය, උඩපුස්සැල්ලාව, රුහුණ සහ සබරගමුව තේ නිෂ්පාදනය අඩුවීම් වාර්තා වෙයි.

පහත වැටී තිබුණු පොල් මිල ක්‍රමයෙන් ඉහළ යන ලකුණු පෙන්නුම් කරයි. ඉකුත් සතියේ කොළඹ තොග පොල් මිල ගෙඩියක් රු: 32.00 ක් ලෙස වාර්තා විය. සිල්ලර මිල රුපියල් 37.00 කි. දඹුල්ලේ තොග මිල රුපියල් 32.50 කි. සිල්ලර මිල රුපියල් 38.50 කි. නාරාහේන්පිට ‍තොග මිල රුපියල් 50.00 කි. මේ සංඛ්‍යා ලේඛන ශ්‍රී ලංකා මහ බැංකුවේ සැප්තැම්බර් 20 ආර්ථික දර්ශක වාර්තාවට අනුවය.

 

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න