දියව්! දියව්! | දිනමිණ

දියව්! දියව්!

රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණිවල වෘත්තිකයන් ද විරෝධතාවක් ආරම්භ කර තිබේ. ගුරු සේවයේ සංගම් කිහිපයක් ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරතවීමට සැලැසුම් කර ඇත. පරිපාලන සේවා වෘත්තීය සමිතියේ ප්‍රධාන රැස්වීමක් ‍ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. එම රැස්වීමේ දී වැඩ වර්ජනයට අදාළ තවත් තීන්දු තීරණ ගනු ලබන බව ද වාර්තා වී තිබිණි. වර්ජනවලට හා විරෝධතාවලට හේතු සාධක ලෙස ඉදිරිපත් වී ඇත්තේ වැටුප් විසමතා හා තවත් ඉල්ලීම් ය. වෘත්තීය සමිති ඉල්ලා සිටින සියලු දේවල් රජයකට ලබාදිය හැකි ද යනු ගැටලුවකි. මේ මොහොත වැඩ වර්ජන හා විරෝධතා සඳහා සුදුසු ද යන්න තවත් ගැටලුවකි.

මතු සඳහන් වර්ජන, විරෝධතා හා උද්ඝෝෂණ නිසා ආකාර කිහිපයකින් ජන ජීවිතය බිඳ වැටෙයි. පළමු ආකාරය වන්නේ අත්‍යවශ්‍ය සේවා ඉටුනොවීම ය. එයින් සමාජයේ දෛනික කටයුතු අඩාල වෙයි. දෙවන ආකාරය වන්නේ කොළඹ නගරයේ කටයුතුවලට අවහිර වීමෙන් ආර්ථික ගනුදෙනු කඩා වැටීම ය. ඒ මඟින් ව්‍යාපාර දුර්වල වෙයි. තෙවන ආකාරය වන්නේ රාජ්‍ය පරිපාලන කටයුතු මන්දගාමී වීම ය. ඒ මඟින් රටේ සමස්ත ක්‍රියාවලිය ආපස්සට යයි. රටේ සංචාරක කර්මාන්තයට හා මූල්‍ය ගනුදෙනුවලට පවා මේ තත්ත්වය අහිතකර ලෙස බලපායි. ඉල්ලීම් දිනාගැනීම සඳහා වර්ජනය කිරීමේ අයිතියක් වෘත්තීය සමිතිවලට තිබේ. එහෙත් එම අයිතිය භාවිත විය යුත්තේ ශිෂ්ට ආකාරයකට ය. දැන් පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් පෙනී යන්නේ රටේ වෘත්තීය සමිති බොහොමයක් තුළ ශිෂ්ටත්වය නැති බව ය.

වර්ජන හා විරෝධතා මතවාද කිහිපයක් ඔස්සේ විවේචනයට ලක්වන බව ද පෙනෙයි. එක මතවාදයකට අනුව පවතින විරෝධතා දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වෙයි. එහි සාධාරණ තර්කයක් පවතින බව පෙනීයන්නේ වර්ජනවල වාසිය විරුද්ධ පක්ෂ වෙත කාන්දු වන බැවින්ය. තව මතවාදයකට අනුව වෘත්තීය සමිති කල දුටු කල වළ ඉසගැනීමට මාන බලයි. ජනාධිපතිවරණයක් ආසන්නයේ වර්ජන පැවැත්වීමේ ඉලක්කය වන්නේ රජය බිත්තියට හේත්තු කිරීම විය හැකි ය. තවත් මතවාදයකට අනුව අද පවතින වෘත්තීය සමිති මහජනයා පිළිබඳ තුට්ටුවකට සලකන්නේ නැත. ඒ පිළිබඳ මහජන විරෝධයක් ද ගොඩනැ‍ඟෙමින් පවතී. එය උත්සන්න වුවහොත්; විරෝධතාවලට පහරදෙන තැනකට වුව ජනතාව පෙළැඹෙන්නට පුළුවන. වර්ජනවලින් මහජනයාට ඇතිවන පීඩාව බලවත් බව වෘත්තීය සමිති නායකයන් වටහාගත යුතුව තිබේ.

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද වර්ජනයට හවුල් වී ඇත. ආගමන - විගමන දෙපාර්තමේන්තුව නැතහොත් “පාස්පෝට් - කන්තෝරුව” රාජකාරි අතින් ඉතා තදබදයක් ඇති ස්ථානයකි. මහජනයා දිනපතා ම එහි පෝලිම් ගැසී සිටිති. විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම එහි අරමුණ වී තිබේ. විදේශ රැකියා සඳහා යන අය උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන අය, විදේශ ප්‍රතිකාර සඳහා පිටත්වන අය ආදී ලෙසින් ඔවුන් වර්ගීකරණය කළ හැකි ය. විදේශ ගතවීම සඳහා නෛතික වැඩ කොටසක් අවසන් කර ගත යුතු ය. එම නෛතික ක්‍රියාවලියට අවශ්‍ය මූලික සාධකයක් වන්නේ විදේශ ගමන් බලපත්‍රයයි. මේ බලපත්‍රය නැතිව විදේශ ගමනකට අවශ්‍ය කිසිදු නෛතික කටයුත්තක් ඉටුකරගත නො හැකි ය. විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ පමාව පුද්ගලයකුගේ ජීවිතයට ඉතා අහිතකර ලෙස බලපාන්නට පුළුවන.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වර්ජනයට හවුල් වී ඇත. එය තවත් හිසරදයකි. ජාතික හැඳුනුම්පත් ලබාදෙන්නේ එම ආයතනයෙන් ය. හැඳුනුම්පත නොමැතිව කිසිම කටයුත්තක් කරගත නොහැකි තත්ත්වයක් රටේ පවතී. විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ද හැඳුනුම්පත අවශ්‍ය වේ. තමන්ගේ ම බැංකු පොතෙන් මුදල් ආපසු ලබාගැනීමට ද ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙයි. චෙක්පතක් මාරුකර ගැනීම සඳහා වුව හැඳුනුම්පත වුවමනා කෙරේ. ඒ පමණක් නො ව; ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම්වල දී පවා ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටිනු ලැබේ. හැඳුනුම්පතක් නොමැතිව නගරයක ගැවසීම ද වරදක් ලෙස සලකන්නට පුළුවන. එම හදිසි අවශ්‍යතාව දැන් ඉටුවන්නේ නැත. මහජනයා මෙයින් බලවත් අසීරුවට පත්වනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ගැන ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැන ද කිව යුත්තේ ඒ ටිකම ය. එම ආයතන ද වර්ජනයට හවුල් වී ඇත. වාහන බලපත්‍ර ලබාගැනීම, රියැදුරු බලපත්‍ර ලබාගැනීම අවුලක් වූ කල ජීවිතවල බො‍හෝ කටයුතු ද අවුල් වෙයි. මේ මොහොතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉතා උනන්දුවෙන් සිය සේවා කටයුතු ඉටුකළ යුතු ව තිබේ. රටේ එක පැත්තක දරුණු නියඟයක් පවතී. තව පැත්තක ගංවතුර තර්ජනයක් පවතී. අංශ දෙකෙන් ම පවුල් විශාල ප්‍රමාණයක් විපතට පත් වී සිටිති. මේවා ගැන සොයා බැලීමට ද, ජනතා සහන ලබාදීමට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වහා ක්‍රියාත්මක විය යුතු ව තිබේ. පවතින වර්ජනය නිසා ඒ සියල්ල අඩාල වනු ඇත. විපතට පත් වූ අය දුර්මුඛ තත්ත්වයට පත්වනු ඇත.

රටට වැදගත් සේවයක් ඉටුකළ වෘත්තීය සමිති නායකයන් යටතේ මෙබඳු වැඩ වර්ජන ක්‍රියාත්මක වූයේ නැත. එදා වෘත්තීය සමිති වර්ජනයක් ක්‍රියාත්මක කළේ පියවර ගණනාවකට පසු අවසන් එළැඹුමක් හැටියට ය. අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ වන්නේ ම වර්ජනයක් ඔස්සේ ය. එදා වැඩ වර්ජනවලට මහජන සහයෝගය ලැබුණ ද; අද එවැන්නක් නැත. මහජනයා වර්ජනවලට දැඩි ලෙස විරෝධය පාති. මහජන මුදල් නාස්ති කරන අංශයක් හැටියට රාජ්‍ය ‍ෙස්වය හැඳින්වීමට තරම් විවේචනය තදබල වී ඇත. තවත් අතෙකින් කල්පනා කළ යුත්තේ සියලු ඉල්ලීම් ලබාදීමට තරම්; ආර්ථික ශක්තියක් රජයට තිබේ ද යන්න ය. වෘත්තීය සමිතිවල අපේක්ෂාව රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීම ද?

 

නව අදහස දක්වන්න