භාණ්ඩාගාරය සල්ලි ගහක් ද? | දිනමිණ

භාණ්ඩාගාරය සල්ලි ගහක් ද?

මහා භාණ්ඩාගාරයට සල්ලි ගස් නැති බව ද, රටේ මුල්‍ය කළමනාකරණය අපහසුවෙන් කරගෙන යන බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි. එය පිළිගත යුතු සත්‍යයෙකි. විදේශ ණය හා පොලී ගෙවීම්, රාජ්‍ය - ආයතනවල පාඩු පියවාගැනීම්, වන්දි ලබාදීම්, සමෘද්ධිය ලබාදීම්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි නිදහස් සේවා පවත්වාගැනීම් සිදු කරන අතර ම රටේ අනාගත සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත් රජයට සිදු වී ඇත. රාජ්‍ය ආදායම් සාර්ථක මට්ටමක නැති අතර වියදම් පියවාගැනීම සඳහා අලුත් ණය ලබාගැනීමට ද සිදු වී ඇත. මෙබඳු පසුබිමක් යටතේ මහජන සුබ - සාධනය කපා හැරීම සිදු කළ යුතු වුව රජය එබඳු තැනකට ගොස් නැත.

රටේ මුල්‍ය කළමනාකරණය අභියෝගයක් වී ඇත්තේ වුව; වෘත්තීය සමිති හා තවත් සංවිධාන එය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. දියව්! දියව්! යන ප්‍රතිපත්තිය අනුගමනය කරන ඔව්හු කිසිවකින් තෘප්තිමත් නොවෙති. එක ගැටලුවක් විසඳන විට තවත් ඉල්ලීම් දහයක් ඉදිරිපත් කරන තැනක වෘත්තීය සමිති පසු වෙති. පුදුමයකට මෙන් මේ සියල්ල සිදුවන්නේ ජනාධිපතිවරණයක් ආසන්නයේ ය. මැතිවරණ නීතියට අනුව වැටුප් වැඩිකිරීම ද, නව රැකියා ලබාදීම ද දැන් කළ නො හැකි ය. සාධක ගණනාවකින් ම පෙනී යන්නේ අද පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පසුපස දේශපාලන අභිලාසයන් ඇති බවය. මේ දේශපාලන අභිලාස නිසා නැත්තටම නැතිවන්නේ රටේ ආර්ථිකය යැයි කිව යුතුය. කුමන පක්ෂයක් බලයට පැමිණිය ද රටේ ආර්ථිකය ශක්තිමත් ලෙස පැවැතිය යුතුය. එහෙත් දැන් පවතින තත්ත්වයට අනුව එය දිනෙන් - දින පිරිහෙයි.

වැඩ කරන ජනතාව හදිසියේ ම කුලප්පු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. එය කුලප්පුවීමක් නො ව; කුලප්පු කිරීමක් යැයි හැඳින්වීම වඩා නිවැරැදිය. සියලු වෘත්තිකයෝ තම සංවිධාන ඔස්සේ වැඩි පඩි ඉල්ලති. දීමනා හා පහසුකම් වැඩි කළ යුතු යැයි විරෝධතා දක්වති. වර්ජනය කරති. එක ක්ෂේත්‍රයක වැටුප් වැඩි කරන විට තවත් ක්ෂේත්‍රයක් ඊට සමගාමීව වැටුප් වැඩි කරන්නැ’යි ඉල්ලා සිටිති. සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස්කොට එය ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවක නැවතත් වර්ජන රැල්ලක් මතුවෙමින් තිබේ. කිසිවකුට ඉවසිල්ලක් නැත. මේ ක්‍රමය දිගට ම පැවතුණහොත් රාජ්‍ය පාලනය අවුල්වනු ඇත. ආර්ථිකය බංකොලොත් වනු ඇත. වර්ජන, විරෝධතා හා අකුරට වැඩකිරීම නිසා ආර්ථිකයට සිදු වී ඇති පාඩුව තව ම ගණනය කර නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කරමින් ය. නිදහසින් පසු රාජ්‍ය සේවකයන්ගේ වැටුප එකවර මෙබඳු මුදලකින් වැඩි කළ අවස්ථාවක් ඉතිහාසයේ සඳහන් වී නැත. එදා ඇතැම් ආර්ථික විශේෂඥයන්ගේ මතය වූයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩි කිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ය. එහෙත් ආණ්ඩුව තම තීරණය වෙනස් කළේ නැත. ඒ පමණක් නො ව; පෞද්ගලික අංශය ද වැටුප් වැඩි කළ යුතු යැයි බලපෑමක් ද රජය විසින් සිදු කරන ලදී. ඒ අනුව පෞද්ගලික අංශයට ද වැටුප් වැඩිකිරීමක් වෙත යෑමට සිදුවිය. රාජ්‍ය අංශයේ ලක්ෂ දාහතරකට ද වැඩි සේවක පිරිස සඳහා වැටුප් හා දීමනා වැඩි කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා රුපියල් බිලියන හත්සිය පහක මුදලක් වෙන් කිරීමට රජයට සිදු වී ඇත.

රජය දෙවන වරට ද වැටුප් වැඩි කළ අතර තෙවන වරටද වැටුප් වැඩි කිරීම සඳහා සැලැසුම් කර ඇත. ඒ අනුව 2020 වන විට රාජ්‍ය අංශයේ සෑම ක්ෂේත්‍රයකම වැටුප් 107% කින් වැඩිවන බව පුරෝකථනය වී ඇත. ඊළඟ වසරේ දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ පහකට වැඩි වනු ඇත. සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප රුපියල් එක් ලක්ෂ විසිදහසකට වැඩි වනු ඇත. මේ අයුරින් සෑම ක්ෂේත්‍රයකම වැටුප් තල බොහෝ ඉහළට ගමන් කරනු ඇත. පිළිගත් වෘත්තිකයන්ට සාර්ථක ආර්ථික පදනමක් ලබාදීම රජයේ අරමුණ වී ඇති බව පැහැදිලිය. එහෙත් එය එක කැබිනට් පත්‍රිකාවකින් හෝ එක පෑන් පහරකින් හෝ කළ හැකි දෙයක් නොවේ. රටේ ආර්ථිකය දුර්වල නොකොට වෘත්තිකයන්ගේ වැටුප් හා දීමනා ඉහළ දැමීම සිදුවිය යුතුය. වර්ජනයක් කළ පමණින් වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නැත.

වත්මන් රජය රටේ ආරක්ෂක අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැහැදිලිය. වැටුප් වැඩිකිරීම, දීමනා වැඩිකිරීම, පහසුකම් වැඩිකිරීම හා උසස්වීම් ලබාදීම ඔස්සේ එම සැලැකීම සිදුකර ඇත. ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ද පිළිගත හැකි විසැඳුමක් ලබාදීමට රජය ඉදිරිපත් විය. රණවිරුවකු ලබා ගන්නා මුළු පඩිය විශ්‍රාම වැටුප ලෙස ගෙවීමට ඉදිරිපත් වූ රජයක් මීට පෙර අප දැක නැත. ආබාධිත රණවිරුවන්ගෙන් යැපෙන අය සඳහා ද එම මුදල ගෙවිය යුතු බව උපවාසයේ යෙදෙන අයගේ තර්කය වී තිබේ. එය අයුක්ති සහගත ඉල්ලීමකි. රණවිරුවන් රට වෙනුවෙන් යම් පරිත්‍යාගයක් සිදුකර ඇති බව සත්‍යයක් වන්නේ වුව එය ඔවුන්ගේ රාජකාරිය ලෙස සැලැකිය යුතුව තිබේ. දැනට සිදුවන්නේ යුද්ධය විකුණාගෙන කෑමට සැරසීමක් බව පෙනී යයි.

වැටුප් හා දීමනා වැඩි කිරීම සමඟ තවත් ආර්ථික ගැටලු ගණනාවක් මතු වන බව සාමාන්‍ය ජනතාව දන්නේ නැත. නිදහස් වෙළෙඳ පොළ තුළ භාණ්ඩ හා සේවා මිල තීරණය වන්නේ ඉල්ලුම් - සැපයුම් න්‍යායට අනුව ය. ජනතාව අතර බහුල ලෙසින් මුදල් ගැවසෙන විට ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යයි. එහෙත් සැපයුම එලෙස ඉහළ යන්නේ නැත. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමය. එක අතෙකින් තවදුරටත් වැටුප් වැඩි කරන්නැ’යි විරෝධතා පැවැත්වෙයි. තව අතෙකින් බඩුමිල වැඩි යැයි ද ජීවන වියදම දරාගත නොහැකි යැයි ද විරෝධතා පැවැත්වෙයි. මෙය කළමනාකරණය සඳහා ආණ්ඩුවට ඉඩක් ලැබෙන්නේ නැති තරම් ය.

රටක ආර්ථික කළමනාකරණය සංකීර්ණ ක්‍රියාවලියකි. එය සමාගමක් හෝ සිල්ලර කඩයක් හෝ පවත්වාගැනීමට වඩා අතිශය බරපතළ ය. එහෙත් අපේ වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ද, ඇතැම් දේශපාලකයන් කතා කරන්නේ ද රටක ආර්ථිකය සිල්ලර කඩයක පැවැත්මට සමාන කරමින් ය. මේ ක්‍රමය වෙනස් විය යුතුය.

 

නව අදහස දක්වන්න