සජිත් ! | දිනමිණ

සජිත් !

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාපත්කරගෙන තිබේ. එය එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණය ලෙස ද, එක්සත් ජාතික පෙරමුණෙහි අනෙකුත් පක්ෂවල ඒකමතික තීරණය ලෙස ද සඳහන් වී ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දීර්ඝ සංවාදයකින් පසුව ය. දීර්ඝ සංවාදය කෙනකුගේ ගර්හාවට හා විවේචනයට හසුවුව; වඩාත් වැදගත් ප්‍රතිඵල තුනක් ඉන් ඉකුත් වී ඇත. එයින් පළමුවන්න; ජනතාවට සතුටු විය හැකි සාධනීය අපේක්ෂකයකු තෝරාගැනීම බව සටහන් කර තැබිය හැකි ය. දෙවන්න; උක්ත තීරණය නිසා එක්සත් ජාතික පෙරමුණ වඩාත් ශක්තිමත් වීම හැටියට සටහන් කර තැබිය හැකි ය. තෙවන්න; වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක් ඔස්සේ සිය අපේක්ෂකයා තෝරාගැනීම නිසා එක්සත් ජාතික පෙරමුණ සෙසු දේශපාලන පක්ෂවලට ආදර්ශයක් සපයා ඇතැ’යි සඳහන් කරන්නට පුළුවන.

එක්සත් ජාතික පක්ෂය දේශපාලන අර්බුදයකට මුහුණදී කැබැලිකරණයට ලක්වන බවට ද, එක්සත් ජාතික පෙරමුණ විසිරී යන බවට ද මතයක් ජනගත කර තිබිණි. එහි ඉලක්කය වන්නට ඇත්තේ දැනට බලයේ සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලන අරමුණු දියාරු කිරීම විය හැකි ය. එක්සත් ජාතික පක්ෂය කැබැලි වී එක්සත් ජාතික පෙරමුණ විසිරී ගියේ නම්; එහි දේශපාලන වාසිය කාන්දු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට බව කිව හැකි ය. දැන් එය වැළකී ඇත. වත්මන් ආණ්ඩුව රටට ලබාදුන් මානුෂීය නිදහස, ජනතා සුබ-සාධනය හා සංවර්ධන ප්‍රතිලාභ කෙරෙහි මහජන විශ්වාසයක් පවතී. එම විශ්වාසය තවදුරටත් ස්ථාපිත කිරීමට නම්; ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය හා සංවර්ධන උපාය මාර්ග බලයට පත්වන අපේක්ෂකයා ද ඉදිරියට ගෙන යා යුතුව තිබේ. එහි අර්ථය වන්නේ එක්සත් ජාතික පෙරමුණෙහි ප්‍රතිපත්ති හා වැඩසටහන් සජිත් ප්‍රේමදාස මහතා ද අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුය යන්න ය.

අපේක්ෂකත්වය දිනා ගැනීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා ජනමාධ්‍ය ඉදිරියේ වැදගත් ප්‍රකාශ කිහිපයක් සඳහන් කළේ ය. පළමු ප්‍රකාශය වන්නේ කිසිදු කොන්දේසියකට යටත් නොවී තමන් සිය අපේක්ෂකත්වය ලබාගත් බව ය. එබඳු කොන්දේසි ඉදිරිපත් වූ බවට නිල සඳහනක් ද නැත. දෙවන ප්‍රකාශය වන්නේ ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජාතීන්ට හා සියලු ආගම්වලට සමාන අයිතිවාසිකම් හා සමාන පහසුකම් ලබාදීම තමන්ගේ ප්‍රතිපත්තිය වන බව ය. තෙවන ප්‍රකාශය වන්නේ තමන් එක්සත් ජාතික පාක්ෂිකයකු බැවින් පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යෑම සඳහා සහතිකයක් ලබාදෙන බව ය. සජිත් මහතා සංවර්ධනය යන්න විග්‍රහ කරන්නේ සියල්ලන්ට ම සමාන ලෙස සම්පත් හා ප්‍රතිලාභ බෙදී යන උපාය මාර්ගයක් හැටියට ය. ඔහු තම දේශපාලනය විග්‍රහ කරන්නේ ජනතාව සමඟ උරෙනුර ගැටී අඛණ්ඩව වැඩ කරන මානුෂීය ක්‍රියාවලියක් හැටියට ය. රටේ දිළිඳුකම පිටුදැකීම සජිත් මහතාගේ ආර්ථික දැක්මෙහි කැපී පෙනෙන අංගය වන බව ද පෙනෙන්නට තිබේ.

මේ තෝරා පත්කර ගැනීම පිළිබඳ ගෞරවය හිමිවිය යුතු නායකයෙක් සිටී. ඒ වත්මන් අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ය. වික්‍රමසිංහ මහතා සුදුසු අවස්ථාවේ බුද්ධිමත් තීරණය ගෙන තිබේ. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත සජිත් මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරිපත් කරන්නේ ද වික්‍රමසිංහ මහතා ය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ කැබලිකරණය වළක්වා ගත් බවත්; එක්සත් ජාතික පෙරමුණෙහි විසිර යෑම වළක්වා ගත් බවත් සඳහන් කළ යුතුය. එලෙස ම සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රාහී මාවත පෙන්වා දෙන්නට ද අගමැතිවරයා උත්සුක වී ඇත. ඔහුගේ එක් උපදේශනයක් වූයේ සුළු ජනකොටස් නියෝජනය කරන පක්ෂ සමඟ සාකච්ඡා කරන්න යන්නය. සජිත් ප්‍රේමදාස මහතා එය ඉටු කළේය. අවශ්‍ය නම්; පක්ෂ නායකත්වයෙන් වුව ඉවත්විය හැකි බව වික්‍රමසිංහ මහතා කියා ඇත. වික්‍රමසිංහ මහතා විශාල කැපවීමක් සිදුකර ඇති බව ද පැහැදිලිය.

සජිත් ප්‍රේමදාස මහතා යනු රටේ විශාල ජනප්‍රසාදයක් සහිත තරුණ නායකයෙකි. ඔහු සමාජ කණ්ඩායම් ගණනාවක් සමඟ හෘදයාංගම දේශපාලන සබඳතා පවත්වන කැපී පෙනෙන චරිතයකි. කොළඹ රාජකීය විද්‍යාලය‍ය ඔස්සේ ගොඩනැඟුණු සමාජ - සම්බන්ධතා ජාලයක් ඔහු සතුය. රාජකීය සිසුවකු ලෙස සිටින කාලයේ ද ගමේ සංවර්ධනයට අත ගැසූ තරුණයකු හැටියට ඔහු ප්‍රසිද්ධ වී සිටියේ ය. ‘රජසිසුගම’ නමින් නිවාස ව්‍යාපෘතියක් සජිත් සිය සගයෝ කැටුව ආරම්භ කළහ. එය බෙහෙවින් සාර්ථක විය. උසස් අධ්‍යාපනය සඳහා රටෙන් බැහැර වන සජිත්, යළි ශ්‍රී ලංකාවට එන්නේ සිය පියාණන්ගේ හදිසි වියෝවත් සමඟ ය. එවක් පටන් දේශපාලනයේ නියුක්ත වීමට ද, ජනතාව වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට ද ඔහු පටන් ගත්තේ ය. ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන ආභාසය ද සජිත් මහතාට තිබේ. එය මහජනයා අනුමත කරන රටේ දුප්පතුනට වැඩදායක වන අපූරු දේශපාලන කලාවකි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පෙරමුණ ද එහි නායකයන් ද නිවැරැදි තීරණය ගෙන ඇති බවම පෙනෙයි. එය තවදුරටත් සනාථ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමෙන් පසු රට පුරා නැඟුණු ප්‍රීති-ඝෝෂාවලින් ය. රතිඤ්ඤා හඬ, ඔල්වරසන් හඬ පමණක් නොව; පෙළපාළි පවා බොහෝ නගරවල දී දැකගත හැකි විය. සජිත් ප්‍රේමදාස යනු ජනතාවගේ තෝරා ගැනීමකි. සමාජයේ ඉල්ලීමකි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ට‍ෙම් සියුලු සාමාජිකයන්ගේ ඉල්ලීම සජිත් විය. එම ඉල්ලීම දැන් ලැබී ඇත. එක්සත් ජාතික පෙරමුණ අලුත් ගැම්මකින් යුතුව ජනාධිපති තරගයට ප්‍රවේශ වනු ඇතැ’යි සිතන්නට පුළුවන. විශේෂයෙන් බිම්මට්ටමේ ජනතාව සටනෙහි පෙරමුණ ගනු ඇත.

නව අදහස දක්වන්න