අහිතකර සාධක! | දිනමිණ

අහිතකර සාධක!

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික පුරෝකථනයක් සිදුකර තිබේ. එහි එක් සඳහනක් වන්නේ 2019 වසරේ ආර්ථික වෘද්ධිය 2.7% ක් විය හැකි බව ය. ගෙවී ගිය දශකය දෙස ආපසු හැරී බැලුවහොත් එය සැලැකිය යුතු ආර්ථික පසුබෑමක් ලෙස හඳුන්වා දිය හැකි ය. අපගේ අපේක්ෂාව 6% කට වැඩි වාර්ෂික ආර්ථික වෘද්ධියක් පවත්වා ගැනීම වුව; 4% කින් පහළට අපේ ආර්ථික වෘද්ධිය ඇද වැටුණේ නැත. එය සතුටුවිය හැකි තත්ත්වයකි. 2.7% ක වාර්ෂික ආර්ථික වෘද්ධියක් යනු ආර්ථිකය සම්බන්ධයෙන් වූ අනතුරු හැඟවීමකි. එය අපේ පාලකයන්ගේ දැඩි අවධානයට ලක්විය යුතු කාරණයකි.

මේ වසරේ ආර්ථීකයට අහිතකර ලෙස බලපාන සාධක කිහිපයක් තිබේ. පාස්කු ප්‍රහාරය ඒ අතරින් ප්‍රධාන වෙයි. ස්වභාවික විපත් දෙවන අහිතකර සාධකය ලෙස පෙන්වා දිය හැකි ය. තෙවන සාධකය වන්නේ දේශපාලන ආරවුල් හා කඹ ඇදීම් ය. රටේ ආර්ථිකයට තවත් බරපතළ හානියක් සිදුකර ඇත්තේ වැඩ වර්ජන හා විරෝධතා යැයි කිව හැකි ය. ඉන් සිදුවන හානිය කිසිවිටෙකත් ගණනය වන්නේ නැත. මේ වනවිටත් වැඩවර්ජන පවතින අතර එයින් මුළු රට ම අවුල් වෙමින් පවතී. රාජ්‍ය සේවක වැටුප් 107% කින් ඉහළ දමා ඇතත්; ක්ෂේත්‍ර ගණනාවක සේවා නැවතී ඇත. ඒ අතර දුම්රිය සේවයත් පැවැතීම නිසා නිෂ්පාදන හා සේවා ක්‍රියාවලියට තවත් බලපෑමක් සිදුවෙයි. ශක්තිමත් හා වේගවත් ප්‍රවාහන සේවාවක් යන්න සංවර්ධනයට බලපාන මූලික සාධකයකි.

ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ මැදි ආදායම් සහිත රාජ්‍යයක් හැටියට ය. අපේ ඒකපුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් හාරදහසක් පමණ ය. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වැනි ආසියාතික රටවල් දෙස බලනවිට අප පසුවන්නේ පසුගාමී තැනෙක ය. ඒකපුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් දොළොස් දහස දක්වා වර්ධනය කරගත යුතු බව ද, වාර්ෂික ආර්ථික වෘද්ධිය 6% ඉක්මවා තබා ගත යුතු බව ද ප්‍රකාශ වී ඇත. එය අපගේ ඉලක්කයක් විය යුතුව තිබේ. එය ක්‍රියාවට නැංවීම සඳහා සාධනීය ආර්ථික වැඩසටහන් තිබිය යුතු සේ ම ඒවා ක්‍රියාවට නැංවීම සඳහා ස්ථාවර පාලන ව්‍යුහයක් ද ගොඩනඟා ගත යුතු ය. රට සිංගප්පූරුවක් බවට හෝ මැලේසියාවක් බවට හෝ පත්කිරීමට ඉහත සඳහන් සාධක දෙක ම අවශ්‍ය වේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු කාරණයක් ලෙස ජාතික ආර්ථිකය හැඳින්විය හැකි ය. මෙතෙක් කිසිදු අපේක්ෂකයකු තමන්ගේ ආර්ථික දැක්ම හා වැඩසටහන් ජනගත කර නැත. සජිත් ප්‍රේමදාස මහතා දිළිඳුකම පිටුදැකීම ගැන කතා කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව ගැන කතා කරයි. ජනතා විමුක්ති පෙරමුණ දූෂණ හා වංචා ගැන කතා කරයි. මේ විෂය ක්ෂේත්‍ර තුනම වැදගත් ය. එකක්වත් බැහැර කළ නො හැකි ය. එක්කෝ මේවා ඒකාබද්ධ විය යුතු ය. නැතහොත් නව ආර්ථික දැක්මක් හා නව වැඩසටහන් ඉදිරිපත් විය යුතු ය. වැදගත් කාර්යය වන්නේ රටේ ආර්ථිකය ඔසොවා තබන උපායමාර්ග පැහැදිලි කිරීම ය. දේශපාලන වේදිකාව තුළ හෝ දේශපාලන සාකච්ඡා සභා තුළ හෝ ආර්ථිකය පිළිබඳ ගැඹුරු සංවාදයක් දකින්නට නැත. ආර්ථික දැක්මක් නැති නායකයන්ගෙන් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය.

යහපාලන ආණ්ඩුවට ආර්ථික දැක්මක් තිබිණි. එම ආර්ථික දැක් ම විවරණය කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. එහි කැපී පෙනෙන අංශ තුනක් සඳහන් විය. අපනයන ආර්ථිකය, ඉන්දියන් සාගරයේ මූල්‍ය කේන්ද්‍රය හා සාගර ආර්ථිකය ලෙස එම අංශ තුන හඳුන්වා දිය හැකි ය. මෙය පිළිගත හැකි ප්‍රායෝගික ආර්ථික වැඩසටහනක් බව පැහැදිලි ය. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවට අපනයන ආර්ථිකයක් තිබිණි. එය ශක්තිමත් එකකි. ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රයක් හැටියට ද ශ්‍රී ලංකාව පැවතී ඇත. අරාබි රටවල්, චීනය, ඉන්දියාව, මිසරය පමණක් නො ව; යුරෝපීය රටවල් කිහිපයක් ද අපගේ ආර්ථික ජාලයට අයත් විය. ඊට අදාළ පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා හමුවී ඇත. මෙයින් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට ගැළපෙන ආර්ථික රටාවක් අතීතයේ පවා පැවැති බව ය. එය නැවතත් ගොඩනැඟිය යුතුව තිබේ. එහෙත් යහපාලන ආණ්ඩුවේ සියලු ඉලක්ක ජයගැනීමට හැකිවූයේ නැත.

එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ ප්‍රධාන අභියෝගයක් පවතී. එනම්; රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම හා වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නේ ද? නැතහොත් එය ප්‍රතිසංස්කරණයට ලක් කරන්නේ ද? යන්න ය. සජිත් මහතා මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙහි ආර්ථික දැක්ම හා වැඩසටහන් ඉදිරියට ගෙන යන බවකි. එහෙත් එහි ලා සිදුවන වෙනස්කම් ද සජිත් මහතා පෙන්වා දෙයි. ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් විදේශයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ දී වඩාත් පරෙස්සම් විය යුතු බව ඔහු පෙන්වා දෙයි. රටට පාඩුවක්, අභිමානයට හානියක් හා සම්පත් සූරාකෑමක් සිදුවන්නේ නම්; එබඳු ගිවිසුම් ප්‍රතික්ෂේප කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිව කියා සිටී. එය සාධනීය තීරණයක් ලෙස සැලැකිය හැකි ය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා වියට්නාමයේ ආර්ථිකය ගැන විශ්වාසය පළ කරමින් ප්‍රකාශ නිකුත් කර ඇත. වියට්නාමයේ ආර්ථිකය අද වනවිටද කැපී පෙනෙන මට්ටමකින් වර්ධනය වෙයි. එහෙත් විවිධ හේතු නිසා ශ්‍රී ලංකා ආර්ථිකය යම් පසුබෑමකට ලක්වී ඇත. 2.7% ක වාර්ෂික ආර්ථික වෘද්ධියෙන් ද ඒ බව පැහැදිලි වෙයි. කෙසේ වුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල අනුමත කර ඇත. ඉන් පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍යායතන අප කෙරෙහි තවදුරටත් විශ්වාසය රඳවන බව ය. මේ තත්ත්වය අපේ ජනාධිපති අපේක්ෂකයන් ද හොඳින් වටහාගත යුතු ව තිබේ.

 

නව අදහස දක්වන්න