ස්වාධීන මැතිවරණ! | දිනමිණ

ස්වාධීන මැතිවරණ!

ජනාධිපතිවරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් යටතේ පැවැත්වීමට සුදුසු පසුබිමක් ගොඩනැ‍ඟෙමින් පවතී. එය සුබවාදී තත්ත්වයකි. වැදගත් වන්නේ මැතිවරණ කෙරෙහි මහජනයා තුළ පවත්නා විශ්වාසය ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීමය. ඇෆ්ගනිස්ථානයේ මැතිවරණයක් පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අඩු ප්‍රතිශතයක පවතී. ඉන් පෙනී යන්නේ එරට ජනතාව මැතිවරණ කෙරෙහි විශ්වාසයක් නොතබන බව ය. ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් නැත. මෙරට මැතිවරණවල ඡන්ද ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක පවතී. ස්වාධීන හා නිදහස් වාතාවරණයක් යටතේ මැතිවරණ පවත්වන්නේ නම් ඡන්ද හිමි නාමලේඛනයේ සියලුදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමට සහභාගි වනු ඇත.

මුලින් සඳහන් කළ පරිදි ජනාධිපතිවරණය වඩාත් ප්‍රජ‍ාතන්ත්‍රවාදී ලෙස පැවැත්වීමට යන බව පෙනේ. එක අතකින් අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් තරගයට ඉදිරිපත් වන බව පෙනෙයි. තව අතෙකින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කිසිදු අපේක්ෂකයකුට අගතියක් නොවන ආකාරයෙන් ප්‍රචාරණය කළමනාකරණය කිරීමට මැතිවරණ කොමිසම ඉදිරිපත්ව සිටී. මැතිවරණ නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත. මේ සියලු සාධකවලින් පැහැදිලි වන්නේ මැතිවරණයකට අවශ්‍ය නිදහස් පසුබිම ගොඩනැ‍ඟෙමින් පවතින බවය. එය සාධනීය ලක්ෂණයකි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට දින කිහිපයකට පෙර කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් විස්සක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ නාමයෝජනා බාරදීමට සූදානමින් සිටින බවය. මේ වන විට නමදෙනකු නාමයෝජනා බාර දී ඇත. තරගයට ඉදිරිපත් වූ අලුත්ම අපේක්ෂකයා වන්නේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ය. ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ වී ඇත. එහෙත් ජාතික ජනතා ව්‍යාපාරය නම් සංවිධානයක් ඔහුට සහය ලබා දෙයි. රටේ වෘත්තිකයන් ජාතික ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් බවට පත් වී ඇති බවට පෙනෙන්නට තිබේ. මේ අයුරින් රටේ සිවිල් සංවිධාන කිහිපයක් ද ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයන් තෝරමින් සිටින බවක් ද වාර්තා වී ඇත.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ වීමට පෙර සමාජයේ පැවැති එක්තරා මතයක් වූයේ ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම බෙහෙවින් අඩුවිය හැකි බව ය. ඡන්දය ප්‍රතික්ෂේප කරන බව සමහරු ප්‍රසිද්ධියේ කියා සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රාජ්‍යයක මහජනයා වෙතින් ඡන්දය ප්‍රතික්ෂේප වීම බරපතළ තත්ත්වයකි. එහෙත් පැවැති තත්ත්වය වෙනස් වී ඇති බවක් දැන් පෙනෙයි. නව සංවිධාන බිහිවීම මෙන්ම ජනාධිපතිවරණය සඳහා අලුත් අපේක්ෂකයන් ඉදිරිපත් වීම ද සුබදායකය. එයින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙයි. මැතිවරණ සඳහා මහජන සහභාගීත්වය වැඩි වෙයි. රටේ ඇත්ත ප්‍රශ්න සාකච්ඡා කිරීමට හොඳ පසුබිමක් ද මේ ‍ඔස්සේ මතුවෙයි.

මේ දිනවල මැතිවරණ වේදිකාවල සාකච්ඡා වන එක් මාතෘකාවක් වන්නේ නිදහසින් පසු රටට සිද්ධවූයේ කුමක්ද යන්නය. පැවැති දේශපාලනය මෙන්ම බලයේ සිටි නායකයන් ද මේ මගින් ප්‍රශ්න කිරීමට ලක්වනු දකින්නට ලැබේ. ඉතිහාසයේ ජනතාවට වැරදුණු තැන් මෙන් ම අනාගතයේ වැරදීමට ඇති අවස්ථා ද විශ්ලේෂණයට හසුවන බවක් පෙනෙයි. අපේ බොහොමයක් මැතිවරණවලදී බලය පිළිබඳ තීරණාත්මක සාධකයක් බවට පත්වූයේ පොරොන්දු ය. නොමිලේ හාල් සේරුවක් ලබාදීමට, පාන් මිල පහත හෙළීමට ආණ්ඩුවක් පෙරළා දැමීමේ හැකියාව තිබිණි. එය බුද්ධිමත් දේශපාලනයක් නොවේ. අද ජනතාව කල්පනා කළ යුත්තේ හෙට දවසේ රටේ ආර්ථිකය ගැන ය. මේ වසරේ ආර්ථික වෘද්ධිය 2.7% ක් බවට පුරෝකථනය වී ඇත. සොයාගත යුත්තේ මෙය වෙනස් කළ හැකි දර්ශනය හා නායකයා ය.

මැතිවරණ කොමිසමේ නිර්දේශ හා උපමාන අකුරට ම ක්‍රියාත්මක වන්නේ නම් කිසිදු අපේක්ෂකයකුට අගතියක් සිදුවන්නේ නැත. මීට පෙර මැතිවරණ අත්දැකීම් අනුව ගතහොත් ඇතැම් මැතිවරණ සඳහා රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන තිබිණි. නව රැකියා ලබාදීම, ආධාර බෙදාදීම පමණක් නොව රාජ්‍ය සම්පත් ඡන්ද ප්‍රචාරණය සඳහා යොදා ගැනීම සිදුවිය. මේ වන විට ඒ සියල්ල තහනම් කර ඇත. අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණයන්ට අවශ්‍ය උපදෙස් ද ලබා දී තිබේ. ඒවා උල්ලංඝනය කිරීම මැතිවරණ නීති කැඩීමක් ලෙස සලකා ක්‍රියාකිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටියි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිසිය අවදියෙන් සිටින බවක් ද පෙනෙන්නට තිබේ.

ජනමාධ්‍ය සඳහා අවශ්‍ය උපමාන මැතිවරණ කොමිසම විසින් මේ වන විටත් අදාළ ආයතන වෙත ලබා දී තිබේ. රජයේ ජනමාධ්‍යවලට පමණක් නොව පෞද්ගලික ජනමාධ්‍ය ආයතනවලට ද උපමාන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යයි. ඒ අනුව කිසිදු ආයතනයකට තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් නැත. කිසිදු අපේක්ෂකයකුට අගතියක් කිරීමේ හැකියාවක් ද නැත. මෙය හොඳ තත්ත්වයකි. මැතිවරණවලදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ප්‍රචාරක තරගය යි. මේ තරගයේදී එකිනෙක අපේක්ෂකයන් අතර ගැටුම් ඇතිවෙයි. දේශපාලන පක්ෂ හා සංවිධාන අතර ගැටුම් ඇතිවෙයි. එය පාලනය කිරීම නිදහස් මැතිවරණයකට අවශ්‍ය මූලික සාධකයකි.

ජනාධිපතිවරණය පිළිබඳ පෙර නොවූ උනන්දුවක් සමාජයෙන් මතු වී ඇත. එය වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන තරමට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයත් ඉහළ යනු ඇත. අප කාගේත් අපේක්ෂාව නිදහස් හා ස්වාධීන ජනාධිපතිවරණයකි. ඊට අවශ්‍ය පසුබිම සැකසී ඇතැයි තෘප්තිමත් විය හැකි ය.

 

නව අදහස දක්වන්න