පොදු ලකුණකින් සන්ධානයක් හදන්න පොහොට්ටුවේ නම්‍යශීලිභාවයක් නැතිව බෑ | දිනමිණ

පොදු ලකුණකින් සන්ධානයක් හදන්න පොහොට්ටුවේ නම්‍යශීලිභාවයක් නැතිව බෑ

අපට අනන්‍ය වූ අපේම ආණ්ඩුවක් හදන්නයි අපි ලෑස්ති වෙන්නේ:
ජනාධිපති ඡන්දයේ දී ශ්‍රීලනිපය ගන්න තීන්දුවෙන් තමයි ජයග්‍රාහී අපේක්ෂකයා පත් වන්නේ:
මේ රටේ පොඩි මිනිසාගේ දුක හඳුනන දේශපාලන පක්ෂය ශ්‍රීලනිපයි

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ දී ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයන්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසූවේ පසුගියදා (29) පස්වරුවේ පැවැති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

එහි දී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

කුරුණෑගල කියන්නේ ලංකාවේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්. නිෂ්පාදනය, කර්මාන්තය විවිධ ක්ෂේත්‍ර රටට මහා සම්පත් දායාද රාශියක් ලබාදෙන දිස්ත්‍රික්කයක් තමයි කුරුණෑගල කියන්නේ. ඒ වගේම මට වඩා හොඳින් ඔබ දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම පිළිබඳව. පොළොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු යුගයේ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් වැඩිපුර හදලා තියෙන්නේ. කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව පෙර රජදවස රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී තිබුණු මහා පුරවරයම බව ඔබ සෑම කෙනෙකුම දන්නවා. අද තාක්ෂණික ලෝකයේ උගත් නව පරපුරත් සමඟ ලෝකය වේගයෙන් ඉදිරියට යන විට ලංකාවේ නව උගත් තරුණ පරපුර වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ පරපුර සියලුදෙනාම වේගවත් සමාජ පරිවර්තනයකට හසුවන අවස්ථාවක් තමයි මේ උදාවෙලා තිබෙන්නේ.

අපි මේ රටේ දේශපාලනයේ ඉතිහාසය පිළිබඳව හොඳට දන්නවා. නිදහසෙන් පසු වසර හැත්තෑ එකකට වැඩි කාලයක් මේ රටේ ජනතාව ඡන්දයෙන් පත් කරපු ආණ්ඩු දාසයක් දාහතක් විතර බලයට පත්වෙලා තිබෙනවා. ඩී.එස්. සේනානායක මහත්තයගෙ ඉඳලා 70 -77 සිරිමාවෝ බණ්ඩාරනායක යුගය එනතෙක් මේ රටේ තිබුණේ පැහැදිලි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්. බොහෝ විට රාජ්‍ය බලය පාවිච්චි කිරීම ඉතාම අවමයි. රටේ යහපත සඳහා අංක එකේ දේශපාලනඥයන්ගෙන් පිරුණු, අපේකම් එක්ක අපේ සංස්කෘතිය, අපේ උරුමය, අපේ ආගම බෞද්ධ දර්ශනය බෞද්ධ රටක් විදිහට ඒ සියල්ල පෙරදැරි කරගත් රාජ්‍ය පාලනයක උසස්ම ඉහළ ලක්ෂණ ඩී.එස්. යුගයේ සිට වෙනස් වූ බණ්ඩාරනායක පරිවර්තනයත් එක්ක 77 දක්වා මේ රටේ තිබුණා.

විශේෂයෙන්ම 77 මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය වෙනස් මඟකට යොමු කරමින් රාජ්‍ය පාලනයේ තනි බලය විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් යුගය මේ රටේ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සීමා කළා. ඒ සීමාවන් ඇති වුණේ 78 ව්‍යවස්ථාවත් එක්කයි. හැත්තෑ අටේ ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් කිරීමේ දී ඒ පනත එදා පාර්ලිමේන්තුවට ගෙන විවාද කරන විටත් බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඉතා දැඩි ලෙස විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කතා කළා. ඒ වගේම අනාගතයේ සිදුවන බරපතළ විපාක පිළිබඳව කතා කළා .

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට විරාමයක් තැබූ දේශීයත්වය අමතක කළ, ඒ වගේම අපේකම අපේ ස්වදේශිකත්වය යටපත් කළ යුගයක් බවට ජයවර්ධන යුගය පත්වුණා. ඒත් එක්කම ඉතිහාසයේ කිසිදා නොමැති ආකාරයට ජයවර්ධන යුගයේ සිට මේ රටේ මේ දක්වා වංචාව, දූෂණය, නාස්තිය, රාජ්‍ය බලය අයහපත් විදියට පාවිච්චි කිරීම බරපතළ ලෙස සිදුවෙන්න පටන් ගත්තා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ඒකාධිපතිත්වයක් බිහිකළා. ජයවර්ධන මහත්තයා ආරම්භ කළ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල මදි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයෙන් රාජාණ්ඩු ක්‍රමයක් මේ රටේ හැදුවා. අපි එදා ඇහුවා ආණ්ඩුවේ ඉන්නකොට ඇයි 18 වෙනි සංශෝධනය ගෙනාවේ කියලා.

මහින්ද රාජපක්ෂ මහත්තයා හිනාවෙවී කියපු දේ තමයි තමුන්නාන්සේලා දන්නවා ඇමැති මණ්ඩලය කිව්වේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ආපුහාම එයා හිතනවා නියෝජ්‍ය ඇමැතිකමක් නැතුව මුකුත් කරන්න බෑ කියලා. නියෝජ්‍ය ඇමැතිකමක් ලැබුණාම එයා හිතනවා මට ඇමැතිකමක් නැත්නම් වැඩ කරන්න බෑ කියලා. ඇමැතිකමක් ලැබුණාම හිතනවා මට මීට වඩා වැඩ කරන්න පුළුවන් අගමැතිකම ලැබුණා කියලා. අගමැතිකම ලැබුණාම හිතනවා මට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකම හම්බ වෙනවනම් විතරයි කියලා. එතුමා කියනවා මට ජනාධිපතිකම ලැබුණත් මට බලතල මදි කියලා හිතුණ නිසා මම 18 වැනි සංශෝධනය ගේනවා කියලා. අපි ආණ්ඩුව විදිහට ඡන්දය දුන්නා.

නමුත් මේ රටේ ඇති වෙච්ච තත්ත්වයන් ඔබට විග්‍රහ කරන්න මං වෙලාව ගන්නේ නැහැ. ඒ තත්ත්වය ජනතාව ප්‍රතික්ෂේප කළා. පක්ෂයේ ලේකම්වරයා විදියට වසර දහතුනක් වැඩකරපු මම, රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට ආවේ 2014 නොවැම්බර් මාසයේ විසි එක්වනදා. මම එදා ගත්ත තීරණේ වැරදි නම් 2015 ජනවාරි 8 වැනිදා ජනතාව මාව පරාජය කළ යුතුයි. 2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 13ක් වැඩ කළ මා ලේකම් විදියට ජනාධිපති ධුරයට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළේ හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින්, රාජපක්ෂ මහතාගේ ක්‍රමය ජනතාවට ප්‍රතික්ෂේප කළ නිසා බව ඒ අය සියලු දෙනා පිළිගන්න ඕනෑ.

මම හිතනවා මෙතැන ඉන්නෙ වැඩි පිරිසක් 2015 මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දය පාවිච්චි කරන්න ඇති. නමුත් රටක් විදිහට පොදු ජනමතය වුණා ඒ පාලනය වෙනස් කිරීම. ඒ නිසා රටේ ජනතාව ජනාධිපති පත්කරගත්තා. මේ රටේ දේශපාලනය සහ ලෝක දේශපාලනය ගත් විට අපේ මිත්‍ර රාජ්‍ය මහාභාරතය නැත්නම් ඉන්දියාව ගත් විට ඉන්දීය ඉතිහාසයේ ඔබ අහල තියෙනවා චණ්ඩාශෝක සහ ධර්මාශෝක පිළිබඳව. චණ්ඩාශෝක අධිරාජ්‍යයා යුද්ධ කරලා මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් කරපු නිසා එදා ඔහුට චණ්ඩාශෝක කියලා කියන්න පටන් ගත්තා.

කලක් යනකොට ඔහුට තේරුණා මම විශාල වශයෙන් මිනිස් ඝාතන සිදු කළා. ඒ නිසා මම දැහැමි ජීවිතයක් ගත කළ යුතුයි කියලා. දැහැමිව රාජ්‍ය පාලනය කළ යුතුයි කියලා. ඒ නිසාම දැහැමි පිළිවෙතක් අනුගමනය කරනවා කියලා චණ්ඩාශෝක රාජ්‍යය එක්සේසත් කර කලක් යන කොට ධර්මාශෝක බවට පත් වුණා. ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ පසුබිම කුමක්ද. ඒකේ අනිත් පැත්තයි. බලයට එන්න කලින් හැමකෙනෙක්ම ධර්මාශෝකලා.

බලයට ආවට පස්සේ චණ්ඩාශෝකලා බවට පත් වුණා. විධායක ඡනාධිපති ක්‍රමය 1978 සිටම මගේ කාලය දක්වා සිදුවුණේ එයයි. ධර්මාශෝකලා චණ්ඩාශෝකලා බවට පත් වුණා. 77 ධර්මිෂ්ට පාලනය ධාන්‍ය රාත්තල් අට ඔබට මතක ඇති. එතැන් සිට පසුගිය වසර පහක කාලයේ රටේ ජනාධිපතිවරයා විදිහට මම මොනවද රටට ලබාදුන්නේ. අංක එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කොතෙක් අසීමිත විදිහට මම තමුන්නාන්සේලාට ලබාදුන්නාද කියන එක තමුන්නාන්සේලාගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් පෙනී යනවා. සමාජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය මේ රටේ නිදහස භාවිත කරන්නේ අසීමිත හා සමාජයට අහිතකර විදියට මොනතරම් අශීලාචාර විදිහටද කියලා තමුන්නාන්සේලා දන්නවා. නමුත් මම නිදහස දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. මගේ වසර පහක කාලයේ මේ රටේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට එල්ල වූ චෝදනා මට නැහැ.

මිනීමැරුම්, ඝාතන, ගෙවල් ගිනි තැබීම්, කාන්තාවන්ට අතවර කිරීම්, බරපතළ පෞද්ගලික දේශපාලන පළිගැනීම්, හිරිහැර. පළමුවැනි ජනාධිපතිගේ සිට පස්වැනි ජනාධිපතිවරයා දක්වා ඒ චෝදනා සියලු දෙනාටම තිබෙනවා. ජනාධිපති ආරක්ෂක අංශය ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ ඉඳලා හැම ජනාධිපතිවරයෙක්ම නීතියෙන් පිට වැරදි විදිහට පාවිච්චි කරපු බවට සාක්ෂි සාධක, නඩු විභාග සියලු දෙනාටම තිබෙනවා. ත්‍රිවිධ හමුදාව බරපතළ නීති විරෝධී ක්‍රියා සඳහා දේශපාලන පළිගැනීම් කරමින් රාජ්‍ය පාලනය රාජ්‍ය භීෂණය ගෙනගිය ආකාරය පිළිබඳව සාක්ෂි සාධක මේ රටේ ජනතාවට අනන්තවත් තියෙනවා. නීති පොතේ තියෙනවා. පොලීසියේ තියෙනවා. උසාවියේ පොතේ තිබෙනවා. මගේ වසර පහක කාලයේ එවැනි චෝදනා මට එල්ල වී නැහැ.

මම මේ රටේ පුංචි තැනකින් ආපු මිනිහෙක් විදිහට වලව් පැලැන්තියක නැතිව, ප්‍රභූ පන්තියෙන් නැතිව, ධනපති පන්තියෙන් නැතිව ඒ සියල්ලෙන් නැතුව දුප්පතුන්ගේ ලෝකයෙන් බිහිවී ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ වසර 52ක මගේ දේශපාලන ඉතිහාසයේ මම ඒ අශීලාචාර දේශපාලන චෝදනාවලට ලක් නොවෙච්ච කෙනෙක්, අද ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියලා මම පැහැදිලිව කියන්න කැමතියි. ඒකයි බණ්ඩාරනායක දර්ශනය.

ඒකයි මැතිනියගේ දර්ශනය. ඒකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න උත්සාහ ගත්තේ අද ඊයේ නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය මරන්න උත්සාහ ගත්තේ පළමුවෙනි වෙඩිල්ල තිබ්බේ බණ්ඩාරනායක මහත්තයට. ධනපති පන්තිය එදා ඒ 56 ආණ්ඩුව නියෝජනය කරපු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න තීන්දු කළේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න තීරණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ඇසක් අහිමි කරමින් ආබාධිත කරලා, ඇයව ඝාතනයට සූදානම් කරලා. ඒ නිසා ඒ ඉතිහාසය තමුන්නාන්සේලා දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිවෙලා තියෙන අභියෝග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කැඩුණා. 80 දශකයේ මහජන පක්ෂය, බහුජන පක්ෂය හැදුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. බණ්ඩාරනායක පවුලේම අය අලුත් පක්ෂ හැදුවා.

චන්ද්‍රිකා පක්ෂයක් හැදුවා. අනුර බණ්ඩාරනායක අලුත් පක්ෂ හැදුවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිය ගියේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මියගිහින් නැත්තේ පක්ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්තිය නිසයි. මෙරට දේශපාලන පක්ෂ කොතෙක් තිබුණත් අදත් මේ රටේ පොඩි මිනිසාගේ දුක හඳුනන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂා වෙලා තිබෙන්නේ.

ඒ නිසා අපි හිතන්නට ඕනෑ යායුතු දේශපාලන ගමන කුමක්ද කියලා. දයාසිරි ජයසේකර මහතා කතා කරන කොට අහගෙන හිටියා. අනෙක් අය කතාකරන විට මම හිටියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම බාරගෙන පහුගිය වසර පහකට ආසන්න කාලයේ ඇති වෙච්ච දේශපාලන අර්බුද තමුන්නාන්සේලා දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයලා අලුත් පක්ෂයක් හැදුවා පොහොට්ටුව කියලා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම ආණ්ඩු කරන විට හොඳ නරක, සමාජ සාධාරණත්වය හා සාධාරණය, දූෂණයට, වංචාවට තිබෙන මගේ විරුද්ධත්වය පෙන්නුවා. රනිල් සමඟ ගැටුම පෞද්ගලික ගැටුමක් නෙමෙයි.

දේශපාලන දර්ශනයේ ගැටුමක්. හොඳ හා නරක අතර ගැටුමක්. ඒ නිසා මට සිද්ධ වුණා අන්තිමේ දී රනිල් අගමැතිකමෙන් අයින් කරලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න. මම පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඇමැති මණ්ඩලය විසිරෙව්වා. පාර්ලිමේන්තුව කල් දැම්මා. මේ රටේ නෙමෙයි ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් එහෙම ගැසට් පහක් ගහලා නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල. මහින්ද රාජපක්ෂ මහත්තයාට මම ආණ්ඩුවක් හදලා දුන්නා. නමුත් එයට 113 හදාගන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒක මගේ වැරැද්ද නෙමේ. ඒ අය බාර ගත්ත වැඩේ ඒගොල්ලො අතින් ඉටු වුණේ නැහැ.

ඒ වගේ ඔබ දන්නවා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයේ ඉන්නේ පොහොට්ටුව නිසා නොවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන්ගෙන් ලියුමෙන්. කතානායකවරයාට දුන්නා මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා. එහෙම ලියලා කතානායකතුමාට දුන්න ලියුම නිසයි අද එතුමා ඉන්නේ. අද අපිට විරුද්ධව කතා කරන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම අද මන්ත්‍රීවරු විදිහට පාර්ලිමේන්තුව රැඳී සිටින්නේ අර පහුගිය ගැසට් ගහපු වෙලාවේ, මම පාර්ලිමේන්තුව විසිරෙව්ව වෙලාවේ ඊට පහුවදා ඔක්කොම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන පාර්ලිමේන්තුවේ දී ඇතිවෙච්ච අර්බුදයේ දී කතානායකවරයා ඇහුවා. මේ මන්ත්‍රීවරු මොන පක්ෂයේද කියලා.

අපි ලියුමක් දීලයි ඒ අයව බේරා ගත්තේ මන්ත්‍රීවරු විදියට. මහින්ද අමරවීර මන්ත්‍රීතුමාගේ ලියුමෙන් තමයි අද ඒ අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඉන්නේ නැත්නම් ඒ අයගේ මන්ත්‍රීකම අහෝසියි. රහසක් නොවෙයි පොහොට්ටුවයි අපියි සමඟි සන්ධානයක් හදන්න මාස දෙක තුනක සිට සාකච්ඡා කළා. ඊයේ උදේ මහින්ද රාජපක්ෂ මහතායි, ගෝඨාභය රාජපක්ෂ මහතායි, බැසිල් රාජපක්ෂ මහතායි තුන් දෙනාම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මමයි අපි හතර දෙනාම සාකච්ඡා කළා සන්ධානය හැදීමේ පසුබිම පිළිබඳව.

මම අපේ මධ්‍යම කාරක සභාවේ මතය කිව්වා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය කිව්වා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මතය කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න මිනිහාගේ මතය ඒ ගොල්ලන්ට කීවා. මම කීවා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙළක් හදාගෙන ඇති කර ගන්නා එකඟත්වයකින්. නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දය දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා කිව්වා. පොහොට්ටුව ලකුණට ඡන්දය දෙන්න බෑ කියලා කිව්වා.

ඒක නිසා මම කිව්වා පොදු ලකුණකට එන්න අපිට එකතු වෙන්න පුළුවන්. මම ඒ ගොල්ලන්ට කරපු උදව් පාර්ලිමේන්තුවේ තියාගන්න ඒවා විපක්ෂ නායක කරපු ඒවා අගමැති කරපු ඒවා මම ඇයි මේවා කිව්වේ මෙච්චර දේවල් කරපු අපි ඉදිරිපත් කරන යෝජනාවට පොහොට්ටුවේ නම්‍යශීලිභාවයක් තිබිය යුතුයි සන්ධානයක් හදනවානම්. ඒ නම්‍යශීලිභාවය ඇතිවුණේ නැත්නම් තමුන්නාන්සේලාගේ පාක්ෂිකයෝ විදියට කුමක් ද අනාගතය. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු 1300 කගේ අනාගතය කුමක් ද? පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනවල අනාගතය කුමක් ද? පාර්ලිමේන්තු කණ්ඩායමේ අනාගතය කුමක් ද? ඒ නිසා නම්‍යශීලි ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි පොදු එකඟතාවයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව, ගෞරවය සහ පාක්ෂිකයා සහ පක්ෂ දර්ශනයක් ප්‍රතිපත්ති ආරක්ෂාවට. එහෙමනම් අපිට පුළුවන් එකතු වෙන්න.

පසුගිය දවස්වල මම ගෙනගිය අවුරුදු පහේ මත්ද්‍රව්‍ය පිළිබඳ රටේ ගෙන යන ජාතික වැඩපිළිවෙළ, දරුවන් රැක ගන්න, ලෝකයේ අද තිබෙන ප්‍රබල අභියෝගය ලෝකයේම දරුවන් රැක ගන්න නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පෙති හසීස්, මරිජුවානා, අයිස් කියන ඉතාම දරුණු මත්ද්‍රව්‍ය. එයින් මේ රටේ දරුවෝ බේරාගන්න තමයි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මේ රටෙන් අතුගා දමන්න තමයි මම එල්ලුම්ගහ ගේන්න තීරණය කළේ. හතර දෙනෙකුගේ නම් මම අනුමත කෙරුවේ එල්ලුම්ගහ ගේන්න තමයි.

හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ නඩය එකපාරට මහපාරට බැස්සා වගේ කියලා කිව්වා බැහැ බැහැ අපරාධකාරයන්ට දඩුවම් දෙන්න එල්ලුම් ගහ ගේන්න බැහැ ඒක හොඳ නැති දෙයක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මර්දනය කරන එක හොඳ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාත් එකපාරට එළියට ඇවිල්ලා කිව්වා බැහැ එල්ලුම්ගහ බැහැ අපි ඒකට විරුද්ධයි කියලා කිව්වා. ඒවාට එකතු වෙනවා එකතු වෙන්න ඕනෑ අය. හැබැයි අපි අපේ දේශපාලන ව්‍යාපාරය රටක් වෙනුවෙන් ගෙනියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

අද මේ රටේ තානාපති දේශපාලනය විදේශ බලවේගවල දේශපාලනය කවදාවත් නැති විදියට උග්‍රවෙලා. අපි හම්බවෙන්න නම් කවුරුවත් එන්නේ නැහැ දේශපාලනය ගැන කතා කරන්න තනාපතිවරු. නමුත් අපි මාධ්‍යවල දකිනවා වගේම අපිට ආරංචි වෙනවා ලෝකයේ බලවත් රටවල තනාපතිවරු ලබන මාසයේ සහ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති ඡන්දය පිළිබඳව තනාපති කාර්යාල ගණන් හදනවා ඒගොල්ලන්ට ඕනෑ ආණ්ඩුවක් හදාගන්න. ඒ ගොල්ලන්ට ඕනෑ ආණ්ඩුවක් හදාගන්න එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අයත් හම්බ වෙනවා. විපක්ෂයේ නායකයා ඇතුළු විපක්ෂයේ අයත් හම්බ වෙනවා.

මම ඉතාම පැහැදිලිව කියනවා .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුළ අපි කිසිවිටෙකත් තානාපති දේශපාලනයට විදේශ බලවේග දේශපාලනයට යටවෙන්නේ නැහැ. මේ රටේ දේශීයත්වය, සංස්කෘතිය, අපේ උරුමය, ජාතිකත්වය, ස්වදේශිකවාදය තුළ අපට අනන්‍ය වූ අපේම ආණ්ඩුවක් අපේම පාලනයකටයි අපි ලැස්ති වෙන්නේ කිසිම විදේශ බලවේගයකට යට නොවෙච්ච කියලා මම පැහැදිලිව කියනවා. ඒ නිසා තමා ජයසේකර මන්ත්‍රීතුමාගේ කතාවේ දී කිව්වේ අමෙරිකන් ගිවිසුම් සියල්ලටම මම විරුද්ධ වුණා කියලා.

මම අමෙරිකන් තනාපතිනියටම කිව්වා මගේ නිවසට ආපු වේලාවේ මේ කිසිම ගිවිසුමකට අත්සන් කරන්න මගේ කාලයේ කැමති නැහැ කියලා කිව්වා. එහෙමයි අපි වැඩකරන්නේ. මේ පසුබිමේ අපේ ඉදිරි වැඩපිළිවෙළ කුමක් ද? සමහර අය කියනවා ආණ්ඩුවෙයි විපක්ෂයේ අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් නැහැයිලු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් දියවෙලා ගිහිල්ලා. සමහර අපේ ළඟ ඉන්න අයත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් නැහැයි කියලා. මොකද ඔළුවේ දේශපාලන දර්ශනයක් නැහැ.

ප්‍රතිපත්තියක් නැහැ. පක්ෂය ගැන හැඟීමක් නැහැ. ඒක නිසා දැන් කියනවා පක්ෂය ඉවර වෙලා කියලා. පක්ෂය තියෙනවායි කියන අද පෙනෙන හොඳම සාක්ෂිය සහ සාධකය කුමක්ද? නොවැම්බර් මාසේ 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනාධිපතිවරයෙක් තෝරා ගන්න අපේක්ෂකයෝ ඉදිරිපත් කර ඉන්න හැම පක්ෂයක්ම කියනවා එළියෙත් කියනවා පිටත් කියනවා හොර රහසෙත් කියනවා අපිටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව අපිට ජනාධිපතිවරයෙක් පත්කරන්න බැහැ කියලා . ඒක තමා ඇත්ත . මේ රටේ දේශපාලන විචාරකයන්, මාධ්‍යවේදීන්, අපක්ෂපාති මධ්‍යස්ථව හිතන අය දේශපාලනයේ, උගතුන්, බුද්ධිමතුන් අද කවුරුත් කියන කතාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුව තමයි ජයග්‍රාහී අපේක්ෂකයා වෙන්නේ ජනාධිපති ඡන්දයේ දී කියලා. ඒ නිසා අපිට ප්‍රතිපත්තියක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා.

අද තියෙන ජනාධිපති ධුරයේ තත්ත්වය තමුන්නාන්සේලාට මම මාසයකට කලින් කිව්වා. 18 වෙනි සංශෝධනයෙන් හිටපු ජනාධිපතිගේ බලතල. රජෙකුගේ බලතල. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ ජනාධිපති ධූරයේ බලතල අහිමි වීම. අද මට ආරක්ෂක අමාත්‍යාංශය තියෙනවා ජනාධිපති විදියට. නොවැම්බර් මාසයේ 16දා පත්වෙන ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශයත් නැහැ කිසිම ආයතනයක් නැහැ. අද මට තියෙන බලතලවලින් සියයට 50ක් නැහැ. ඒක තමා ඇත්ත . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරන්නේ අද රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල තියෙන ආණ්ඩුවක් හදන්න, 2020 පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම සඳහායි අපේ සැලැස්ම සහ වැඩපිළිවෙළ කියලා මම තමුන්නාන්සේලාට මම පැහැදිලිව කියන්න අවශ්‍යයි.

ඒකයි අපේ ඉලක්කය සහ වැඩපිළිවෙළ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම නොවෙයි. අපි සන්ධාන ගත වෙනවා පෙරමුණ හදනවා. මේ රටේ 56 ඉඳලාම කිසිම දේශපාලන පක්ෂයකට තනිව ආණ්ඩු හදන්න පුළුවන් වෙලා නැහැ. බණ්ඩාරනායක ආණ්ඩු, ඩඩ්ලි සේනානායක ආණ්ඩු, ජයවර්ධන ආණ්ඩු, ප්‍රේමදාස ආණ්ඩු, වන්ද්‍රිකා ආණ්ඩු, රාජපක්ෂ ආණ්ඩු මේ සියල්ල සන්ධාන ආණ්ඩු. අද තියෙන සන්ධාන ආණ්ඩුවක් එක්සත් ජාතික පෙරමුණේ. පාර්ලිමේන්තුවේ 225 න් අපි 125 ගන්නවා කියලා අපි කියන්නේ නැහැ.

නමුත් වැඩපුර ආසන ගන්න කවුරුන් හෝ පක්ෂය පාලනය කිරීම සඳහා අපිට අවශ්‍ය විදියට මේ රටේ ආණ්ඩුවක් හදලා ප්‍රතිපත්ති මෙහෙයවන්න, අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 50 තිබුණොත් ඇති. අපි ඒ ඉලක්කයට යනවා අපි ඒ ඉලක්කය ජයග්‍රහණය කරනවා මේ රටේ අපි ස්ථිර වශයෙන්ම. එක දිස්ත්‍රික්කයකින් අපිට මන්ත්‍රී ධූර දෙකක් ආවානම් අපිට 50 පනිනවා.

සමහර දිස්ත්‍රික්ක තියෙනවා දෙකකට වැඩියේ ගන්න පුළුවන්. අපි තනිවම නෙවෙයි සන්ධානයක් පෙරමුණක් හදනවා. මේ රටේ දූෂණය, වංචාව. නාස්තිය, ධනේෂ්වර ක්‍රමය, ධනපති දූෂිත ප්‍රභූ පන්තියේ එකතුව මොන බණ දේශනා කළත් වේදිකාවේ එකක්. දුරකතනයෙන් තව එකක් .හවසට ගෙවල් අස්සේ තව එකක්. මේ රටේ දුෂිත ප්‍රභූ පන්තිය මේ රටේ දූෂිත ධනේෂේවර දේශපාලනයේ සිටින අය මේ රට අවුරුදු විසිපහක් තිහක් විනාශ කර තියෙනවා. මෙතනින් මේ රට අලුත් මඟකට යන්න අවශ්‍යයි. මේ රට අලුත් ගමනක යන්න ඕනෑ.

 දූෂණයෙන් වංචාවෙන් නාස්තියෙන් තොරව නිදහස් සහ ප්‍රජාතන්ත්‍රිවාදී සමාජයක් ගොඩනැඟෙන්න ඕනෑ. ඒ සඳහා අපි අලුත් ආණ්ඩුවක් හදනවා. එහෙම කිව්වහම අපි කියන දේත් තියෙනවා. නොකියන දේත් තියෙනවා. කියන්න බැරි දේත් තියෙනවා. ඒ නිසා කියන්න පුළුවන් දේ තමයි මේ කියන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද රට පුරා ගෙනියන ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළත් එක්ක පක්ෂයේ ඇතිවී තිබෙන ප්‍රබෝධයත් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් විදියට පත්වුණාට පස්සේ අලුත් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළින් පක්ෂයේ ප්‍රබෝධයක් ඇතිවෙලා තිබෙනවා.

කවුරු කෙසේ කිව්වත්. අවස්ථාවාදීව, කුහකකමින් නොසිතා අවංකව පක්ෂය ගැන රට ගැන හිතනවා නම් අපේ ප්‍රතිපත්තිය වෙන්නේ අංක එක රට සහ ජනතාව. අංක දෙක පක්ෂය. ඒ මොකද රට පාලනය කරන්න ප්‍රතිපත්ති සහ දර්ශන ඕනෑ. වේදිකාවේ ඉන්න මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් පූජකතුමන්ලා, අපේ පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු කණ්ඩායම්, ආසන සංවිධායකවරු ආරාධිතයන් ඔබ තමුන්නාන්සේලාගේ සහාය අපේ ගමනට අපි බලාපොරොත්තු වෙනවා. රට අලුත් මඟකට ගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න, කෘෂිකාර්මික නිෂ්පාදනය ශක්තිමත් කරන්න තමයි අපි පිරිසිදු දේශපාලන ගමනක් යන්නේ. ඒ නිසා ලක්වැසි සියලු ජනයා අප කෙරෙහි විශ්වාසය තබා අපිත් එක්ක ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න