පරිපාලන සේවා වර්ජනය දේශපාලන වුවමනාවක් | දිනමිණ

පරිපාලන සේවා වර්ජනය දේශපාලන වුවමනාවක්

ඇමැති රාජිත සේනාරත්න

පරිපාලන සේවයේ වෘත්තීය සමිති මේ දිනයන්හි වැඩ වර්ජනයන් ක්‍රියාත්මක කරනුයේ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතාවක් මත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන අසාධාරණ වර්ජනයන්ට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 84 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා (28) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. වෘත්තීය සමිති නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකදී වැටුප් වර්ධකයක් ලබාදීමට තීරණය වුණා. එම වැටුප් වර්ධකය ලබාගැනීමට පරිපාලන සේවයේ නිලධාරීන් එකඟත්වය පළ කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් එම වැටුප් වර්ධකය ලබාගැනීමට ලේකම්වරු එකඟත්වය පළ කිරීමත් සමඟ වැටුප් විෂමතාවයක් හටගත්තා. රාජ්‍ය සේවයේ ඇතැම් ශ්‍රේණිවලට සියයට 200 ක 300 ක පමණ වැටුප් වර්ධක ලබාදී තිබිය දී වෘත්තීය සමිති වැටුප් විෂමතාවයක් මුල් කරගෙන සිදු කරන වැඩවර්ජන දේශපාලන වශයෙන් රජය අපහසුතාවට පත් කිරීමට සැළසුම් කළ ඒවා බව කිව යුතුයි. මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතව තිබූ කැබිනට් අනුකාරක සභාවේදී මෙම වර්ජන පිළිබඳ රජය විසින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් සාකච්ඡා කරනවා.

වෘත්තීයමය වශයෙන් ඔබලාගේ වෘත්තීය ඉල්ලීම් ලබාදිය හැකි හැම ඉල්ලීමක්ම ලබාදී තිබෙනවා. රනුග්ගේ වාර්තාව වැටුප් කොමිසමක් දැම්මා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් පිළිබඳව ඒ වැටුප් කොමිසන් වාර්තාව දැන් ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ඒ අනුව රාජ්‍ය සේවාවේ වැටුප රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි වෙනවා. මේ රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. කිසිම රජයක් ලබා නොදුන් විදිහට. ඊයේ මට ලබාදුන්නා විධායක නිලධාරීන්ගේ සංගමය මා හමු වූ වෙලාවේ ඔවුන් ලබා දුන් වැටුප් වැඩිවීම බැලුවාම සෑම රාජ්‍ය සේවකයෙකුගේම වැටුප් වැඩිවෙනවා සියයට 107 කින්. ඊට අමතරව සමහර කාණ්ඩවල වැටුප් සියයට 300 කින් 200 කින් වැඩි වී තිබෙනවා. ඉහළ ශ්‍රේණීවලට යනවිට. එතරම් විශාල වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමේ යම් විෂමතා අල්ලගෙන දේශපාලන උවමනාවට බොහෝ වෘත්තීය සමිති එළියට බහින තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා.

මේ වෙලාවේ රජය අපහසුතාවයට පත් කිරීමට ක්‍රියා කර තිබෙනවා. ඊයේ සවස 6.00 ට හදිසි කැබිනට් රැස්වීමක් ජනාධිපතිවරයා කැදෙවුවා.ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ වර්ජන පිටුපස තනිකරම තිබෙන්නේ දේශපාලනය කියලා. මේ රජය තරම් රජයේ සේවකයින්ගේ වැටුප් සහ දීමනා වැඩි කළ කිසිදු රජයක් නෑ. සියයට 100 කින් වැටුප් වැඩිවීමක් කළේ නැහැ ඇගට තේරෙන විදිහට. තව දීමනාත් දීලා දැන් රනුග්ගේ වාර්තාවෙත් තවත් වැටුප් වැඩි කරලා තිබෙනවා. මේවාගේ විෂමතා ගැන කථා කරලා අද එළියට බැහැලා තිබෙනවා.

ඒ නිසා අපි තීන්දු කර ගත්තා අද හවස 3.00 ට අපි යනවා මුදල් අමාත්‍යාංශයට අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පත් කර තිබෙනවා. මේකට මුහුණ දීලා ජනතාව දැනුවත් කරලා තත්ත්වය පහදලා දෙන්න. අප සමඟ සාකච්ඡා කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැම කෙනාම වගකීමෙන් කටයුතු කරනවා. පසුගිය දවස්වල විධායක නිලධාරීන්ගේ වැටුප් වැඩි කළා. මම ඊයේ කැබිනට් ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම්, මුදල් ලේකම් මේ සේරම කැබිනට් එකට එක්කන් ගියා. මේ පිළිබඳව කථා කරන්න. අවසානයේ ඔවුන් මට කිව්වේ එකම විදයට ලේකම්වරුන්ගේ සිට පහළට වැටුප් වැඩි කළේ කියලා. නමුත් විධායක නිලධාරීන්ගේ සංගමය එදා ඒවා බාර ගත්තේ නැහැ.

එයාලා කිව්වා ඔක්කොටම එක ගාණක් වැඩි කරන්න කියලා. රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා වැටුප් වැඩිවීමේ තිබුණේ ලේකම්වරයෙක්ට රුපියල් 50,000 ක් වැඩි වෙනවා. ඒ ඔක්කොම වැටුප් එපා කිවුවා එදා. එම නිසා ලේකම්වරු වෙනම ඉල්ලීමක් කළා අපේ ගාන අපිට දෙන්න කියලා. ඒගොල්ලන්ට වැඩි වුණා. දැන් එයාලා කියනවා ලේකම්වරු තනියෙන් එක කරගෙන කියලා. එහෙම වුණේ එයාලා එපැයි කියපු නිසා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා කියනවා එදා එපා කියපු දේ තමයි අද ඉල්ලන්නේ කියලා. රාජ්‍ය පරිපාලනයේ ඉන්න නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම ඉතාම අවලස්සනයි කියලා මම කිව්වා. වෛද්‍යවරු වැඩවර්ජනය කළාට වෛද්‍ය පරිපාලකයින් වැඩවර්ජනය කරන්නේ නැහැ. ඔවුන් සේවාවන් පවත්වාගෙන යනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීයට වසර 106 ක් සපිරෙන අවස්ථාවේ පැවැත්වෙන සංවත්සර උත්සවයට සහභාගීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. 20 වන ශතවර්ෂයේ දී බිහි වූ වෘත්තියක් මෙය. එදා 1950 දශකයේ සිට මේ දක්වා අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ සියලු වාර්තා ඉතා හොද තත්ත්වයේ පවතිනවා. මේ වන විට අප රටේ මාතෘ හා ළදරු මරණ අනුපාතිකය යුනිසෙෆ් හා ලෝක බැංකු වාර්තා අනුව ඇමරිකාවේ ළදරු හා මාතෘ මරණ සංඛ්‍යාවට තරම් දියුණු මට්ටමක පවතිනවා කියලා කියැවෙනවා.

එම නිසා ලෝක වැඩිහිටි සංගමයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරන රාෂා මෙෂෙල් මහත්මිය කියනවා “රටක සෞඛ්‍ය දියුණු කිරීම සදහා ඒ රටේ ආර්ථීකය බලපාන්නේ නැහැ. එයට හොදම දිදුලන උදාහරණය තමයි ශ්‍රී ලංකාව” කියලා. ශ්‍රී ලංකාවට වඩා 15 ගුණයකින් විතර ආර්ථීක වශයෙන් ශක්තිමත් ඇමරිකාවේ සෞඛ්‍ය තත්ත්වයට වඩා සහ ඒ රටේ යම් යම් ප්‍රාන්තවල සෞඛ්‍ය තත්ත්වයට වඩා අපේ රටේ සෞඛ්‍ය දර්ශක හොදයි. අපේ රට මධ්‍යම ආර්ථීක මට්ටමක සිට මේ දර්ශක ලබාගෙන තිබෙන්නේ, ධනපති රටක් වශයෙන් නොවෙයි.

ඒ සදහා කටයුතු කළ ප්‍රධාන වෘත්තියක් තමයි මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තීය සහ මහජන පවුල් සෞඛ්‍ය සේවිකා වෘත්තිය. ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ දර්ශක ලෝකයේ ඉදිරියට ඒමට එම වෘත්තීන්වල නියුතු ඔබ විශාල සේවාවක් සිදු කර තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ සිට ගෙයින් ගෙට ගොස් දුක් විදිමින්, කටයුතු කරමින් බිම් මට්ටමේ සිට විශාල සේවාවක් සිදු කරනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ගේ සියලු ඉල්ලීම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ආහාර පනත දැන් අවසන් අදියරට පැමිණ තිබෙනවා. ලේකම්වරිය අත්සන් කිරීමට පමණයි තිබෙන්නේ. මදුරු මර්දන පනතෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබාදීම සදහා පසුගිය දවස්වල අපි ක්‍රියා කළා. මහජන සෞඛ්‍ය සේවාවට අදාල තව අනපනත් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතිනවා.

ඇගයීමට ලක්කරන ලද දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පළාත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ඇමැතිවරයා අතින් සිදුකෙරිණ. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කළ සේවය අගයමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයතිස්ස නානායක්කාර, රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කේ.ජී ඉමේන්ද්‍ර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරුන්ද, දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පළාත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න