විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්ති­කරු නිද­හස් කිරීම | දිනමිණ

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්ති­කරු නිද­හස් කිරීම

පරීක්ෂණවල ප්‍රගතිය යාපනය මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේ විද්‍යා ශිවලෝගනාදන් නැමති පාසල් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ මහාලිංගම් සෂිකුමාර් නීතියට පටහැනිව පොලීසියෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තිස්දෙනාගේම ප්‍රකාශ සටහන් හා මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය මේ මස 10 වැනිදාට පෙර යාපනය මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රම්ශංකර් මහතා 30දා පොලිසියට නියෝග කළේය.

2015 මැයි මස 13 වැනිදා යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමෙන් පසුව එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර් නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එවකට යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතා ඔහුව නිදහස් කළ බවට තොරතුරු හෙළිවිය.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විහාගය අතරතුරදි මේ තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරුණු අතර ප්‍රධාන සැකකරුව නිදහස් කිරීම සඳහා පණිවිඩයක් රැගෙන ගියේ පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් නැමැත්තා බවටද තොරතුරු හෙළිවිය. මේ දෙදෙනාටම එරෙහිව නඩු විභාගය පැවැත්වෙන අතරතුර පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් නැමැත්තා අතුරුදන් වූ අතර පොලිස්පතිවරයාගේ නියෝගය මත ඔහු වැඩ තහනමකටද ලක් කොට තිබේ.

අතුරුදන් වූ පොලිස් පරීක්ෂකවරයා මේ දක්වාම නොමැති නිසා නඩු විභාගය මේ දක්වාම පැවැත්වෙන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් සාක්කි ලබාගෙනය.

මේ සාක්කිවලට අනුව විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දැනට මරණ දඩුවමකට යටත්ව සිටින ප්‍රධාන විත්තිකරුව නිදහස් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළුව 30 දෙනෙකුගෙන් බලපෑම් එල්ල වූ බවට රහස් පොලීසියට තොරතුරු ලැබී තිබේ.

මේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී යාපනය මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියෝග කළේ මේ මස 10 වැනිදාට පෙර එම සාක්කිකරුවන් තිස්දෙනාගෙන් ලබාගත් තොරතුරු සටහන් හා පරීක්ෂණ වල අවසන් තත්ත්වය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න