රට යන්න විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින්න | දිනමිණ

රට යන්න විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින්න

කුමුදු හෙට්ටිආරච්චි

ගෝඨාභය අධිකරණයෙන් ඉල්ලයි

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා බාරදීමේදී අනන්‍යතාව තහවුරු කිරීමේ කටයුතු සඳහා හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අධිකරණය භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙසට හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිරණ විනිසුරු මඬුල්ලෙන් ඊයේ (01) ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම් තහවුරු කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර නොමැති හෙයින් ලේඛන ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දිය හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඊයේ (01) දන්වා සිටියේය.

ඉල්ලීම් පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය හෙට (03) දැනුම් දෙන බවද උදාර කරුණාතිලක මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මගින් මෝසමක් මගින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙත ඊයේ (01) මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙත මේ ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

හෘද සැත්කමට භාජනය වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ මස 9-12 දක්වා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට යාමට අවශ්‍ය බැවින් අධිකරණය භාරයේ ඇති ‍තම විදෙස් ගමන් බලපත්‍රය එම කාලයේ තාවකාලිකව මුදා හරින ලෙස මෝසම් හා මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (01) ඉල්ලා සිටියේය.

තවද ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර ඇති බවත් ලබන 07 වැනිදා නාමයෝජනා භාරදීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට එක් ලේඛනයක් ලෙසට විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍යව ඇති බවත් ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙසටත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මගින් ඉදිරිපත් කළ මෝසම් පත මගින් ඉල්ලා ඇත.

හම්බන්තොට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රජයට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා නගමින් විත්තිකරුවන් හතකට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු විත්තිකරු වෙයි.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගවන මේ නඩුවේ නඩු විභාග කටයුතු මේ මස 15 වැනිදා ආරම්භ කිරිමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.

නව අදහස දක්වන්න