අපේ ළමයි! | දිනමිණ

අපේ ළමයි!

ලෝක ළමා දිනය ඊයේට යෙදී තිබිණි. එහි තේමාව වූයේ “සුමිතුරු දැයකින් දිනවමු දරුවන්” යන්නය. විශේෂ සැමරුම් උත්සව හා වැඩසටහන් ගණනාවක් ළමා දිනය වෙනුවෙන් පැවැත්විණි. ඒවා අසිරිමත් ය. ඇතැම් විට බලාපොරොත්තු දල්වනසුලුය. එහෙත් රටේ දරුවන් මුහුණදෙන යථාව එතරම් සුන්දර නැති බව පෙනෙයි. ඊට අදාළ සාධක හා දත්ත ගණනාවක් මේ වනවිට සමාජගත වී ඇත. ශ්‍රී ලංකාව තුළ වසරකට ළමා අපචාර විශාල ප්‍රමාණයක් සිදුවන බවත් එයින් 20%ක් පමණ නීතිය හමුවට එන බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා ප්‍රකාශ කර සිටී. එහි යටි අර්ථය වන්නේ ළමා අපයෝජනවලින් 80%ක් සැඟවී පවතින බව ය.

දරුවන් සම්බන්ධ ගැටලු අංශ කිහිපයකින් විවරණයට ලක්කළ හැකි ය. දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම එක ගැටලුවකි. දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම තව ගැටලුවකි. දරුවන් නොසලකා හැරීම හා ඔවුනට හිරිහැර කිරීම තවත් ගැටලුවකි. පාසල් නොයන දරුවන්ගේ ගැටලුව ද වීදි දරුවන්ගේ ගැටලුව ද වෙන ම සාකච්ඡාවට ගත යුතු මාතෘකා ලෙස සැලැකිය හැකි ය. මේ හැරෙන්නට පාසල් දරුවන් ‍ඉතා ශීඝ්‍රයෙන් මතට ඇබ්බැහි වීම පිළිබඳ ප්‍රශ්නයක් ද පවතී. දරුවන් අපගේ අනාගතය යැයි ද ඔවුන් සඳහා හොඳ ම දේවල් ලබා දෙමු යැයි ද යෝජනා ඇතිමුත් දරුවන්ගේ සැබෑ තත්ත්වය විශ්ලේෂණය වන බවක් පෙනෙන්නට නැත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා පැහැදිලි කරන ලෙස දරුවන් වැඩියෙන්ම අපයෝජනයට ලක්වන්නේ සිය නිවෙස තුළ දී ය. පවුලේ සාමාජිකයන් අතින් කුඩා දරුවන් අපයෝජනයට ලක්වන අවස්ථා තිබේ. ළඟම ඥාතීන් අතින් අපයෝජනයට ලක්වන අවස්ථා ද තිබේ. ලැජ්ජාව හා භය නිසා සිදුවූ අපයෝජනය හෙළි නොකර සිටීම ළමයින්ගේ සිරිත වී ඇති අතර ඇතැම් වැඩිහිටියෝ ද පවුලේ ගෞරවය තකා ඒවා හෙළි නොකර සිටීමට පෙලඹෙති. පළමු අපයෝජනයේ දී ම ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වාදෙයි. එහෙත් පොලිසිය වෙත පැමිණ පැමිණිලි කරන වැඩි දෙනා කිහිපවරක්ම අපයෝජනයට ලක්වූවන් බව හෙළිදරව් වී ඇත.

ළමයකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු පළමු තැනැත්තන් වන්නේ මාපියන් ය. දෙවනුව පාසල ද, තෙවනුව පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍යායතන ද දරුවන් සම්බන්ධයෙන් වගවීමකින් ක්‍රියා කළ යුතුය. සෑම පොලිසියකම පාහේ ළමා හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් වෙනම අංශයක් ඇතත් එම නිලධාරීන් පවුල් සමඟ ඇති කරගත් සබඳතා අඩුය. දරුවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට නම්; අදාළ ආයතන හා නිලධාරීන් පිළිබඳ විශ්වාසයක් පුරවැසියන් තුළ ඇතිවිය යුතු ය. එබඳු සබඳතාවක් ඇති කරගැනීම සඳහා ගෙනයන වැඩසටහන් ද පෙනෙන්නට නැත.

දරුවන්ගේ කාලයෙන් සැලැකිය යුතු කොටසක් ගෙවී යන්නේ පාසලේ ය. පාසලේ දී දරුවාගේ ආරක්ෂකයා මෙන් ම මඟපෙන්වන්නා වන්නේ ද ගුරුවරයා ය. ගුරුවරයකුට දරුවකු පාලනය කරගත නොහැකි නම්; එය ගුරුවරයාගේ වරදක් ලෙස ද විග්‍රහ කර ගත හැකි ය. ගුරුවරුන් දරුවන්ට සිදුකළ පහරදීම් සම්බන්ධ පැමිණිලි පොලිස් ස්ථාන වෙත නිතර ලැබෙයි. ඇතැම් සිද්ධියක් නඩු පැවරීම් දක්වා දිග්ගැස්සී ඇත. ගුරුවරුන් දරුවන්ට පහරදීම් ගැන මෙන් ම දරුවන් ගුරුවරුන්ට පහරදීම් ගැන ද වාර්තා පළවී ඇත. මෙය හොඳ තත්ත්වයක් නොවේ. ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන අන්දමට දරුවන් කෲරත්වය වෙත පොලඹවන සිදුවීම් දිනෙන් දින වර්ධනය වෙයි. 2017 වසරේ එබඳු සිදුවීම් දෙදහස් ගණනක් වාර්තා වී ඇත.

දරුවන් පිළිබඳ ප්‍රශ්නය දීර්ඝ කාලයක සිට සාකච්ඡා වෙයි. එහෙත් දරුවන් උදෙසා යහපත් අනාගතයක් සැලැසුම් කරන සාර්ථක ජාතික වැඩසටහන් නැති බවක් පෙනෙයි. ළමා ආරක්ෂණ අධිකාරියක් තිබුණ ද ශ්‍රී ලංකාවේ දරුවන් පිළිබඳ වැදගත් තොරතුරු සහිත දත්ත පද්ධතියක් තව ම නැත. එබඳු දත්ත පද්ධතියක් සැකසීමට අවශ්‍ය මූලික සාකච්ඡා දැනට පවත්වන බව ළමා ආරක්ෂණ අධිකාරිය කියයි. එය ඉතා වැදගත් කාර්යයකි. කල් ගතවී හෝ එවැන්නක් සිදු කිරීම ගැන එම ආයතනයට කෘතඥතාව පළකළ යුතුව තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව මෙන් ම ස්වාධීන පර්යේෂණ ආයතන කිහිපයක ද දරුවන් පිළිබඳ තොරතුරු පවතී. මේවා ඒකරාශි කොට නිවැරැදි දත්ත පද්ධතියක් සැකැසීම ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීම යැයි කිව හැකි ය.

සෑම දරුවකුගේ ම ලෝකය සුන්දරය. ඔවුන්ගේ සිත් ආදරයෙන් පිරී පවතී. එහෙත් අවට සමාජ-සාධකවල බලපෑම නිසා දරුවා නොමඟ යා හැකි ය. ඔහු කුරිරු පුද්ගලයකු විය හැකි ය. ළමාවියේ දී අපයෝජනයට හා නොසැලකිල්ලට ලක් වූ පුද්ගලයන් වැඩිහිටි වියේදී දරුවන් අපයෝජනයට ලක්කරන බවත්, විවිධ අපරාධවලට පෙලඹෙන බවත් පර්යේෂණ මගින් හෙළිදරව් වී තිබේ. පළිගැනීමක් හැටියට එවැනි දේ සිදුවන්නට පුළුවන අපයෝජනයට මෙන් ම නොසැලකීමට ගොදුරු වන දරුවන්ගේ සිත් දූෂ්‍ය වෙයි. එබඳු දරුවන් පෙරළා යථා තත්ත්වයට ගැනීම සඳහා ද වැඩසටහන් තිබිය යුතුය. මේ සියල්ල නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ දරුවන් සුරැකීම සඳහා පුළුල් දැක්මක් පාලකයන්ට තිබිය යුතු බවය.

මෙවර ලෝක ළමා දිනයේ තේමාවට අනුව මුළුමහත් ජාතියම දරුවන් උදෙසා සාමූහික ප්‍රයත්නයක යෙදිය යුතුව තිබේ. එය නිවෙසින් ආරම්භ කොට පාසල ඔස්සේ මුළුමහත් ජාතිය වෙත ව්‍යාප්ත කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන ලෙස අප සියල්ලන්ම දරුවන් වෙනුවෙන් කැප විය යුතු ය.

 

නව අදහස දක්වන්න