පූජිත් – හේමසිරිට එරෙහි පෙත්සම් සලකා බැලේ | දිනමිණ

පූජිත් – හේමසිරිට එරෙහි පෙත්සම් සලකා බැලේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පියලාල් දිසානායක ඇතුළු පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් 12 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ය.

එම පෙත්සම් විභාගය ලබන ජනවාරි 20 වන දා ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරු මඩුල්ල ලබන නොවැම්බර් 08 වන දා මූලික විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස නියෝග කළේ ය.

විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ, එම මූලික විරෝධතාවලට ප්‍රතිවිරෝධතා දෙසැම්බර් 06 වන දා ගොනු කරන ලෙස ය.

පසුගිය අප්‍රේල් 21 වන දා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී ඒවා මැඩ පැවැත්වීමට පියවර නොගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු වගකිව යුත්තන්ට නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබේ.

අදාළ පෙත්සම් ගොනු කළේ, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පූජකවරුන් 03 දෙනෙක්, ව්‍යාපාරිකයින් දෙදෙනෙකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසිනි.

 

 

නව අදහස දක්වන්න