අපි අයිත්මා­‍තොව් දන්නෙ ගුරු ගීතයෙන් විතරයි | දිනමිණ

අපි අයිත්මා­‍තොව් දන්නෙ ගුරු ගීතයෙන් විතරයි

වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

සියවසක් පවත්නා දවස ග්‍රන්ථයෙන් වාරණයට ලක්වූ කොටස ඔහු නැවත ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූවා. ඒත් විචාරකයො කියන්නෙ මෙය වෘත්තාන්ත කතාවක් බවයි. ජමිලා සුදු නැව, ධවල ධූම යාත්‍රාව, අම්මා සහ මිහිකත ගත්විට ඒවා කෙටි නවකතා. හැබැයි ‘සිය වසක් පවත්නා දවස දිග නවකතාවක්. ඒක ඔහුගේ පළමු දිග නවකතාව. මේ කෘතිය කෙටි කතාවක්. ඒක සමහරු දකින්නෙ ඔහුගෙ වෙනම කතා කලාවක් විදිහටයි.

වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ, මීට පෙර චිංගීස් අයිත්මාතොව්ගේ ‘ධවල ධූම යාත්‍රාව’, බොරිස් අකුනින් විසින් රචිත ‘ඔර්ලොව් දියමන්තියේ ශාපය’ යන කෘති රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කර ඇත. මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී ඔහු පරිවර්තනය කළ ‘ඔර්ලොව් දියමන්තියේ ශාපය’ කෘතිය හොඳ ම පරිවර්තිත නවකතාවට හිමි සිරිල් සී. පෙරේරා සම්මානයෙන් පුදලැබීය. ඔහුගේ නවතම පරිවර්තන නවකතාව වන චිංගීස් අයිත්මාතොව්ගේ, ‘චිංගීස් ඛාන් පරදවාලූ සරෝසෙක් බිමේ දුක් ගීතය’ කෘතිය පිළිබඳ කතාබහකි මේ.

• රුසියානු සාහිත්‍යයේ වෘත්තාන්ත කතා කලාව සහ අයිත්මා­‍ෙතාව් ලකුණ පිළිබඳ කතා කළොත්?

අයිත්මා­‍ෙතාව් කියන්නෙ කාලයත් සමඟ සිදුවීම් මාලාවට සාපේක්ෂව වෙනස්වන ලේඛකයෙක්. ඒත් ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ජනප්‍රිය ඔහුගේ ‘ගුරු ගීතය’ කෘතියයි. ඒකෙ පරමාදර්ශය යහපත. ඒත් කාලයාගේ ඇවෑමෙන් සෝවියට් දේශය තුළ සිදුවන වෙනස්කම්වලදී පෙන්වන්නෙ යහපත පරයා නපුර ඉදිරියට එන හැටි. නපුර පරදා යහපත පිළිබඳ මුලින් කී අයිත්මාතොව්, කාලයත් සමඟ ලෝකයේ යහපත පරදා නපුර ඉදිරියට එන හැටි පවසනවා. සෝවියට් දේශය බිඳ වැටීමට පෙර සෝවියට් සමාජ ක්‍රමය වෙනස් වෙද්දි, වෙළෙඳ ආර්ථිකය පැමිණීමත් සමඟ මිනිසුන්ගේ සාරධර්ම බිඳවැටෙන හැටි ඔහු දැක්කා. ඒ ගැනත් ඔහු ලිව්වා. බලය ලබාගෙන, බිඳ වැටුණු සෝවියට් නව රාජ්‍යවල බලයට එන්නෙ නව නායකත්වයක්. ඒත් ඔවුන් බලයට තිබෙන ගිජුකම, පාලනයට දැනුමක් නැතිවීම, අධ්‍යාපන තත්ත්වය, වගේ කරුණු දිහා බලද්දි, පරිසර දූෂණය, මානව, කාන්තා අයිතිවාසිකම් වැනි ගෝලීය වගකීමක් තිබෙන ප්‍රශ්න විසඳීමට තරම් ඔවුන්ට හැකියාවක් නෑ කියන මතය අයිත්මාතොව් අවසාන කෘතිය වනවිට ඉදිරිපත් කරනවා. 

අපේ සමාජය තුළ, ඔහුගේ සෑම කෘතියක් ම නිසි පරිදි ජනගතවෙලා නෑ. අපි තවමත් ගුරු ගීතයේ නැවතිලා ඉන්නවා. ඒත් එතැනින් එහාට ගිය ඔහුගේ දර්ශනයක් තිබෙනවා. ගුරු ගීතය කෘතියෙන් පස්සෙ අංශක 180 කට හැරිලා ඔහු, ඔහුගේ සමාජ, දේශපාලන ප්‍රබන්ධකරණය වෙනස් කළා. ඒත් ඒ ගැන අපේ රටේ සමාජය තුළ තවමත් ශාස්ත්‍රීය කතිකාවතක් නෑ. අපට අපේ ප්‍රශ්න එද්දි, විශේෂයෙන් ගෝලීයකරණය පිළිබඳ ප්‍රශ්න, ඒවාට දේශපාලන නායකත්වය මුල්තැන දිය යුත්තේ කොහොමද? ඒ සඳහා අවබෝධයක් නැති දේශපාලන නායකත්වය වැනි‍ දේ ගත්තහම, මොහුගේ කෘති අපටත් වැදගත්.

• අපේ පාඨකයන්ට, අයිත්මා­‍ෙතාව්ගෙ කෘති කියවන්න ලැබෙන්නෙ, මුල් කෘතියම නෙමෙයි. එය ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා, නැවත සිංහලට නැගීමෙනුයි. ඔබ රුසියන් කෘතිය කියවලා, එහි සාහිත්‍ය රසය විඳලා පරිවර්තනයට යොමුවන කෙනෙක් හැටියට, මේ පරිවර්තනවල වෙනසක් දකිනව ද?

පොඩි වෙනසක් තියෙනවා. ඕනෑම කෘතියක් වෙනත් භාෂාවකට පෙරළීමේදී, ඒකෙ මුල් කෘතියේ වාක්‍ය රටාව, අන්තර්ගතය වෙනස් වෙනවා. අනෙක භාෂාව. රුසියන් භාෂාව කියන්නෙ සිංහල බස වගේම පොහොසත් භාෂාවක්. රුසියන් නිර්මාණ ඉංග්‍රීසියට ගැනීමේදී භාෂාවේ පොහොසත් බව යම් අඩුවීමක් දකිනවා. ඒක අපේ බසට නැවත පෙරළීමේදී නැවතත් අඩුලුහුඬුතා ඇති වෙනවා.

මුල් කාලයේදී එරට කෘති සෝවියට් දේශයෙන් ම ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. සෝවියට් වත් පිළිවෙත්, චාරිත්‍ර, ඒ සංස්කෘතිය දන්න අය තමයි එහිදී පරිවර්තනය කළේ. එහිදී ඔය තත්ත්වය දකින්න ලැබුණෙ ඉතාමත් ම අඩුවෙන්. දැන් ඒවා ඉංග්‍රීසියට හරවන්නෙ එංගලන්තය, අමෙරිකාව වගේ රටවල ආභාෂය තියෙන අය. එතකොට වෙන්නෙ සෝවියට් ඌරුවෙන් ඇන්ග්ලෝ සැක්සන් ඌරුවට ඒක ගෙන ඒමයි. ඒවා සිංහලට පරිවර්තනය වුණහම දකින්න ලැබෙන්නෙ ඇන්ග්ලෝ සැක්සන් ඌරුව. නම් භාවිත වෙන්නෙ ඉංග්‍රීසි විදිහට. ඒකත් ප්‍රශ්නයක්. අපට පරිවර්තනය වෙද්දි ඉදිරිපත් වෙන්නේ වෙනින් නමක්. අනෙක ඒ අයට ඒ රටේ සංස්කෘතික අංග පිළිබඳ වැටහීමක් නෑ. එම කෘතිය ශ්‍රී ලංකාවෙ පරිවර්තනය කරන්නන්ටත් යම් කිසි වචනයකට සෝවියට් දේශය, එහි සංස්කෘතිය ගැන අවබෝධය නැහැ. ඉංග්‍රීසි පරිවර්තකයා ඒ වචනයට පාදක සටහනක් දාලා නම්, ඔහු ඒක සිංහලට පරිවර්තනය කරනවා. නැත්නම් සොයා බලලා දාන්නෙ නෑ. ඒත් දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂ කුරණ, පියසේන මානෙල්ගම වැනි අය පරිවර්තනය කරනකොට, ඒ අය සෝවියට් දේශයේ ඉඳන් ම පරිවර්තන කළා. ඒ අය ඒ සමාජය දැනගෙන, එයට බද්ධවෙලා සිටි නිසා, පාදක සටහන් යොදලා යම් යම් දේ විස්තර කළා. ඒත් එසේ නොවන පරිවර්තකයන්ගෙන් ඒක වෙන්නෙ නෑ.

• මේ කෘතිය, අයිත්මාතොව්ගෙ වෘත්තාන්ත කතා කලාව විද්‍යමාන වන එක් ඉසව්වක් බව, විචාරක මතයයි. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

‍මොහුගේම සුදු නැව ධවල ධූම යාත්‍රාව කියන කෘති මඟින් වෘත්තාන්ත කතා කලාව නිරූපණය වෙනවා. මේ කෘතියත් ඒ ගණයට වැටෙන බව සමහර විචාරකයො අදහස් දක්වනවා. අයිත්මාතොව් හිතන්නෙ මෙය වෘත්තාන්ත කතාවක් නොවන බවයි.

• මෙය, ‘සියවසක් පවත්නා දවස’ කෘතිය උදෙසා ලියැවුණු නවකතාවට වෘත්තාන්තයක් බවටත් විචාරක මත ඉදිරිපත් වෙනවා නේද?

සියවසක් පවත්නා දවසක්, ග්‍රන්ථයෙන් වාරණයට ලක්වූ කොටස ඔහු නැවත ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූවා. ඒ මේ කෘතියයි. විචාරකයො කියන්නෙ මෙය වෘත්තාන්ත කතාවක් බවයි. ජමිලා සුදු නැව, ධවල ධූම යාත්‍රාව, අම්මා සහ මිහිකත ගත්විට ඒවා කෙටි නවකතා. හැබැයි ‘සිය වසක් පවත්නා දවස දිග නවකතාවක්. ඒක ඔහුගේ පළමු දිග නවකතාව. මේ කෘතිය කෙටි කතාවක්. ඒක සමහරු දකින්නෙ ඔහුගෙ වෙනම කතා කලාවක් විදිහටයි. ඒ වගේම ඔවුන්ගෙ සංස්කෘතියෙ විශේෂත්වයක් තමයි ජනප්‍රවාද. ඒවා කතාවට එකතු කරලා කතාව ගොඩනැගීම ඔහුගේ කතා කලාවේ විශේෂ ලක්ෂණයක්. ඔහු එය කරන්නෙ අරමුණු දෙකක් ඇතිවයි. එකක් තමයි, සෝවියට් දේශයේ රුසියානු භාෂාවත් සමඟ රුසියානු සංස්කෘතිය පැතිරෙනකොට, ඒ අයගෙ සංස්කෘතිවලට යම් බලපෑමක් ඇතිවෙලා, කාලයාගේ ඇවෑමෙන් මේවා නැතිවෙලා යයි කියලා සිතීම. ඒකට හේතුව, සෝවියට් දේශය බිඳවැටෙයි කියලා ඒ කාලෙ ඔහුන් නොසිතීමයි. ඒක වාර්තා කිරීමේ පියවරක් විදිහට ඔහු මේ ක්‍රමය යොදා ගත්තා. අනෙක වාරණය. වාරණය මඟඅරින්න, කීමට අවශ්‍ය දේ වක්‍රව කියන්න, ජනප්‍රවාදයක් ගෙනත් කතාවට ඈදුවහම, කාටවත් ඒක වාරණය කරන්න බැහැ. මේ නිසා ඔහු වෘත්තාන්ත කතාව වගේම, ජනප්‍රවාද කතා කලාවට ගෙන ආවා.

• මේ කෘතිය තුළ තියෙන්නෙ, වාරණයට ලක්වූ කොටස වෙනස් කර නැවත පළ කිරීමක් ද?

නෑ. සෝවියට් දේශය ආරම්භ වුණාට පස්සෙ, ඔවුන්ගෙ කතාවල විවිධත්වය නැති වෙනවා. පක්ෂයට අනුගත දේ විතරයි ලියන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කළේ සමාජ යථාර්ථවාදයයි. එහිදී ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන්. ඒත් ඒවායේ අවසානය, සමාජවාදයට ධනාත්මක කරලා ලිවිය යුතුයි. උදා: ‘වානේ පන්නරය ලැබූ හැටි’ කෘතිය ගත්තොත්, සමාජවාදී ක්‍රමයට අනුගත වූ වීරයෙක් අවසානයේ ගොඩනගනවා.

ඒත් ගර්බචොව් බලයට ආවට පස්සෙ මේ ක්‍රමය නැති කළා. ඕන පුද්ගලයකුට, ඕන ඉසව්වක් ඔස්සේ ලිවීමට හැකියාව ලබා දුන්නා. ඒ කාලෙ වාරණ අයින් වුණහම, වාරණයට ලක්වූ සමාජ යථාර්ථවාදයෙන් පිටපැනපු කෘති නැවත පළවෙන්න ගත්තා. ‘චණ්ඩ මාරුතයක, පාඨකයා කියන වෙරළට ගලායන යාත්‍රාවකට අධිභාරයක් පටවන්න කැමැති නෑ.’ යනුවෙන් ඔහු පැවසුවේ, මේ කොටස සිය වසක් පවත්නා දවස කෘතිය තුළ තිබුණා නම්, එය පළවන්නේ නැති බව පැවසීමටයි. මේ කොටස ඉවත් කළ නිසා, එය කෘතියක් විදිහට පළ කරන්න හැකිවුණා කියන එකයි. පොත ගත් අයට අලුත් පොතක් ගන්න කියන්න බැරි නිසා, මේ කෘතිය ඔහු පළ කළා. ඉදිරියේදී සංස්කරණයක් එද්දි ඔහු මේ කොටස එයට එකතු කළා.

• ඔහුගේ ලේඛන කලාව කාව්‍යාත්මකයි. ඔහුගේ මුල් කෘතිවල මිහිර විඳි ඔබ, ඒ විචිත්‍ර බස දකින්නෙ කොහොම ද?

සමාරෝපණය යොදා ගැනීමට ඔහු හරි ම දක්ෂයි. මිනිසුන් කියවන්න අකමැති සමාජ, දේශපාලන දේ කතා කළත්, ඒ තුළ පරිසර වර්ණනා මිනිසුන්ගෙ ජීවිත හරිම සුන්දර විදිහට ඉදිරිපත් කරනවා. ඔහු කිර්ගීසියානු සහ මධ්‍යම ආසියානු සංස්කෘතිය ඉලිප්පීමට ජනප්‍රවාද යොදා ගන්නවා. ස්ටෙප්ස් තණභූමි, මිනිසුන්ගේ ජීවන රටා, වත්පිළිවෙත් ඒ ජනප්‍රවාද හරහා අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරනවා. එය හරි ම සුන්දරයි.

• පසුගිය වසරේ පළවූ ‘ඔර්ලොව් දියමන්තියේ ශාපය’ කෘතිය මෙවර ගොඩගේ සාහිත්‍ය උළෙලේදී හොඳ ම පරිවර්තනයට හිමි සම්මානය දිනා ගත්තා.

නව රුසියානු ප්‍රවණතා හඳුන්වා දීමට උත්සාහ ගැනීම, රුසියන් බසින් ඍජුව පරිවර්තනය කිරීම, ව්‍යක්ත සිංහලෙන් කෘතියක් ඉදිරිපත් කිරීම කියන කාරණා සම්මානය දීමට හේතුපාඨය විදිහට දක්වා තිබෙනවා. ඒ ගැන සතුටුයි.

සාකච්ඡා කළේ- ඉරෝෂිණී දීපිකා 
ඡායාරූප - ශාන් රූපස්සර

නව අදහස දක්වන්න