වැටුප් හා දීමනා! | දිනමිණ

වැටුප් හා දීමනා!

රාජ්‍ය පරිපාලන සේවයේ සියලුම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක පොදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට රණවිරුවන්ගේ මූලික වැටුප විශ්‍රාම වැටුපක් ලෙස ලබාදීමට ද රජය තීරණය කර තිබේ. මීට අදාළ කැබිනට් පත්‍රිකා අනුමත වී ඇත. ඒ අනුව පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය ද, රණවිරුවන්ගේ උපවාසය ද නිමාවට පත්විය. එහෙත් දුම්රිය වර්ජනය දිගටම පවතී. දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත් කරන්නට වර්ජකයන් ඉල්ලා සිටි අතර කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී ඇත. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එසේ තිබියදීත් දුම්රිය සමිති වර්ජනය කරගෙන යන බවයි.

වර්ජන, උපවාස හා විරෝධතා නිසා රට අකර්මණ්‍ය වී ඇතැ’යි බොහෝ දෙනා කියා සිටිති. පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය නිසා ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම නැවතිණි. දුම්රිය වර්ජනය නිසා රාජ්‍ය අංශයේ පමණක් නොව; පෞද්ගලික අංශයේද සාඵල්‍යතාව පහළ වැටී ඇත. මේ වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක පාඩුව මිලියන දාහතක් ලෙස සටහන් වී ඇත. වර්ජනයෙන් රටට සිදුවන පාඩුව මෙතෙක් ගණනය කර නැත. දුම්රිය සේවයට අයත් වෘත්තීය සමිති පෙරේදා කොළඹ දී රැස් වූ අතර ඔවුන්ගේ ඒකමතික තීරණය වී ඇත්තේ වර්ජනය තවදුරටත් පවත්වාගෙන යෑම ය. මේ අනුව දුම්රිය වර්ජනය අවසන් වන කාල වකවානුවක් කිව නොහැකි ය.

ක්ෂේත්‍ර ගණනාවක සේවක ප්‍රජාව රජයට එරෙහි වර්ජන හා විරෝධතා පවත්වන්නේ වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඉල්ලමින් ය. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවය සඳහා ඉහළම වැටුපක් ලබාදුන් ආණ්ඩුව ලෙස ප්‍රකට ය. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා දෙවරක් වැඩි කර ඇත. ඒ හැරෙන්නට ලබන ජනවාරියේ සිට වැටුප් විසමතා විසඳමින් තවත් වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කර ඇත. රාජ්‍ය සේවයේ වැටුප් 107% කින් වැඩිවන බවද ප්‍රකාශයට පත් වී ඇත. මේ අනුව ලබන වසරේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ පහකට වැඩි වන බවද පුරෝකථනය වෙයි. මෙබඳු වැටුප් වැඩිවීමක් ඉතිහාසයේ කිසිදු දිනෙක සිදු වී නැත.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වැඩිකිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතු කාර්යයෙකි. වර්ජන හා විරෝධතා පවත්වන තරමට වැටුප් වැඩි කිරීමට ගියහොත් ආර්ථිකය පවත්වාගැනීම අසීරු වනු ඇත. ලෝක බැංකුව වරක් සිය උපදේශනවල සඳහන් කර තිබුණේ දියුණුවන රටවල් ස්වකීය රාජ්‍ය සේවාවන් හැකිතාක් හකුලා දැමිය යුතු බවය. රාජ්‍ය සේවයේ සේවක පිරිස වැඩිවන තරමට ආර්ථිකය පවත්වාගැනීම අසීරු වන බව ලෝක බැංකුවේ පිළිගැනීම ය. ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් අපේ රාජ්‍ය සේවයේ සිටිති. මෑතක දී තවත් විසි දහස් ගණනක් රාජ්‍ය සේවයට බඳවා ගත්හ. මේ සියලු දෙනාටම රජය වැටුප් ගෙවිය යුතුය. විශ්‍රාම වැටුප් ද ගෙවිය යුතුය.

මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ බදු මාර්ගයෙන් ය. ශ්‍රී ලංකාව ඉතා අඩු බදු ප්‍රතිශතයක් අය කරගනු ලබන රටකි. දියුණු රටවල බදු ප්‍රතිශතය දෙස බලන විට එම තත්ත්වය හොඳින් පැහැදිලි වෙයි. බදු හැරුණුකොට ආර්ථිකය පවත්වාගැනීම සඳහා විදේශ ණය ලබාගැනීමටත් රජයට සිදුවෙයි. ලබාගත් ණය අධික පොලියක් සමඟ ආපසු ගෙවිය යුතුය. රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් ණය හා පොලී ගෙවීමට වෙන් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මේ තත්ත්වය මත ආර්ථික කළමනාකරණය බොහෝ දුෂ්කර වී ඇත. මුදල් අමාත්‍යාංශයට සල්ලි ගස් නැතැ’යි ඇමැති මංගල සමරවීර මහතා මෑතක දී කියා සිටියේ ය. රාජ්‍ය සේවකයා තමන්ගේ පඩිපත ගැන සිතුව ද, රට ගැන සිතන බවක් පෙනෙන්නට නැත.

දුම්රිය රියැදුරකු මාසික වැටුප ලෙස රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් ලබා ගන්නා බවද, දුම්රිය නියාමකවරයකු මාසික වැටුප ලෙස රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් ලබා ගන්නා බවද හෙළිදරව් වී ඇත. එහෙත් අපේ දුම්රිය සේවය ගැන සතුටු විය නොහැකි ය. මගීන් ප්‍රකෝප වී සිටින අතර වර්ජකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු යැයි මතයක් ද ගොඩනඟන බව පෙනෙයි. මහජන කෝපය පුපුරා ගියහොත්; බලවත් විනාශයක් සිදුවන්නට ඉඩ තිබේ. මගී සංගමයක් මීට දින දෙකකට ඉහත දී කියා සිටියේ වර්ජකයන්ට පහර දිය යුතු බවය. එය අනුමත කළ හැකි දෙයක් නොවූව ද මගීන්ගේ කෝපය ඉන් පැහැදිලි වෙයි. මහජන මුදලින් නඩත්තු වන ආයතනවල සේවක ප්‍රජාව වගවීමකින් ක්‍රියා කළ යුතුව තිබේ. අපේ රාජ්‍ය සේවය තුළ එම වගවීම නැත.

මූල්‍ය කළමනාකරණ විෂයය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු රටේ පවතින වර්ජන ගැන සඳහන් කරමින් කියා ඇත්තේ වර්ජන හා විරෝධතා නිසා මුළු රටම අකර්මණ්‍ය වී ඇති බවය. ශ්‍රී ලංකාවේ ශ්‍රම ඵලදායිත්වය ඉතා අඩු බව පෙන්වා දෙන මහාචාර්යවරයා වර්ජන නිසා අඩු ශ්‍රම ඵලදායිත්වය ද අහිමිවන බව පැහැදිලි කරයි. මෙහි පාඩුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගන්නේ ඉදිරි වසර තුළ ය. 2019 වසරේ ආර්ථික වෘද්ධිය 2.7% ක් බවට පුරෝකථනය වී ඇත. එය ඉතා අඩු වාර්ෂික ආර්ථික වෘද්ධියකි. අපගේ ඉලක්කය විය යුත්තේ 6% කට වැඩි වාර්ෂික ආර්ථික වෘද්ධියකි. එහෙත් එය පෙනෙන තෙක් මානයක නැත. නිසි ආර්ථික වැඩපිළිවෙළක් මෙන්ම රාජ්‍ය සේවයේ විනයක් ද ඇති කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් රට හැදීම දුෂ්කර ය.

වර්ජන හා විරෝධතා දේශපාලන අරමුණු අනුව සංවිධාන වන බවට චෝදනාවක් තිබේ. දැනට පවතින තත්ත්වය නිරීක්ෂණය කරන විට චෝදනාව පහසුවෙන් බැහැර කළ නොහැකි ය. ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට අදාළ සිදුවීම් පෙළ නිරීක්ෂණය කරන විට ද ඉහත තත්ත්වය පැහැදිලි කර ගත හැකිය.

 

නව අදහස දක්වන්න