ප්‍රංශයට 33-5ක ජයක් | දිනමිණ

ප්‍රංශයට 33-5ක ජයක්

උත්සාහක දිනුම් 5කින් අමෙරිකාව අන්දමන්ද කළ ප්‍රංශය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් ලකුණු 33-9ක ජයක් අත්කර ගත්තේය.

ජපානයේ ෆුකෝවා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මේ තරගයේදී ප්‍රංශය තැබූ උත්සාහක දිනුම් 5න් 4ක්ම ගෝල බවට පත්වූ අතර අමෙරිකාවට රැස් කිරිමට හැකිවූයේ දඬුවම් පහර 3ක් පමණි.

තරගයේ පළමු භාගයේ ලකුණු 12-6කින් පෙරමුණ ගත් ප්‍රංශය දෙවැනි භාගයේදි තවත් උත්සාහක දිනුම් 3ක් තැබූ අතර අමෙරිකාවට දෙවැනි භාගයේදී ලබාගත හැකිවූයේ දඬුවම් පහරක් පමණි.මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණක් ද අත්පත් කරගත් ප්‍රංශය ‘සී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූයේ පළමු ස්ථානය තවමත් එංගලන්තයට තබමිනි.

මේ දක්වා පැවැති තරගවලින් සහභාගි වූ තරග 2ම ජයගත් සත්කාරක ජපානය ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර අයර්ලන්තය එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්වී සිටී. ඉතාලිය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවෙයි.

පැවැති තරග 2ම ජයගත් වේල්සය ‘ඩී‘ කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවෙද්දී එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්වී ඇත්තේ ඔස්ට්‍රේලියාවය.

නවසීලන්තයට වාර්තාගත ජයක්

මේ අතර කැනඩාව සමග ඊයේ පස්වරුවේ තරග වැදුණු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන නවසීලන්තය ලකුණු 63-0ක වාර්තාගත ජයක් අත්පත් කරගත්තේය.

ජපානයේ ඔයිටා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 28-0කින් පෙරමුණ ගත් නවසීලන්තය තරගය පුරා උත්සාහක දිනුම් 8ක් තැබීමට සමත්වූ අතර තරගයේ කාර්යබහුල ක්‍රීඩකයා බවට පත්වූ නවසීලන්ත පිලේ රිචී මොවුන්ගා ඉන් උත්සාහක දිනුම් අටම ගෝල බවට පත් කළේය. ඊට අමතරව දඬුවම් පහර උත්සාහක දිනුමක් තැබීමට ද නවසීලන්තය සමත්විය.

එය වාර්තාපොතට එක්වූයේ මෙවර තරගාවලියේ මෙතෙක් එක් තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය. ඊට පෙර දකුණු අප්‍රිකානු පිල නැමීබියාවට එරෙහිව ලකුණු 57-3ක ජයක් ලබමින් එම වාර්තාවට හිමිකම් කීවේය.

නව අදහස දක්වන්න