ලොකු ලූනූ වගාකරුවන්ට වාසි | දිනමිණ

ලොකු ලූනූ වගාකරුවන්ට වාසි

මේ වනවිට වෙළෙදපොළේ ලොකුලූනු හිගය උග්‍රවීමත් සමගම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙහි දේශීය ලොකුලූනු කිලෝග්‍රෑමයක මිල රු.280/= දක්වා ඉහළ යාමෙන් ගොවියාට මෙන්ම වෙළෙන්දාටද මහත් වාසියක් සැලසී ඇතත් මෙයින් පාරිභෝගීකයාට නම් මුහුණ පෑමට සිදුව ඇත්තේ මහත් පීඩාවකටය.දිවයිනේ වැඩි වශයෙන් දේශීය ලොකුලූනු වගා කෙරෙන මාතලේ දිස්ත්‍රික්කයේ සියයට අනූවක් (90%) පමණ ගොවීන් මෙවර වගාවෙන් ඉවත් වීම නිසා මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව ගොවි සංවිධාන මෙන්ම කෘෂි නිලධාරින්ද පවසති.

වෙනදා යල් කන්නයේදි ලොකුලූනු වගාව සදහා දිස්ත්‍රික්කය තුළ අක්කර අටදහසකට (8000) අධික බිම් ප්‍රමාණයක් ගොවීන් විසින් යොදවන නමුත් මෙවර මේ වගාව සදහා යොදවා ඇත්තේ අක්කර හාරසීයක (400) පමණ බිම් ප්‍රමාණයකි. මේ අතර දැනට ලොකුලූනු අස්වනු වෙළෙදපොළට ලැබීමට පටන්ගෙන ඇති නමුත් ආනයනික ලොකුලුනු සදහා රජයෙන් පැනවු රුපියල් හතළිහේ බද්ද මේ වනවිට අඩුකර ඇතත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙහි ලොකුලුනු සදහා පවතින මිලේ කිසිදු වෙනසක් මෙතෙක් සිදුවී නොමැත.

පෙර වාරවලදී රටේ ලොකුලූනු අවශ්‍යතාවයෙන් සියයට හතළිහක (40%) ප්‍රමාණයක් මාතලේ දිස්ත්‍රික්කයේ ලොකුලූනු ගොවියා විසින් නිෂ්පාදනය කළත් මෙවර එම ප්‍රමාණය සියයට දෙකකට (2%) පමණ සීමාවී ඇති බව ගොවි සංවිධාන පවසති. මේ අතර දැනට නිවෙස්වල ලොකුලූනු අස්වනු ගබඩා කර ඇති ගොවීන් සුළු පිරිසක් සිය ලූනු තොග වෙළෙදපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇති බැවින් ඔවුනට නම් ඉහළ ආදායමක් මෙවර ලොකුලූනු අස්වැන්නෙන් ලබාගැනීමට හැකිවී තිබේ.

 මාතලේ දිස්ත්‍රික් සමුහ-ඒ.ඒ.එල්.ඩයස්

නව අදහස දක්වන්න