සෙල්ලම් කරන වෘත්තීය සමිති! | දිනමිණ

සෙල්ලම් කරන වෘත්තීය සමිති!

මේ තීරුව ලියන මොහොත වනවිටත් දුම්රිය වැඩ වර්ජනය පවතී. වර්ජනය ආරම්භ වී සතියකට වැඩි කාලයක් ගෙවී තිබුණ ද එහි නිමාවක් පෙනෙන මානයක නැත. රජය දැඩි පියවර කිහිපයක් ගැනීමට සූදානම් වන අතර වර්ජකයන් ද කිසිදු නම්‍යශීලී බවක් පෙන්වන්නේ නැත. මේ අතර වර්ජනයේ සන්දර්භය තුළ ද නව ප්‍රවණතා කිහිපයක් ගොඩනැ‍ඟෙමින් පවතී. එක ප්‍රවණතාවක් වන්නේ රිය සහායකයන්ගේ සංගමය දුම්රිය ධාවනයට කැමැත්ත පළ කිරීම ය. තව ප්‍රවණතාවක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සංගමය කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කිරීම ය. තවත් ප්‍රවණතාවක් වන්නේ දුම්රිය රියැදුරු සංගමය හුදෙකලා වන බවක් පෙනෙන්නට තිබීම ය.

බඳවා ගැනීමේ පරිපාටියට අනුව රාජ්‍ය සේවය යනු බරපතළ වගවීම් සහිත රාජකාරියකි. ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණීම ද වරදකි. රාජ්‍ය සේවකයා නිවාඩුවක් වුව ලබාගත යුත්තේ නිසි අනුමැතියක් ඇතිව ය. කිසියම් වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයක නිරත වන්නේ නම්; එය ද නිල වශයෙන් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දිය යුතුව තිබේ. දුම්රිය වැඩ වර්ජනය සිදුවන්නේ නීති - රීති හා සම්ප්‍රදායයන් උල්ලංඝනය කරමින් බව ද වාර්තා වී ඇත. වර්ජකයන් කිසිසේත් ම රජයට ඇහුම්කන් දීමට සූදානම් නැති අතර මහජනයා ගැන කිසිදු සැලැකිල්ලක් නොදක්වන බව ද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය ඉතා අයහපත් බව කිව හැක්කේ මහජන කෝපයක් ද බුර-බුරා නැ‍ඟෙන බැවිනි.

ප්‍රවාහන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට නොදන්වා සේවයට නොපැමිණෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් හා නිලධාරීන් සේවය අතහැර ගිය පුද්ගලයන් සේ සැලැකීමට තීරණය කර තිබේ. ඒ අනුව නියමාකාරයෙන් නිවාඩු ලබා නොගෙන වර්ජනයෙහි යෙදෙන අයට නීතිමය පියවර ගැනීමට සිදුවනු ඇත. මීට ප්‍රතිචාර දක්වන දුම්රිය රියැදුරු සංගමය කියා සිටින්නේ මීට පෙර ද එබඳු තීරණ ගත්තේ වුව; වැඩ වර්ජන අසාර්ථක වූයේ නැති බව ය. රියැදුරු සංගමයේ ප්‍රකාශවලින් කරුණු දෙකක් පැහැදිලි වෙයි. එක; ඔවුන් නීතියට හිසනමන්නට හෝ රජයට නම්‍යශීලී වන්නට හෝ සූදානම් නැති බව ය. දෙක; වර්ජනය දිගටම පැවැත්වීමට ඔවුන් සූදානම් බව ය.

මහජනයාගේ පැත්තෙන් බලනවිට දැන් පවතින්නේ ඉතා දුෂ්කර තත්ත්වයකි. රටේ දුප්පත් ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය සේවය ඇනහිටීම නිසා දෛනික කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී ඇත. රාජ්‍ය හා පෞද්ගලික සේවයෙහි යෙදෙන වැඩි දෙනකුගේ ප්‍රවාහන මාධ්‍ය දුම්රිය යි. ඒ අනුව වර්ජනය නිසා සේවයට වාර්තා කිරීම් දුර්වල වී ඇත. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා ආර්ථික ගනුදෙනු දුර්වල වී ඇත. රජයේ බොහෝ කන්තෝරුවල රාජකාරි ආරම්භ වන්නේ ප්‍රමාද වීම් සහිතවය. ඇතැම් කන්තෝරුවල සේවකයෝ ප. ව. 3.00 වන විට පෙරළා නිවෙස් බලා යෑමට සූදානම් වෙති.

අහිංසක ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන වෘත්තීය සමිති ගණනාවක් රටේ පවතී. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජන කරයි. දුම්රිය වෘත්තීය සමිති මගීන් බිල්ලට ගෙන වර්ජන කරයි. ගුරු සංගම් ශිෂ්‍ය ප්‍රජාව ගොදුරු කරගනිමින් වර්ජන කරයි. ඇතැම් වර්ජන සඳහා පාදක කරගෙන ඇත්තේ සාධාරණ හේතු නොවේ. ඇතැම් වර්ජන පෙළගැසෙන්නේ දේශපාලන ඉලක්ක ජයගැනීම සඳහා බව ද පෙනෙන්නට තිබේ. තවත් වර්ජන ක්‍රියාත්මක වන්නේ එකිනෙක වෘත්තීය සමිති නිලධාරීන්ගේ පෞද්ගලික ඕනෑ-එපාකම් මත බව ද පෙනීයයි. කාලයක සිටම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ශිෂ්ටත්වය බිඳවැටී ඇත. අතීත වෘත්තීය සමිති ක්‍රියාකර ඇත්තේ අදට වඩා සිය ගුණයකින්වත් වැඩි ශිෂ්ටත්වයක් මත ය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි වුව; වර්ජකයන් ඉල්ලා සිටින සියල්ල ලබාදීමේ හැකියාවක් කිසිදු රජයකට නැත. සිදුවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් සාධාරණ විසැඳුමක් වෙත ළඟා වීම ය. එහෙත් අද පවතින වෘත්තීය සමිති සාකච්ඡාවට හා සංවාදයට කැමැති නැත. මේ වෘත්තීය සමිතිවල එකම සටන් මාර්ගය වී ඇත්තේ වැඩ වර්ජනය පමණි. එය හොඳ තත්ත්වයක් නොවේ. වෘත්තීය සමිතිවලට අභිමත පරිදි රටක් ගෙන යෑම අපහසු ය. දුම්රිය වැඩ වර්ජනයට එරෙහි ව නැ‍ඟෙන මහජන කෝපය කෙතරම් ද යත්; එක්තරා මගී සංගමයක් පෙන්වා දෙන්නේ වර්ජකයන්ට පහරදීම කළ යුතු බව ය. වර්ජනයට එරෙහි මහජන කෝපයේ තරම එයින් පැහැදිලි වෙයි.

1980 ජූලි වැඩ වර්ජනයේ දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ගත් තීන්දුව බොහෝ දෙනාගේ විවේචනයට ලක්වන්නේ වුව; මහජනයාගේ පැත්තෙන් බලන විට ද, රටේ පැවැත්ම ගැන සිතන විට ද එය නිවැරැදි බව පෙනී යයි. ජයවර්ධන මහතා වර්ජකයන්ට අවස්ථා ගණනාවක් ලබාදුන් නමුදු ඒවා සැලැකිල්ලට ගත්තේ නැත. අවසන් ලෙස වර්ජකයන් සේවය අතහැර ගිය තැනැත්තන් ලෙස සලකා කටයුතු සිදු කැරිණි. ජයවර්ධන මහතා එම තීන්දුව නොගත්තේ නම්; රට අස්ථාවර වීමට ඉඩ තිබිණි. රජයක් අවශ්‍ය තැන දී නිර්භීත හා ඍජු තීරණ ගත යුතුය. රජයේ මූලික අවධානය යොමු විය යුත්තේ මහජනතාව කෙරෙහි ය. මහජනයාගේ පැත්තෙන් බලන විට දුම්රිය වර්ජනය වහා නැවැත්විය යුතුව තිබේ.

ජාතික දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවලදී වර්ජන - උපවාස හා විරෝධතා පැවැත්වීම එක්තරා ප්‍රවණතාවක් බවට පත් වී ඇත. මෙය අතිශය හානිකර ප්‍රවණතාවකි. එය වැළැක්විය යුතුය. දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වන වැඩිදෙනකුගේ මතය වී ඇත්තේ රජය මීට වඩා දැඩි පිළිවෙතක් වෙත යමින් වර්ජනය නැවැත්විය යුතු බව ය.

 

නව අදහස දක්වන්න