ගිවිසුම අත්සන් කළ දා සිට ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ශ්‍රීලනිපය එක්වනවා | දිනමිණ

ගිවිසුම අත්සන් කළ දා සිට ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ශ්‍රීලනිපය එක්වනවා

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිදුකරන සාකච්ඡාවන් සුබවාදී ලෙස විසඳාගෙන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදිම ශ්‍රීලනිපයේ අපේක්ෂාව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට සිදුකරන සාකච්ඡාවන් සුබවාදී මට්ටමක පවතින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාර ද යහපත් බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. දෙපාර්ශ්වය අතර සිදුකරන සාකච්ඡාවන් වලින් පසුව ලාංඡනය පිළිබඳ ගැටලුව විසඳාගත හොත් දෙපාර්ශ්වය අතර සිදුවන සන්ධානගත වීමට අදාළ ගිවිසුම් කඩිනමින් අත්සන් කරන බවත් ගිවිසුම් අත්සන් කළ මොහොතේ සිටම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සම්බන්ධ වන බවද අමරවීර මහතා පැවසීය.

මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහාය ලබාදීමට ශ්‍රීලනිපය තීරණය කරන්නේ නම් එය සිදුකරන්නේ ‍ඒ මහතා ජයග්‍රහණය කරවීමේ අපේක්ෂාවෙන් බවද හෙතෙම පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියලු දෙනාම සූදානම් වෙමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ අපගේ පක්ෂයේ අපේක්ෂාව වන්නේ පසුගිය ජනාධිපතිවරණය ව‍ගේම මෙවර ජනාධිපතිවරණය සාමාකාමි ලෙස පවත්වනු දැකීමයි. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන සියලු අපේක්ෂකයින්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි ඉල්ලා සිටින්නේ මෙවර ජනාධිපතිවරණය සාමකාමි ලෙස පැවැත්වීමට දායක වන ලෙසයි. එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය පරිසරයට හානි නොවන ලෙස පවත්වන ලෙසත් ප්‍රසිද්ධ ස්ථාන වල පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය නොකරන ලෙසත් අපි සියළු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේම මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ, පොලිසියට උපදෙස් ලබා‍දී තිබෙනවා.

ඒ වගේම මෙවර මැතිවරණය පරිසර දූෂණයෙන් තො‍රව පොලිතින් භාවිතයෙන් තොරව සිදු කරන ලෙසත් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිදුකෙරෙන සාකච්ඡාවන් තව දුරටත් සිදු කෙරෙනවා. පක්ෂ දෙක ලෙස සිදුකරන ලද සාකච්ඡාවන් වලදී දෙපාර්ශ්වයම යම් යම් යෝජනාවන් සිදුකළා. ශ්‍රීලනිපය ලෙස අප ඉදිරිපත් කරන ලද යෝජනාවන් බහුතරයකට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් සුභවාදී ප්‍රතිචාර ලැබී තිබෙනවා‍. අපි පක්ෂයක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ රට වෙනුවෙන් යෝජනා.

අපට යම් ගැටළුවකට තිබෙන්නේ ලාංජනය පිළිබඳ ප්‍රශ්නයයි. එම ගැටලුවත් කඩිනමින් නිරාකරණය වේයැයි අපි විශ්වාස කරනවා. පොදුජන ‍පෙරමුණ පාර්ශ්වයෙන් යම් සුභවාදි ප්‍රතිචාරයක් ලැබී මෙම ලාංඡනය පිළිබඳව ගැටලුව විසඳාගත් වහාම ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇප කැපවී වැඩකරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි ඝෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන බවටඑකඟතාවයකට එනවා නම් එන්නේ ඒ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන්. අපි දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණිමෙන් පසුව අදාළ ගිවිසුම් අත්සන් කළ මොහොතේ පටන්ම අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවානම් දෙන්නේ රට දිනවිම වෙනුවෙන්. ඒ වගේම අපි පක්ෂ දෙක අතර සන්ධානගතවීමක් සිදුවුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපගේ දේශපාලන කටයුතු නතර කරන්නේ නැහැ. දිස්ත්‍රීක් මට්ටමින්, ආසන මට්ටමින් අපගේ දේශපාලන කටයුතු ඒ ආකරයටම සිදුකරනවා. ඒ වගේම ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඉලක්ක් කර ගනිමින් ලබන 05 වැනිදා ඇල්පි‍ටියේදී අපගේ ගාල්ල දිස්ත්‍රීක් සම්මේලනයත් පවත්වන්නටයි අපි සැළසුම් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවෙන්නට, දියවෙන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.

මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, මනෝජ් සිරිවර්ධන, කැලණිය ආසන සංවිධායක රෙහෙන්සි වරාගොඩ, කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන යන මහත්වරුද එක්වූහ.

ඡායාරූපය - රංජිත් අසංක

නව අදහස දක්වන්න