වර්ජන තිබුණට සුදුවෑන් නැහැ | දිනමිණ

වර්ජන තිබුණට සුදුවෑන් නැහැ

දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ

වර්ජන රැල්ල සහ ආණ්ඩුව ඒවාට පිළිතුරුදීමට පමාවීම, ආණ්ඩු පක්ෂයට එල්ල වී ඇති දූෂණ චෝදනා සහ එම චෝදනා සම්බන්ධව ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග, ඉදිරි ජනපතිවරණය ආදිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ අදහස් දක්වයි.

* ලැබුණු නිදහස ජනතාව තේරුම්ගෙන නැහැ 
* චෝදනා කරල මදි ඔප්පු කරන්න ඕන 
* ජනපති අපේක්ෂකයො වත්කම් බැරකම් ලබාදෙන්න ඕන 
* එජාපය අයිති පාක්ෂිකයින්ට 
* වර්ජකයන් ගැන ජනතාව තේරුම් ගනියි 
* මහබැංකු ගනුදෙනු සියල්ල හොයන්න ඕන

යහපාලන ආණ්ඩුවේ දුර්වලකම් හේතුවෙන් විපක්ෂයට ඉදිරි මැතිවරණ වාසිදායක වෙලා කියල යෝජනා කළොත්?

විරුද්ධ පක්ෂ ශක්තිමත් වුණා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. ඒ අය එහෙම ශක්තිමත්වීමක් වෙලා නැහැ. රාජපක්ෂ පවුලෙන් ලාභ ප්‍රයෝජන ගත්තු, ඔවුන් එක්ක විවිධ ව්‍යාපාරවල, වැඩසටහන්වල හිටපු කණ්ඩායම් ඒ අයත් එක්ක ඉන්නවා. ඔවුන් පක්ෂයක් නෙවෙයි. පවුලේ කණ්ඩායමක්. මේක පවුල් ජාලයක්. මේකට අයිතිකාර පවුලක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට අයිතිකාරයෙක් නැහැ. ඒකෙ අයිතකාරයො වෙන්නෙ එක්සත් ජාතික පාක්ෂිකයො. ඔවුන්ගෙ ඉල්ලීම තමයි පක්ෂය ක්‍රියාත්මක කරන්නෙ. යහපාලනයෙ දුර්වලකම් නිසා මේ පවුල වටා මිනිස්සු එකතුවුණේ නැහැ. වැඩ වසම් ක්‍රමයේ ප්‍රාථමික ගති ලක්ෂණ ටික ඒ කඳවුරේ ක්‍රියාත්මක වෙනවා.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ලකළ සියලු චෝදනා බොරු බවට පත්වෙමින් තිබෙනවා කියල මම කිව්වොත්?

ඔබ ඔය කියන කතාව කියන්න තවම කල්වැඩියි.

අධිකරණමය ක්‍රියාවලියෙදි ඔවුන් නිදහස්වෙනවා?

අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතිවූ දුබලතා නිසා එවැනි තත්ත්ව උදාවුණා. ඒව හදාගන්න පුළුවන්. අධිකරණ පද්ධතියේ පවතින ක්‍රමවේදයන්ගේ දුර්වලතා මේ අවුරුදු හතරහමාරෙදි සම්පූර්ණයෙන් හදාගන්න බැරිවුණා.

මේ ක්‍රියාවලිය හදාගන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවද?

අධිකරණය ස්වාධීන කළා. විශේෂ අධිකරණ තුනක් අලුතින් ඇතිකළා. අලුතින් අවශ්‍ය නිලධාරීන් බඳවාගත්තා. උසාවි සංකීර්ණ වැඩිදියුණු කළා. අධිකරණය තවදුරටත් ශක්තිමත් කිරීම හරහා අඩුපාඩු හදාගෙන නීතිමය කටයුතු හරිගස්සගන්න පුළුවන්. ලෝකයෙ සමහර රටවල්වල වගේ අවුරුදු දෙකෙන් සියලු නඩු අවසන් කළ යුතුයි කියන නීතිය අපිට ගේන්න පුළුවන් වුණොත්, අධිකරණයෙ ස්වාධීනත්වය බලන්න පුළුවන්. ඒ වගේම චෝදනා එල්ලවෙච්ච අයට දඬුවම් දෙන්නත් පුළුවන්.

නාමල් කුමාර හඬපටය සිද්ධියේ පරීක්ෂණ නිමවෙන්නත් පෙර තවත් එවැනිම හඬපටයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ශබ්දය සම්බන්ධ පර්යේෂණ කරපු ආචාර්යවරයෙක් හැටියටත්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හැටියටත් මේ හඬපටය සම්බන්ධ ගැටලු කිහිපයක් තියෙනවා. මේ සංවාදයෙ ඇත්තම හඬපටය ගෙන්වා බලන්න අවශ්‍යයි. මේ වෙනකොට මේ සංවාදය ගැන පරික්ෂණයක් කෙරෙනවා. යම් කෙනෙක් වැරදි කරල තියෙනව නම් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕන. චෝනා කරන අයට දඬුවම් කරනව වගේම හරි තොරතුරු ඔප්පු කරන්න බැරිනම් මේ හඬපට දෙන අයටත් දඬුවම් කරන්න ඕන. සමහරු ව්‍යාජ හඬපට හරහා බරපතළ අපරාධ කරනවා. නාමල් කුමාර සිද්ධියට කිසිවක් වුණේ නැහැ. නාමල් කුමාරල ගැන දැන් මිනිස්සු බලන්නෙ උපහාසාත්මකවයි.

දිල්රුක්ෂි ඩයස් සමයේ ඔක්කොම නඩු දැම්මෙ දේශපාලන පළිගැනීම්වලට කියල ජනාධිපතිවරයා කියනවා. මෙය ඉතාම බරපතළ චෝදනාවක් නේද?

ජනාධිපති ප්‍රකාශ ගැන විශාල ගැටලුවක් තියෙනවා. අපිත් එක්ක එකඟවෙච්ච කාරණාවලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ කරන්න අවස්ථා තියෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා වි‍රෝධී වැඩකරන කෙනෙක් බව එතුමා පෙන්නුවා.

හොරු අල්ලන්න ආපු ආණ්ඩුව යටතෙත් දූෂණ වංචා සිද්ධවෙච්ච බවට චෝදනා එල්ල වෙනවා නේද?

චෝදනා කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ චෝදනා ඔප්පු කරන්නත් අවශ්‍යයි. පරීක්ෂණ පවත්වල චෝදනා ඇති අයට දඬුවම් කරන්න ඕන. 

මහින්ද රාජපක්ෂ කඳවුරටත් ඔබේ පාර්ශවයෙන් එල්ල කළේ චෝදනා පමණයි?

චෝදනා විතරක් නෙවෙයි. අපි ඒ ගැන පරීක්ෂණත් කළා. ඔවුන්ට විරුද්ධව පැමිණිලිත් කළා. ඒ පැමිණිලි විභාග කරල වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කිරීම අධිකරණයට බාරයි. පැමිණිල්ලක් දාන එකයි චෝදනා කරන එකයි අතර වෙනසක් තියෙනවා.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත්කළා. ලැබුණු පැමිණිලි ගැන පරික්ෂණත් කළා. බැඳුම්කර සිද්ධිය මේ ආණ්ඩුවට විශාල අපකීර්තියක් ගෙනදුන්නා නේද?

මේ සිද්ධි හරහා වරදක් වෙලා තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න ඕන. ඒවා වළක්වන්න කියල අපි කියන්නෙ නැහැ. මහ බැංකු ඉතිහාසයෙ වෙච්ච මෙවැනි ගනුදෙනු සියල්ල ගැන සොයා බලන්න අවශ්‍යයි. හැමදාම ජනතා බදු මුදල් ගසාකෑම් වෙලා තියෙනවා. මේ හැම එකක් ගැනම සොයන්න අවශ්‍යයි. බැඳුම්කර ගනුදෙනු හැමදාම වෙලා තියෙනවා.

පසුගිය ආණ්ඩුවෙ දූෂණ, චෝදනා පැත්තක තියෙද්දි මේ ආණ්ඩුවෙ දූෂණ චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා නේද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ රාජ්‍ය නිලධාරීන් හෝ වංචා කරනවනම් ඒව හොයන්න ඕන. මේ වංචා කරන්නෙ ජනතාවගෙ බදු මුදල්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම තමන්ගෙ වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන. දීල තියෙන්නෙ මන්ත්‍රීවරු 10ක් විතරයි. ඒව සීල් කරල පාර්ලිමේන්තු මහලේකම් ගාව තිබීම ප්‍රමාණවත් නැහැ. ඒව මහජනතාවට ප්‍රදර්ශනය කරන්නත් ඕන. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අයගෙ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ඉදිරිපත් කරන්න ඕන. රේගුවෙ වැඩකරන සේවකයන්ට ප්‍රසාද දීමනා දෙනවා. ඔවුන් කරන සේවයට වැටුපක් දෙනවා. 2017 – 2018 අවුරුද්දට ලක්ෂ 970 ක ප්‍රසාද දීමනාවක් ගත්තු සේවකයෙක් රේගුවෙ ඉන්නවා. ත්‍යාග ලෙස එක් සේවකයෙකුට මෙතරම් මුදලක් දීම ජාතික අපරාධයක්. මෙහෙම බෙදල දෙන්නෙ ජනතාවට අයිති මුදල්.

ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජන, උද්ඝෝෂණ ඉවරයක් නැහැ. ජනාධිපතිවරණය ආසන්නයෙ කෙරෙන මේ වැඩ වර්ජන ගැන ඔබ මොකද කියන්නෙ?

ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ලැබුණාම ගන්න ප්‍රයෝජන තමයි මේ දකින්න ලැබෙන්නෙ. මේක රටක් හැටියට හොඳ තත්ත්වයක්. වෙනදා නම් සුදු වෑන් එකකින් ඇවිත් මේව මර්දනය කරනවා. එහෙම නැත්නම් වෘත්තිය සමිති නායකයන්ට ගහනවා. යහපාලනය උපරිම ලැබීම හින්දයි මෙහෙම දේවල් වෙන්නෙ. මේ පිටිපස්සෙ දේශපාලනය තිබෙන බවක් පේනවා. ඒ තත්ත්වය වාත්තීය අරගලවලට සුදුසු නැහැ. මේ වැඩ වර්ජන කරන්නෙ කව්ද කියල ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි. මේවා බලහත්කාරයෙන් මර්දනය කරන්න අවශ්‍ය නැහැ. උපවාස කරන්න, උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් හදල දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රටවල එහෙම තියෙනවා. මේ ලැබිච්ච නිදහස තවම ජනතාව තේරුම් අරගෙන නැහැ . ලියන්න, කියන්න, කෑගහන්න දීපු නිදහස ගැන ජනතාව මීට වඩා කල්පනා කළ යුතුයි.

දීපු නිදහසෙන් පොදු මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සිද්ධිවන බවක් පේනවා. එවැනි තත්ත්වයන්ට ආණ්ඩුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ නේද?

මර්දනකාරී ආකාරයේ මැදිහත්විමක් ආණ්ඩුවෙන් සිද්ධවෙන්නෙ නැහැ. සාකච්ඡා සම්මුතීන් සඳහා ආණ්ඩුව ප්‍රබල මැදිහත්වීමක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ සියලුදෙනාට වගකීමක් පැවරෙන බව සියලුදෙනා තේරුම්ගත යුතුයි. හිතාගන්න බැරි නිදහසක් ජනතාවට ලැබුණම ජනතාව ඒක භුක්තිවිඳින ක්‍රමයෙ වෙනස තමයි අපි මේ අත්විඳින්නෙ. එහෙම වුණා කියල නැවත මර්දන හොඳ නැහැ. ඉස්සර නම් ඔබෙයි මගෙයි දුරකථනයත් ටැප්කරලා. දැන් එහෙම නැහැ. ඕනම තැනක ඕනම කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මට ජනාධිපති පවා විවේචනය කරන්න පුළුවන්. ඒ කාලෙ ඔබ මගෙන් අහන ටික ඇහුවනම්, මම ඒකට දෙන උත්තර ඔබ ලියුවනම් අපි දෙන්නටම යන්න වෙන තැන හොයාගන්නත් බැහැ. මේ ලැබිච්ච නිදහසම වැදගත් නැද්ද? ජනාධිපති විවේචනය කරන්න දීපු නිදහසේ ගෞරවය ජනාධිපතිතුමාට දෙන්න ඕන. ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවට උත්තර දෙන්න ආවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන බව ඒකෙන්ම පේනවා. ඒක ලොකු ආදර්ශයක්. අද මොනව කිව්වත් විධායක ජනාධිපතිධුරය අහෝසිකරන්න අවසන් මොහොතේ හරි ජනාධිපතිවරයා මූලිකත්වය ගත්තා. ඒ ගැන එතුමට ස්තුති කළ යුතුයි. විධායකය රටට නොගැළපෙන, නීතිය විනාශ කරන ක්‍රමවේදයක්, විධායක ජනාධිපතික්‍රමය අහෝසිකළ යුතුමයි.

විධායක ජනාධිපති ධුරය අ‍හෝසිකිරීම වෙනුවට සංශෝධනය කර ජනාධිපති ක්‍රමය පවත්වාගත යුතු බවටත් මත පළවෙනවා.?

විධායක ජනාධිපති වෙන්න සිහින දකින සිහින කුමාරවරු එහෙම හිතනවා. සැබෑ ලෝකයෙ අපිට අවශ්‍ය විධායක ජනාධිපති ධුරය අහෝසිකරන නායකයෙක්. එහෙම නොවුණොත් රාජපක්ෂ පවුල වගේ තවත් විවිධ පවුල් මේ රටේ හැදෙයි. ඒ පවුල් බලයට යටවෙච්ච වහල්ලු ටිකක් බිහිවෙයි. ජනතාව වහල්කරණයට පත්වෙයි. පාර්ලිමේන්තුවට බලය ලැබිල, පාර්ලිමේන්තුවෙන් නායකයෙක් පත්වෙන එකට විරුද්ධ ඇයි? පවුල් දේශපාලනයෙන් නායකයො බිහිවෙන එක නතරවෙන්න ඕන.

ඡායා-රංජිත් අසංක

නව අදහස දක්වන්න