අපේක්ෂකයෝ එක වේදිකාවේ...! | දිනමිණ

අපේක්ෂකයෝ එක වේදිකාවේ...!

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවකට පැමිණෙන්නේ නම්; එය ඉතා වැදගත් දේශපාලන ප්‍රවණතාවකි. එලෙස එකම වේදිකාවකට එන අපේක්ෂකයන් ජනතා ප්‍රශ්න ගැන සංවාදයක යෙදෙන්නේ නම්; එය ඉතා වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ ආර්ථික වශයෙන් බලවත් රටවල නායකයන් තෝරාගැනීමේදී මෙබඳු සංවාද පැවැත්වෙයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ එබඳු සංවාදයක් දකින්නට ලැබුණේ නැත. අප පුරුදු - පුහුණු වී ඇත්තේ දේශපාලකයන් දෙපැත්තකට වී එකිනෙකා වෙත මඩ ප්‍රහාර එල්ල කරගනු ලබන වෛරී දේශපාලනයකට ය. ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහයක් දරා ඇත.

මැතිවරණ නිරීක්ෂණය සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන ඉහත සංවිධාන විසින් අදාළ සංවාදය අද පැවැත්වීමට තීරණය කර තිබේ. ස්ථානය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වන අතර වේලාව ප. ව. 3.00 හා ප. ව. 5.00 අතර බව දන්වා ඇත. පළමු පියවර වෙන්කර ඇත්තේ රටේ ප්‍රධාන පක්ෂ තුනෙහි අපේක්ෂකයන් වෙත බව ද සඳහන් ය. එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සංවාදයට එක් වන බව තහවුරු කර ඇත. ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද සංවාදයට එක්වන බව තහවුරු කර ඇත. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පැමිණීම තහවුරු කර නැත.

මෙබඳු සංවාදයකදී තම ප්‍රතිපත්තිය, දැක්ම හා වැඩපිළිවෙළ පැහැදිලි කරන්නට අපේක්ෂකයන්ට සිදුවනු ඇත. ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන ආකාරය මෙන් ම ඒ සඳහා ගනු ලබන උපායමාර්ග පැහැදිලි කිරීමටත් අපේක්ෂකයන්ට සිදුවනු ඇත. ඉන් නොනැවතී ප්‍රේක්ෂකාගාරයේ ක්ෂණික ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත් අපේක්ෂකයන්ට සිදුවනු ඇත. කථිකත්වයෙන් හෝ මුඛරිකමින් හෝ පමණක් මෙහිදී ලකුණු ලබාගත හැකි නොවේ. නායකයකු බවට පත්වීමට වෑයම් කරන ඕනෑම පුද්ගලයකුට හොඳ පෞරුෂයක් මෙන් ම දැක්මක් ද තිබිය යුතුය. එම පෞරුෂය හා දැක්ම නිරීක්ෂණය කළ හැකි අවස්ථාවක් මේ සංවාදය ඔස්සේ මතුවෙයි. ජනාධිපති අපේක්ෂකයන් ජනතාව හමුවට පැමිණිය යුතු අතර ජනතාව නඟන ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදිය යුතුය.

කිසියම් අපේක්ෂකයකු මේ සංවාදය මගහරින්නේ නම්; එය යහපත් ප්‍රවණතාවක් සේ සැලැකිය නොහැකි ය. රටේ ප්‍රධාන දේශපාලන ධාරා තුන කෙරෙහි විශාල ජනතා ආකර්ෂණයක් පවතී. එම ධාරා තුන නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ගේ දැනුම, කැපවීම, ප්‍රතිපත්ති හා වැඩසටහන් ගැන දැනගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. එම අයිතියට පයින් ගැසීම සුදුසු නැත. දේශපාලකයන් වේදිකාවල සිට විවිධ පොරොන්දු දෙන අතර ඒවා පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇති අවස්ථා ඉතා අල්ප ය. මේ සංවාදය ඔස්සේ එම අවස්ථාව ලැබෙයි. තරගකරුවන් එකම වේදිකාවක සිටින විට ඔවුන’තර අදහස් හුවමාරුවක් ඇතිකරගත හැකි ය. එය ද හොඳ දේශපාලන අවස්ථාවකි.

මේ වනවිට විසිදෙනකු ජනාධිපති තරගය සඳහා ඉදිරිපත් වී සිටින බව මැතිවරණ කොමිසම කියයි. ඉදිරි දින කිහිපයක තුළ තවත් අපේක්ෂකයන් ඉදිරිපත්වීමට ද ඉඩ තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර කියා සිටියේ විස්සක් හෝ විසිපහක් හෝ තරගයට ඉදිරිපත්වීමට නියමිත බව ය. මෙයින් කිහිපදෙනකු ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග වදින අතර, සෙසු අපේක්ෂකයෝ විවිධ පක්ෂ හා දේශපාලන සංවිධාන නියෝජනය කරති. මේ සෑම අපේක්ෂකයකුටම දේශපාලන ප්‍රතිපත්තියකින් හා වැඩපිළිවෙළක් ඇති බව පැහැදිලි ය. කෙනකු තවත් අපේක්ෂකයකුට සහාය දැක්වීමේ යටි අරමුණ ඇතිව තරගයට ප්‍රවේශ වන්නට පුළුවන. එහෙත් එකී නිදහස පැවැතිය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි.

මැතිවරණ කොමිසම කාටත් සාධාරණ ලෙස ක්‍රියා කරන බව ද පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරණ ප්‍රචාරණයේදී කොමිසම ක්‍රියා කරන ආකාරය ද යුක්තිසහගත බව පෙනෙයි. මැතිවරණ කාලය තුළ වැඩ වර්ජනය කිරීම ද තහනම් බව කොමිසම කියා සිටී. එය වැදගත් තීරණයකි. වර්ජන හා විරෝධතා ඔස්සේ ආණ්ඩු පක්ෂයට දේශපාලන අවාසියක් සිදුවන බව පැහැදිලි ය. ආණ්ඩු පක්ෂය අපහසුවට පත් කිරීමේ අරමුණෙන් පෙළගැසෙන වර්ජන හා විරෝධතා ද තිබේ. සාධාරණ මැතිවරණයක් සඳහා ඒවා නැවැත්විය යුතු ය. කොමිසම ජනමාධ්‍ය සඳහා ලබාදී ඇති උපමාන ද වැදගත් බව කිව යුතුය. එහිදී පෞද්ගලික ජනමාධ්‍ය කෙරෙහි ද අවධානය යොමුකිරීම අතිශය වැදගත් ය.

ජනතාවගේ වැඩි අවධානය යොමුවී ඇත්තේ අපේක්ෂකයන්ගේ ආර්ථික මොඩලය කෙරෙහි යැයි කිව හැකි ය. ර‍ෙට් පොදු ප්‍රශ්න බොහෝමයක් ‍ගොඩනැඟී ඇත්තේ ආර්ථික තත්ත්වයන් මත බව පැහැදිලිය. අපේ ආර්ථික වෘද්ධිය ඉහළ මට්ටමක පවත්වාගෙන යා යුතු සේම ආදායම් බෙදීයෑමේ විසමතාවට ද විසැඳුමක් ඉදිරිපත් විය යුතුය. කෙනෙක් දිළිඳුකම පිටුදැකීම ගැන කතා කරති. තව කෙනෙක් දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගැන කතා කරති. තවත් කෙනෙක් ආර්ථික ගිවිසුම් විවේචනය කරති. එහෙත් කිසිදු අපේක්ෂකයකු පරිපූර්ණ ආර්ථික මොඩලයක් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් මෙතෙක් ඉදිරිපත් කර නැත. ජනතා විශ්වාසය දිනාගැනීමට නම්; එවැන්නක් ඉදිරිපත් කළ යුතුය.

මේ ජනාධිපතිවරණය යනු රටේ අනාගතය සම්බන්ධයෙන් ඇති තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතු අතර එය බලපෑමකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත. ජනතාව හමුවේ සිදුකරන විවෘත සංවාදවලින් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු වෙයි. අද පැවැත්වෙන මහජන සංවාදය අපේ දේශපාලන භාවිතයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත.

 

නව අදහස දක්වන්න