සජිත්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන ජනරැළි මාලාව 10දා | දිනමිණ

සජිත්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන ජනරැළි මාලාව 10දා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන ඵෙතිහාසික ජනරැළි මාලාව එළඹෙන 10 දා කොළඹ ගාලු මුවාදොර පිටියෙන් ආරම්භ කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ජයමහ මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් 7 දා නාම යෝජනා බාරදීමෙන් අනතුරුව 8 දා මහනුවර දළදා මාළිගයට ගොස් ආශිර්වාද ලබා ගන්නා බවද එයින් අනතුරුව මහා නායක හිමිවරුන් බැහැදැකීමට නියමිත බවද ඒ මහතා පවසයි. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ දී ඊයේ (03) පස්වරුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 10 දා කොළඹ, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන ජන රැලියා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවත් වෙනත් මැතිවරණවල දී ජනරැලි ආරම්භ කළේ මහනුවරින් වුවද මෙවර කොළඹින් ආරම්භ කරන බවත්ය. මෙවර මුළු රටේම ජනතාවගේ අවධානය යොමුවන කොළඹ සිට ආරම්භ කරන බවද ඒ සදහා ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතුව පවතින බවද පෙන්වාදුන් නියෝජ්‍ය ඇමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතා පීඩිත පංතියේ නායකයෙක් වශයෙන් හදුනාගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය. ඒ මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නොව සමස්ත රටේම පීඩිත පංතිය, දුගී ජනතාව, ගොවි කම්කරු ජනතාව දැඩි විශ්වාසයකින් පසුවන බවද පැවසීය. මේ නායකයා අනෙකුත් නායකයින්ට වඩා පීඩිත පංතිය දෙස හොදින් බලයි කියා විශ්වාසයක් තිබෙන බවද මේ නායකයා සුර සැප විදි නායකයෙකු නොවන බවද තම පෞද්ගලික වරප්‍රසාද දෙස බලා වැඩකළ නායකයෙක් නොවන බවද සදහන් කළේය. ඒ නිසා ජාති, ආගම් භේදයකින් තොරව ඒ මහතාට සහායදීමට විශාල පිරිසක් එක්ව සිටින බවද ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව රටේම පීඩිත පංතිය නියෝජනය කරන ඔවුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන නායකයෙක් ලෙස දකින බවද පෙන්වා දුන්නේය.

මහින්ද අලුත්ගෙදර සහ සඳුනි රණසිංහ

නව අදහස දක්වන්න