සජිත්-චමල් ඇතුළු 12ක් ඇප බඳිති | දිනමිණ

සජිත්-චමල් ඇතුළු 12ක් ඇප බඳිති

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු අපේක්ෂකයන් 12 දෙනකු ඊයේ (04) දිනයේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ඇප මුදල් තැන්පත් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට ඇප මුදල් තැන්පත් කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මැතිවරණයට තරග කිරීමටය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතා හංසයා ලකුණ යටතේ තරග කිරීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණ ඇත්තේ ඇමැතිවරුන් වන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ය.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙනි.

මැතිවරණ මහ ලේකම් කාර්යලය සඳහන් කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ වන විට අපේක්ෂකයන් 33 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණි. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරයෙන් ද, දුමින්ද නාගමුව මහතා පෙරටුගාමී පක්ෂයෙන් ද ඇප මුදල් තැන්පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද ඊයේ සවස ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ලබන 06 වැනිදා දහවල් 12.00 වන තුරු ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව ඇති බවය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනු ලැබුවේ මෙරට විධායක ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මෙවර බවය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න