එක්සත් සරසවි ආචාර්ය සංගමයේ සහායත් සජිත්ට | දිනමිණ

එක්සත් සරසවි ආචාර්ය සංගමයේ සහායත් සජිත්ට

සමන්මලී ප්‍රියශාන්ති

එළැඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට එක්සත් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තීරණය කරයි.

මේ රටට නැවත මර්දනකාරී හෝ ඒකාධිපතිවාදී පාලනයක් අවශ්‍ය නැති බවත් දිනූ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් තහවුරු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ආචාර්යවරු පැවැසූහ.

පදනම් ආයතනයේ දී ඊයේ (04) පැවැති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි මෙසේ පැවැසූහ.

අපේ රටේ දැන් පවතින ගැටලු විසඳීමට නව නායකත්වයක් රටට අවශ්‍ය කරනවා. මනා නායකත්වයක් ඇතිව පුංචි මනුෂ්‍යයාට සේවයක් සැලසිය හැකි ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය කරනවා. මේ නායකත්ව ලක්ෂණ දුටු නායකයා ලෙස අප සජිත් ප්‍රේමදාස මහතාව හඳුනා ගෙන තිබෙනවා. එතුමා පුංචි මිනිසා වෙනුවෙන් සුවිශාල සේවයක් සිදු කර තිබෙනවා. අපි සියලු දෙනා දසරාජ ධර්මයන් මුල්කර ගෙන මේ රට ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. රටේ වෙසෙන සියලු ජාතීන්ට සාධාරණත්වය ඉටු කරමින් මේ අය රටේ පුරවැසියන් යැයි තේරුම් ගෙන රටට සේවය කළ හැකි ශක්තිමත් නායකත්වයක් එතුමා තුළ අපි දකිනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා,

මේ පවතින වාතාවරණය තුළ අපි දකින එක් කරුණක් තමයි නායකත්වය කියන්නේ. මෙහි දී අපි ඒ ඒ පුද්ගලයාගේ දේශපාලන හැකියාව, පළපුරුද්ද දෙස බලන්න අවශ්‍යයි. මේ දේශපාලන පළපුරුද්ද ගත් විට සජිත් ප්‍රේමදාස මහතා අනෙක් අපේක්ෂකයන්ට වඩා පෙරට එනවා. ඊට හේතුව තමයි ඔහුගේ නිවාස ව්‍යාපෘතිය. මේ නිවාස ව්‍යාපෘතියට ඉතිහාසයක් තිබෙනවා. 60 ගණන්වල තිබුණේ කොළනි. ඊට පසු 70 දී නිවාස කුල බිහි වුණා. 80 ගණන්වල දී උදාගම්මාන බිහි වුණා. අද වන විට ඒ ව්‍යාපෘතිය සංකීර්ණ වෙලා. ඔහු මේ ව්‍යාපෘතිවල පුරෝගාමීව වැඩ කළා. නිවාසයක් භාණ්ඩයක් ලෙස හඳුන්වන්න බැහැ. නිවාසයක් කියන්නේ පුද්ගලයකුගේ අයිතිවාසිකමක්. පුද්ගල අයිතිවාසිකම් මිල කරන්න බැහැ. නිවාසය වඩා තමාගේ සියලු දේ ගොඩනැඟෙනවා. ඒ නිවාස ගොඩනැඟීමේ පුරෝගාමීයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි.

මේ නිවාස පදනම් කරගෙන මේ අපේක්ෂකයා ඒ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට ඒම ඉතාමත් හොඳ කාරණයක් ලෙස මා දකිනවා. මේ නිවාස සංකල්පය එක්ක සියලු ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. එතුමා දැන් ඉන්න දර්ශනය තවත් ශක්තිමත් කළොත් මේ රට ගොඩනඟන්න පුළුවන්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ,

මේ මැතිවරණ ව්‍යාපාරයට අපි සම්බන්ධ වුණේ විශේෂ හේතුවක් නිසයි. 2015 වගේම මේ මැතිවරණයත් තීරණාත්මකයි. එදා අපි ඒකාධිපතිවාදය ද ප්‍රජාතන්ත්‍රවාදය යන ගැටලුව විසඳ ගන්න තමයි කටයුතු කළේ. අදත් තිබෙන්නේ ඒ ප්‍රශ්නයමයි. ඒකාධිපතිත්වය ඉදිරියට ගෙන යනවාද එසේ නැත්නම් අපි දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ද කියන එක තමයි අදත් තිබෙන්නේ.

වර්තමාන පාලනය තුළ විවිධ දුර්වලතා තිබුණා. නමුත් රටේ මාධ්‍ය නිදහස, මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාත්නත්‍රවාදය ඒ තුළ තහවුරු වුණා. ඒ දිනා ගත් අයිතිවාසිකම් නැවත නැති කර ගන්නවාද කියන ප්‍රශ්නය අද තිබෙනවා. නැවත ඒකාධිපති පාලනයක් මතු වීම වළක්වා ගැනීම ගැනයි මේ මැතිවරණයේ දී අපි හිතන්න ඕනේ.

18 සංශෝධනය ගෙනත් එකම කණ්ඩායමක් රටේ බලය අයිති කර ගන්න උත්සහ ගත්තා. නැවත ඒ බලය ලබා ගන්න තමයි මේ අය කටයුතු කරන්නේ. එය ආරක්ෂා කර ගන්න තමයි අපි ආචාර්යවරු ලෙස එක්සත් ජාතික පෙරමුණ වඩා අපි පෙළ ගැසී සිටින්නේ. අද පවුල්වාදයක් නැති නව නායකත්වයක් අද අපිට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වටා පෙළ ගැසීමයි අද අපි සිදු කළ යුතු වන්නේ. අපිට නැවත මර්දනකාරී යුගයක් පළක් නැහැ. මේ සටන අපි 2015 වගේම ජයග්‍රහණය කරන්නට බලාපොරොත්තු වෙනවා. යැයි කීවේය.

ඡායාරූපය රංජිත් අසංක

නව අදහස දක්වන්න