වැඩට නාවොත් ! | දිනමිණ

වැඩට නාවොත් !

දුම්රිය දෙපාර්තමේන්තුව යනු පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. 2017 වාර්ෂික පාඩුව රුපියල් බිලියන අටකට ආසන්න බව සඳහන් ය. මහා භාණ්ඩාගාරය මේ ආයතනය පවත්වා ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන හයසියයක් පමණ ලබාදෙන බව ද කියති. ඒ හැරෙන්නට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක කාර්යක්ෂමතාව දිනෙන් දින පහළට යන බව ද සඳහන් වෙයි. මෙබඳු පසුබිමක් තුළ වැඩ වර්ජන පවත්වනවිට තත්ත්වය තවත් නරක අතට හැරෙයි. දුම්රිය වැඩ වර්ජනය නිසා දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ යන අතර රටේ ආර්ථිකයට ද එය අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.

මේ වනවිට දුම්රිය වැඩ වර්ජනයට දින දහයකටත් වැඩි කාලයක් ගත වී ඇත. වර්ජනය නිසා දෙපාර්තමේන්තුවේ දිනක පාඩුව මිලියන දහසයත් - දහහතත් අතර පවතින බව කියති. ඒ හැරෙන්නට රටේ ආර්ථිකයට දින දහයක් තුළ සිදුවූ මුළු පාඩුව මනින්නට ක්‍රමයක් නැත. දුම්රිය ධාවනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත. මැතිවරණ කොමිසම මේ කාලය තුළ වැඩ වර්ජන සඳහා තහනමක් ද පනවා ඇත. එහෙත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් රටේ නීතියට පවා අභියෝග කරමින් වර්ජනය ඉදිරියට ම ගෙන යන බව සඳහන් ය. මෙය ලියන මොහොත දක්වා ම එහි වෙනසක් සිදුවන බව වාර්තා වී තිබුණේ නැත.

වැඩි ම සේවක සංඛ්‍යාවක් නඩත්තු කරන රාජ්‍ය ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව හැඳින්විය හැකි ය. වැඩි ම වෘත්තීය සමිති ප්‍රමාණයක් ඇති ආයතනයක් ලෙස ද එය හැඳින්විය හැකි ය. මීට වසර කිහිපයකට පෙර වාර්තා වී තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට වෘත්තීය සමිති එකසිය ගණනක් ඇති බව ය. මේ වෘත්තීය සමිති විවිධ අරමුණු හා ඉලක්ක ජයගැනීම සඳහා විවිධාකාරයේ වර්ජනවල ද, විවිධාකාරයේ විරෝධතාවල ද නිරත වෙති. වසරකට වැඩි ම වැඩ වර්ජන සංඛ්‍යාවක් පවත්වන ශ්‍රම ඵලදායකත්වය අතින් ඉතා හීන ආයතනයක් ලෙස ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකට ය. එලෙස ම මහජනයාගේ වැඩි ම විවේචනයකට හසුවන දෙපාර්තමේන්තුවක් ලෙස ද එය ගණන්ගත හැකි ය.

මේ වනවිට දුම්රිය වර්ජනය මෙහෙය වන වෘත්තීය සමිතිය බවට පත්ව ඇත්තේ රියදුරු සංගමය යි. නියාමකවරුන්ගේ සංගමය හා ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද ඊට සහාය පළ කරමින් වර්ජනයට සහභාගී වන බව පෙනෙයි. ප්‍රධාන ඉල්ලීම් දෙකක් වර්ජනයට පාදක වී ඇත. පළමුවන්න තමන්ගේ පඩි වැඩි කරගැනීම ය. දෙවන්න දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කරගැනීම ය. දෙවන්න මේ වන විටත් ඉටු කර දී ඇත. පළමු ඉල්ලීම මුළුමනින්ම අයුක්තිසහගත බව පෙනී යන්නේ ඔවුන්ගේ මාසික වැටුප් දෙස බලන විට ය. දුම්රිය රියැදුරකුගේ මාසික වැටුප ලක්ෂ තුනකට වැඩි ය. නියාමකවරයකුගේ වැටුප ලක්ෂ දෙකහමාරකට වැඩි ය. ස්ථානාධිපතිවරයකුගේ වැටුප ලක්ෂ දෙකකට වැඩි ය. වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයන් දෙස බලනවිට දුම්රිය සේවක වැටුප් ඉහළ තලයක පවතින බව පැහැදිලි ය.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් පමණක් නො ව; උසස්වීම් සම්බන්ධයෙන් වුව විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු ය. වැටුප් විසමතා විසැඳීම සඳහා වුව විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. රජය වැටුප් පිළිබඳ කොමිසන් සභාවක් පිහිටුවා ඇත්තේ එම කාර්යය නීත්‍යානුකූල ලෙස ඉටුකිරීම සඳහා ය. එහෙත් වෘත්තීය සමිති කිහිපයක් කොමිසන් සභාවේ නිර්දේශ නොපිළිගන්නා බව පෙනෙයි. එය රටේ නීතියට අභියෝග කිරීමක් හැටියට ද සැලැකිය හැකිය. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ගණනාවක් රජයට ඇහුම්කන් දෙමින් වර්ජනය නැවැත්වීමට සූදානම් බව වාර්තා වී ඇත. වර්ජනය අඛණ්ඩව පැවැත්විය යුතුය යන මතය දරන්නේ රියැදුරු සංගමය පමණකැයි කිව හැකි ය.

අලුත් ම තත්ත්වයට අනුව රියැදුරු සංගමය තවත් සාකච්ඡාවක් ඉල්ලා සිටී. අමාත්‍යාංශයේ තීරණය වී ඇත්තේ වර්ජනය ‍අවසන් කොට සේවයට වාර්තා කළහොත් පමණක් සාකච්ඡාව ලබාදෙන බව ය. එය නිවැරැදි තීරණයක් ලෙස ගත හැක්කේ මීට පෙර සාකච්ඡා ගණනාවක් පැවැත් වූ අතර වර්ජකයන් ඒවා කඩාකප්පල් කර තිබීම නිසා ය. ආණ්ඩුවක් වෘත්තීය සමිති ඉදිරියේ ඕනෑවට වඩා නම්‍යශීලී වීම සුදුසු නැත. එබඳු තත්ත්වයක් යටතේ රාජ්‍ය පාලනය ගෙන යෑම අපහසු වෙයි. දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඇති මහජන මතය වන්නේ රජය දැඩි තීන්දු තීරණ ගෙන වර්ජනය නැවැත්විය යුතුය යන්න ය. මහජනයා විඳින පීඩාව දෙස බලනවිට ඔවුන්ගේ මතය යුක්තිසහගත බව පෙනී යයි.

රජය පැත්තෙන් බලනවිට පාර්ශ්ව දෙකක් කෙරෙහි අවධානය යොමුකරන්නට සිදුවී ඇත. එක පැත්තකින් මගී ජනතාව සිටිති. ලක්ෂ හතරකට ආසන්න පිරිසක් දිනපතා දුම්රියෙන් ගමන් කරති. මෙයින් වැඩි පිරිස වැඩකරන ජනතාව වෙති. තව පැත්තකින් වර්ජකයෝ හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නෝ සිටිති. මගී ජනතාවගේ පැත්ත ගැන බැලුවහොත් ඒ පැත්තේ බර වැඩි ය. වර්ජකයන් ඇත්තේ සුළු ප්‍රමාණයකි. ඔවුන්ගේ ඉල්ලීම් ද සාධාරණ නැත. මේ අනුව මහජනයාගේ පැත්තට වැඩි අවධානයක් යොමුකොට ගැටලුව විසැඳීමට සිදුවනු ඇත. වර්ජනය තවදුරටත් පැවතුණහොත් මහජන කෝපය ඇවිලී යා හැකි ය. මහජන කෝපය පුපුරා ගියහොත් වර්ජකයන් පමණක් නො ව; දුම්රිය දෙපාර්තමේන්තුවද බරපතළ ක්‍රියාවලියකට ගොදුරුවීමට ඉඩ තිබේ.

වර්ජකයන් තම රැකියාව ගැන ද, යැපෙන්නන් ගැන ද, රටේ ආර්ථිකය ගැන ද නිරීක්ෂණය කොට නිවැරැදි තීන්දුවක් ගත යුතුව තිබේ. අපට හැ‍ඟෙන පරිදි එම තීරණය විය යුත්තේ සේවයට වාර්තා කොට නැවත සාකච්ඡා ආරම්භ කිරීම ය. ආණ්ඩුව ද මහජනයා හා රටේ ආර්ථිකය නිරීක්ෂණය කොට තීන්දුවක් ගත යුතු ය. අපට හැ‍ඟෙන පරිදි එම තීන්දුව විය යුත්තේ වර්ජනය නැවැත්වීමට පියවර ගැනීම ය. එලෙස ම රජයට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම ය. ඒ හැර වෙනත් විසැඳුමක් නැත.

 

නව අදහස දක්වන්න