මිනිස් ඝාතන, පෞද්ගලික දේපොළවලට හානි කිරීම, දේශපාලන පළිගැනීම් චෝදනා කිසිවක් මට නැහැ | දිනමිණ

මිනිස් ඝාතන, පෞද්ගලික දේපොළවලට හානි කිරීම, දේශපාලන පළිගැනීම් චෝදනා කිසිවක් මට නැහැ

ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී ජනපති කියයි

*දේශපාලන වශයෙන් අපිට ඕනැ වෙන්නේ ජනාතාවාදීව මිත්‍රශිලීව ක්‍රියාකරන ගුණයහපත් පිරිසක්. නිකන් කාලා බීලා විනාශ කරලා නටන කන බොන මිනිසුන් නොවෙයි.

*මේ රටේ මීට පෙර සිටි සියලු ජනාධිපතිවරුන්ගේ කාලය තුළ දී කම්කරුවන්ට එරෙහිව තුවක්කු පත්තු වුණා. වෘත්තීය සමිතිවල අයට එරෙහිව තුවක්කු පත්තු වුණා. ශිෂ්‍ය ව්‍යාපරවලට, තුවක්කු පත්තු වුණා. නමුත් මම බෙහෝම පැහැදිළිවම කියනවා මගේ නිල කාලය තුළ ආණ්ඩුවේ තුවක්කු එකක්වත් මේ රටේ කිසිම පුරවැසියකුට එරෙහිව පත්තු වුණේ නැහැ. ඒ වාර්තාව මම පිහිටවලා තියෙනවා.

මෙයට පෙර සිටි සියලූ ජනාධිපතිවරුන්ට තිබූ චෝදනාවන් වන මිනිස් ඝාතන, පෞද්ගලික දේපොළවලට හානි කිරීම් හා දේශපාලන පළිගැනීම් පිළිබඳ ඒකම චෝදනාවක්වත් මට නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කෙළේ පෙරේදා (5) පස්වරුවේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මෙම නොවැම්බර් මැද භාගය වන විට ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර මම ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයකු ලෙසයි.

රටේ සංවර්ධනය සඳහා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා මහජනයා විසින් පත් කරන ආයතන 4ක් තිබෙනවා. ප්‍රධාන තනතුර රටේ ජනාධිපති ධුරය. ඊළගට පාර්ලිමේන්තුව. පළාත් සභාව. හතරවැනි ආයතනය පළාත් පාලන ආයතනය, එහෙම නැත්නම් නගර සභාව සහ ප්‍රාදේශීය සභාව. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 11 වැනි දා පවත්වන ඡන්දයට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව පනස් තුන් දාහක් පමණ වෙනවා.

ඒ වගේම තමුන්නාන්සේලාගේ ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ක් තිබෙනවා. අපේක්ෂක ලැයිස්තුව ඉන්නවා 31 ක්. 11 වැනිදට මේ පනස් තුන් දාහෙන් මගේ අත්දැකීමේ හැටියට ඡන්ද 40 දාහක් විතර පාවිච්චි වෙයි. ඒ 40 දාහෙන් දාසය දාහක්, දාහත් දාහක් ගන්න පුළුවන් නම් ඒ පක්ෂය තමයි ප්‍රාදේශීය සභාවේ බලයට පත් වෙන්නේ. තමුන්නාන්සේලට අපි ඉදිරිපත් කරල තියෙන්නේ, මම දන්න විදියට ඉතාම හොඳ අපේක්ෂක කණ්ඩායමක්.

පාර්ලිමේන්තුවෙන් කරන කටයුතු කරන්න නොවෙයි. පළාත් සභාවෙන් කරන කටයුතු කරන්න නොවෙයි. ජනාධිපති ධුරයෙන් කරන කටයුතු කරන්න නොවෙයි. ගමේ සභාවට ගමේ ප්‍රශ්න විසදන, ගමේ ජනතාවට ඉතාම සමීප තමුන්නාන්සේලට කැමති ගමට මන්ත්‍රීවරයෙක් තෝරා ගන්නයි. පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයක දී ඡන්ද දායකයා හිතන විදිහට නොවෙයි මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද දායකයෝ හිතන්නේ.

ප්‍රධාන වශයෙන්ම ඥාති සම්බන්ධකම් තිබෙනවා. තවත් මිත්‍ර සම්බන්ධකම් තිබෙනවා. තවත් සමහරවිට ව්‍යාපාරික සම්බන්ධකම් තිබෙනවා. වෘත්තීය සම්බන්ධකම් තිබෙනවා. මෙතනදි ප්‍රාදේශීය සභාවේ බලය දීමට තමුන්නාන්සේලාට වඩාත් ගැළපෙන සුදුසු කණ්ඩායම විදිහට මම විශ්වාස කරන්නේ බුලත් කොළය ලකුණ යටතෙන් ඡන්දය ඉල්ලන අපේ එක්සක් ජනතා නිදහස් සන්ධානය, නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, මෙතන සිටින තමුන්නාන්සේලා වගේම මෙතනට පැමිණ නැති දහස් ගණනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ඡන්ද දෙන්න කියන්නේ ඇයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දවසේ මේ රටේ තිබෙන පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට සුදුසුකම් කියන එකම දේශපාලන පක්ෂය කියලා මම බය නැතිව කියනවා.

ඒ සහතිකය දෙන්න පුළුවන්. මම තමුන්නාන්සේලාගේ ජනාධිපති විදහට දැන් අවුරුදු 5ට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරණයේදී මම මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු කිහිපයක් තියෙනවා .රාජ්‍ය මට්ටමෙන් ආණ්ඩුවක් විදියට නොවෙයි පුද්ගලික මට්ටමෙන්. මම 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේදී මේ රටේ ජනතාවට කිව්වා මීට පෙර හිටපු ජනාධිපතවරු 5 දෙනෙක්, තමාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කරපු ජනතාව අකමැති, ජනතාවට නොගැළපෙන මහජන සේවකයෙක් විදියට නොකළ යුතු, එහෙත් පෙර අය කළ කරුණු ගණනාවක් ඒවා මම කරන්නේ නෑ කියලා.

ඉන් එකක් තමා මම කිව්වා ඉල්ලීමක් කළා මම ජනාධිපති වෙලා ජනාධිපතිවරයාට තියෙන අතිගරු කෑල්ල මට කියන්න එපා කියලා. මම කිව්වා මගේ බිරියට කියන ආර්යාව කියන වචනේ පාවිච්චි කරන්න එපා කියලා මම කිව්වා. මම ප්‍රතිපත්තියක් විදියට අතිගරුත්, ආර්යාවත් දෙකම පුද්ගලික මට්ටමෙන් ඉවත් කළා. මටත් මගේ බිරියටත් එවැනි ගෞරවයක් අවශ්‍ය නැහැ. අපි මහජන සේවකයෝ . මම එදා කිව්වා ගුවන් යානා පාවිච්චි කිරීමේදි තිබුණු තත්ත්වය. අදත් 2015 ට කලින් ගුවන් යානා පාවිච්චි කිරීම් වලට කෝටි 22 ක් 23 ක් ගුවන් යානා වලට ගෙවන්න තියෙනවා. තවම ගෙවලා නැහැ. මම නොමැතිව මගේ බිරියවත්, මගේ දරුවෝවත්, කොළඹින් පොළොන්නරුවටවත්, නැතිනම් තවත් තැනකට වත් කිසිම හෙලිකොප්ටරයක්, චොපර් එකක් පාවිච්චි කරලා නැහැ. මගේ පවුලේ කිසිම කෙනෙක් මාත් එක්ක ගියොත් මිසක්.

ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ සිට මේ දක්වා මට පෙර සිටි සියලු ජනාධිපතිවරුන්ට දේශපාලන පළිගැනීම් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන කළ බවට, පෞද්ගලික දේපොළවලට හානි කළ බවට, කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා නැගුණා. හැබැයි මම නොවැම්බර් මාසයේ මැද භාගයේ මේ තනතුරේ නිල කාලය ඉවර කරලා, දේශපාලන ව්‍යාපාරයේ ඊළග පියවර තබන්නේ ඒ කිසිදු චෝදනාවක් නොලත් ජනාධිපතිවරයා විදියටයි. මේ රටේ මීට පෙර සිටි සියලු ජනාධිපතිවරුන්ගේ කාලය තුළ දී කම්කරුවන්ට එරෙහිව තුවක්කු පත්තු වුණා.

වෘත්තීය සමිතිවල අයට එරෙහිව තුවක්කු පත්තු වුණා. ශිෂ්‍ය ව්‍යාපර වලට, තුවක්කු පත්තු වුණා. නමුත් මම බෙහෝම පැහැදිළිවම කියනවා මගේ නිල කාලය තුළ ආණ්ඩුවේ තුවක්කු එකක්වත් මේ රටේ කිසිම පුරවැසියකුට එරෙහිව පත්තු වුණේ නැහැ. ඒ වාර්තාව මම පිහිටවලා තියෙනවා. කිසිකෙනකුට ඒ වාර්තාව නැහැ. ඒ නිසා ඒ ප්‍රතිපත්ති තුළ වගේම මම උත්සහ ගත්තා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙනියන්න. ඒකට මට සටන් කරන්න සිද්ධ වුණා. මම හිටපු තැනින් එළියට ආවේ එතන වැරදි රාශියක් තිබුණු නිසා නිවැරැදි දේශපාලන ගමනක් යන්න. 2015.01.8 වැනි දා මේ රටේ ඡන්දය දුන්න හැට දෙලක්ෂ දාහත් දහස් පන්සියකට වැඩි පිරිසක් මට ඡන්දය දුන්නේ කන්න ඉල්ලලා නොවෙයි. රස්සාවල් ඉල්ලලා නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා. නිදහස ඉල්ලලා.

බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ සමාජයක් ඉල්ලලා. ඒ සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස මම තහවුරු කෙරුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට තමුන්නාන්සේලා ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ කියන සුදුසුකම් අද මේ රටේ වෙනත් එකම දේශපාලන පක්ෂයකටවත් නැති නිසයි. මේ රටේ පැහැදිලි දේශපාලන ව්‍යාපාරයක් සඳහා ජනතාවාදී වාමාංශික ප්‍රගතිශීලි මානවවාදී දේශපාලන ව්‍යාපාරයකට, මූලික පදනම වැටුණේ අපේ දේශපාලන ඉතිහාසයේ මෑත භාගයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගෙන්. බණ්ඩාරනායක මැතිතුමත්, මැතිනියත්, මේ රටේ පොදු මහජනතාවට පුංචි මිනිහට ඔලුව උස්සන්න, දුප්පත් මිනිහට නැගිටින්න, කම්කරුවගේ අයිතිය ලබා දෙන්න කටයුතු කළා.

බණ්ඩාරනායක මැතිතුමත් මැතිනියත් වැඩකළේ මේ රටේ පොදු මහජනතාවට දුප්පත් මිනිහට නැඟිටින්න. වැඩපොළේ කම්කරුවාගේ අයිතිය ලබා දෙන්න. කුඹුරේ වැඩකරන ගොවියාට අවශ්‍ය ජීවන තත්ත්වය උසස් කරන්න. මේ රටේ ගුරුවරයා, වෙද මහත්මයා, පන්සලේ හාමුදුරුවෝ නැගිට්ටවන්න. දේශීයත්වය, අපේකම්, අපේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ ආගම ආදි ඒ සියල්ලත් එක්ක රට තුළ නව පුනර්ජීවනයක් ඇති කරන්න. මේ බණ්ඩාරනායක දර්ශනය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වුණා. ඒ දර්ශනයෙන් බිහිවුණු දේශපාලන ව්‍යාපාරය තමයි මේ රටේ වමේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය. ඒ තුළ මේ රටේ ආණ්ඩු ගණනාවක් රටට අවශ්‍ය බොහෝ වෙනස් කම් කළා. ඒ වෙනස්කම් අතරේ මහජනතාවට හොඳට දැනෙන දේවල් කළා. ජාත්‍යන්තර වශයෙන් ලෝකය දිනා ගත්තා. බණ්ඩාරනායක මැතිනිය තරම් ලෝකය දිනා ගත් නායකයෙක් මේ රටේ නැහැ.

2015 මම ජනාධිපතිවරයා වන විට ජාත්‍යන්තරය, ලෝකයේ බලවතුන්, නායකයන් මේ රටට තර්ජනය කිරීමේ විශේෂයෙන්ම බලපෑම් කිරීමේ ව්‍යාපාරයක හිටියේ. අපිව ප්‍රතික්ෂේප කරලා හිටියේ. නමුත් මම ජනාධිපති ධුරයට පත් වෙලා පළවැනි සියලු දෙනාට කරුණු කියලා මේ රටට තිබුණු විදේශීය බලවේග තර්ජන ඉවත් කරන්න කටයුතු කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය නිසා. අපිට අදත් හෙටත් අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක්. මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තිබෙනවා. ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා තිබෙනවා.

දුගීභාවය වැඩි වෙන්න ප්‍රධානම කාරණය දේශපාලනඥයන්ගේ දූෂිත ක්‍රියාමාර්ග. 11 වැනිදා තම තමන්ගේ ඡන්දය පාවිච්චි කරන විට තමුන්නාන්සේලා බලන්නට ඕනෑ මේ රටේ දේශපාලනය කරන අයගෙන් රට වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනවද කියලා. තමන් වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනවද කියලා. මේ රටේ දේශපාලනය කරන අයගෙන් 95% ක් ඉන්නේ තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය. ඒ නිසා තමයි දේශපාලනය පිරිහිලා තිබෙන්නේ. ඒ නිසයි ජනතාවට දේශපාලනඥයා පිළිකුල් සහගත වෙලා තිබෙන්නේ. බලය අරගෙන කරන්න තිබෙන ජහජරා වැඩ දූෂණ, වංචා, හොරකම්, පොදු දේපොළ මහජන දේපොළ ගසාකෑම, ලියා ගැනීම මේවා තමයි මේ රටේ දේශපාලනඥයෝ තමන්ගේ ප්‍රතිපත්ති විදියට ක්‍රියාත්මක කරන්න පටන් අරන් තිබෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් මේ රටේ ජනතාවගේ සේවකයන් විදියට ලබාදීමටයි. මම නම් කිසිම තැනක පක්ෂයේ වුණත් හිතවත් වුණත් මොන මිත්‍රකම් නෑදෑකම් තිබුණත් දූෂණයට වංචාවට කිසිම කෙනකුට ඉඩදෙන්නේ නැහැ. ඒක මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ. මම තමයි මේ රටේ එකම ජනාධිපතිවරයා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න හිටපු ආණ්ඩුවටත් ජනාධිපති කොමිසන් දැම්ම. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ දූෂණ හොයන්න කොමිසම් පත් කෙරුවේ නැහැ.

මම මේ ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න කොමිසම් දෙකක් දැම්ම බව ඔබ දන්නවා. පළවැනි එක මහ බැංකු කොල්ලය. රටේ අගමැතිවරයාට සිදු වුණා කොමිසන් සභාවට ගිහිල්ලා කරුණු ප්‍රකාශ කරන්න. ඊළඟට තවමත් ක්‍රියාත්මක වන මේ ආණ්ඩුවේ දේශපාලනඥයන් වේවා නිලධාරීන්ගෙන් වේවා මේ කාලය තුළ සිදු වූ දූෂණ වංචා සොයන්න. ඒ නිසා මම හිටපු අයටත් වගඋත්තර කියන්න ඉඩ සැලැස්සුවා. ඉන්න අයටත් වග උත්තර කියන්න ඉඩ සැලැස්සුවා. ඒක තමයි රටකට අවශ්‍ය ප්‍රතිපත්තිය.

දේශපාලන වශයෙන් අපිට ඕනැ වෙන්නේ ජනාතාවාදීව මිත්‍රශිලීව ක්‍රියාකරන ගුණයහපත් පිරිසක්. නිකන් කාලා බීලා විනාශ කරලා නටන කන බොන මිනිසුන් නොවෙයි. මෙම ඡන්දයේදි මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනැ ජාතික දේශපාලනයේ ඉලක්ක දිහා නොවෙයි. අපි කොහොමද ගමේ පුංචි පාර, බොක්කුව, ක්‍රීඩාපිටිය, පාසලේ අඩුපාඩු පන්සලේ අඩුපාඩු හදා ගන්නේ කියලා. දුකක් කරදරයක් වුණාම බලන දුක සැප අහන කෙනෙක් තමයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා කියලා කියන්නේ. එහෙම නැතිව ගුවන්තොටුපොළ, වරාය, උමා ඔය, මොරගහකන්ද වැනි දැවැන්ත ව්‍යාපෘති හදන අය නොවෙයි. ප්‍

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් ප‍්‍රධාන අැමැති චාමර සම්පත් දසනායක, ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමිල කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මේ අවස්තාවට එක්ව සිටියහ.

ඡායාරුප-ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න