අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා: | දිනමිණ

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා:

අවසන් දිනයේ 1500 සඟරුවනට අගමැති ප්‍රධානත්වයෙන් දානමය පින්කම්

දෙවනපෑතිස් රජුන්ගේ මලනුවන්වු උත්තිය රජ දවසින් පසුව ප්‍රථම වතාවට පැවත්වෙන අනුබුදු මිහිදු මාහිමිපාණන්ගේ පරිනිර්වාණය සිහිපත් කෙරෙන මිහිදු මාහිමි කෘතගුණ පූජාවේ ප්‍රථම ජාතික පුණ්‍ය උත්සවයේ අවසන් දිනයවු ඊයේ (06දා) දිනයේ මහා සංඝරත්නයේ 1500 නමක් විෂයලා දහවල් දානය පිරිනැමීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා රජමහා විහාරයේ සේල චෛත්‍ය සෑමළුව අසලදී සිදුකෙරුණි.උත්තිය රජතුමාගේ රාජ්‍ය සමයේ වප් පුර අටවක දින මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑමෙන් පසු මෙරට රජවරු මිහිඳු පුර අටවක දිනය ලෙස නම් කොට උන්වහන්සේගේ ගුණ සමරා උත්සව පවත්වා තිබෙන අතර වසර 2279කට පසුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පූජනීය උත්සවය නැවතත් ආරම්භ කෙරුණේ පසුගිය (4දා)ය.මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන්ගේ ඉල්ලිම හා අනුශාසනාව පරිදි උත්සවයට පූර්ණ අනුග්‍රහය ලබාදිමට ආණ්ඩුව කටයුතුකර තිබුණි.

වප්මස මිහිදු පුර අටවක දිනය යෙදුණු (05දා) සවස සිට අනුබුදු මිහිදු මාහිපානන්ගේ කෘතගුණ කියවෙන මිහිදු මාහිපානන් සිහිපත්කර සිදුකරන මිහිදු ගුණ දේශනාව මහ මෙව්නා අසපුවේ ස්වාමින් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් ඊයේ (06දා) අළුයම තෙක් සිදුකෙරුණි. අනතුරුව ඊයේ (06දා) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා රවී කරුණානායක පී.හැරිසන් චන්ද්‍රාණි බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම මහතා ඇතුළු රජයේ නියෝජිතයන් විශාල පිරිසක් උත්සවයේ අවසන් දිනයට එක්වුහ.

පුණ්‍ය මහෝත්සවයට එක්වු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස මිහින්තලා ධාතු මන්දිරයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් අතර අමරපුර මහා නිකායේ අග්ගමහා පණ්ඩිත කොටුවේගොඩ ධම්මාවාස නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු සැදැහැවත් පිරිස පංචශිලයේ පිහිටුවා සෙත් පිරිත් සජ්ජායනා කළහ. මිහින්තලා රජමහා විහාර මැද මළුවේ පිහිටි සේල චෛත්‍ය අභියස ඉදිකළ විශේෂ පීඨිකාවක අසුන්ගෙන සිටි 1500 ක්වූ මහා සංඝරත්නය ඇතුළු මෙහෙනින් වහන්සේලාට දහවල් දානය පිරිනැමීම අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

පූජ්‍ය උත්සවයට සහභාගිවු මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපාණන් වසර 2279කට පසුව අති විශාල ජනකායකගේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් මිහිඳු මාහිමිපාණන්ගේ පරිනිර්වාණය සිහිපත් කෙරෙන උත්සවය සිදුකිරිමට හැකිවුවා. ජනාධිපතිතුමන් අගමැතිතුමන් ප්‍රමුඛ රජය ලබාදුන් සහයෝගය පුණ්‍යානුමෝදනා සහිතව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. සියළුම කටයුතු ඉතා හොඳින් සිදුවුවා යනුවෙන් උන්වහන්සේ පැවසුහ.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගමේ (ලේක් හවුස් ආයතනයේ) දිනමිණ බුදුසරණ පුවත්පත් මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාදි තිබුණි.

අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසූරිය මිහින්තලය විශේෂ චන්ද්‍රදාස මලවරආරච්චි

නව අදහස දක්වන්න