සියල්ල සූදානම්! | දිනමිණ

සියල්ල සූදානම්!

මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලාංකේය දේශපාලනයේ සුවි‍ශේෂ මැතිවරණයක් වන බව පෙනී යයි. ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයන් වැඩිම සංඛ්‍යාවක් තරග වදින මැතිවරණය ලෙස එය සටහන් වී ඇත. අපේක්ෂකයෝ හතළිස් එක්දෙනෙක් නාම යෝජනා භාර දී සිටිති. පිළිගත් දේශපාලන පක්ෂවලින් දහනව දෙනකු, ස්වාධීන ලෙස දහනම දෙනකු හා තවත් මහජන ව්‍යාපාර තුනක අපේක්ෂකයන් තුන් දෙනකු වශයෙනි. ජනාධිපතිවරණයක් සඳහා ශ්‍රී ලංකාව වියදම් කරන වැඩිම මුදල ද මේ ක්‍රියාවලියට අයත් ය. මැතිවරණයේ මුළු වියදම රුපියල් කෝටි පන්සියයක් ලෙස පුරෝකථනය වී ඇත. ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ කඩඉමක් 2019 ජනාධිපතිවරණය සටහන් කරනු ඇතැ’යි මතයක් ද පවතී. ඒ හැරෙන්නට මැතිවරණ කොමිසම ස්වාධීන හා නිදහස් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබේ.

ඉහත සඳහන් සියලු සාධක නිරීක්ෂණය කරන විට 2019 ජනාධිපතිවරණය සුවිශේෂ මැතිවරණයක් බව මොනවට සනාථ වෙයි. මෙරට දේශපාලනයේත්; ජාතික ආර්ථිකයේත් කඩඉමක් ලෙස ජනාධිපතිවරණය පවතින බව විද්වත් මතය වෙයි. ඉන් පැහැදිලි වන්නේ රටේ අනාගතය පිළිබඳ බුද්ධිමත් ම තීරණය ජනතාව ගත යුතු බව ය.

දේශපාලන වශයෙන් ගත් කල දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති රාජ්‍ය නායකයකු පත්කර ගැනීමේ හදිසි අවශ්‍යතාව පහළ වී ඇත. එම නායකයා රටේ ඉදිරි ගමනට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය හා ආර්ථික වැඩසටහන සකස් කර ගත යුතුව තිබේ. රටේ සාම්ප්‍රදායික ඡන්දදායකයා පසු වන්නේ පාරම්පරික දේශපාලන තීන්දු ගනු ලබන තැනක ය. එහෙත් එය වෙනස් විය යුතු බව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට පෙනී යයි. ජනතාව රටේ අනාගතය පිළිබඳ වි‍ශ්ලේෂණයක යෙදිය යුතු අවස්ථාවක් ලෙස මෙය සැලැකිය හැකි ය.

අපේක්ෂකයන්ගේ ගණන වැඩිවීම නිසා ජනාධිපතිවරණය සඳහා දැරිය යුතු මුදල ද ඉහළ ගොස් තිබේ. එහෙත් දේශපාලන මතවාද හා අනාගත වැඩසටහන් පිළිබඳ අපේක්ෂකයන් හා දේශපාලන ව්‍යාපාර දක්වන අදහස් වලින් ජනතාවගේ දේශපාලන ඥානය මුවහත් විය හැකි ය. එ මගින් නිවැරැදි තීරණයක් ගැනීමට ඇති අවකාශය පුළුල් වනු ඇත. මීට පෙර අපට දකින්නට ලැබුණේ ප්‍රධාන පක්ෂ දෙකක හෝ ප්‍රධාන පක්ෂ තුනක හෝ අපේක්ෂකයන්ගේ මත ගැටුම් පමණි. අද පවතින තත්ත්වයට අනුව සෑම අපේක්ෂකයකුගේම අදහස් හා යෝජනා විවිධ දෘෂ්ටීන් ඔස්සේ විචාරයට ලක්වනු දැකිය හැකිය. අපේක්ෂකයන් වැඩි ගණනක් තරගයට ප්‍රවේශවීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස ද සැලැකිය හැකිය. ප්‍රධාන පක්ෂවලට හා බලවතුන්ට පමණක් නොව; පොඩි මිනිසාට ද දේශපාලනයට ප්‍රවේශ විය හැකි බව මෙවර ජනාධිපතිවරණය සනාථ කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයේ තවත් විශේෂයක් පවතී. එනම්; ජනාධිපතිවරණ තරගය සඳහා ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, විපක්ෂ නායකවරයකු ඉදිරිපත් වී නොසිටීමය. එය යහපත් ප්‍රවණතාවක් ලෙස ද සැලැකිය හැකි ය. බලයේ සිටින ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට මැතිවරණය සඳහා වක්‍ර බලපෑමක් සිදුවන්නට ද ඉඩ තිබේ. එබඳු තනතුරක් දරන කෙනකුට බලය අනිසි ලෙස භාවිත කිරීමට ඇති ඉඩ - කඩ වැඩි ය.

ස්වාධීන අපේක්ෂකයන්ගේ සම්ප්‍රාප්තියෙන් පෙනී යන්නේ නිදහස් මැතිවරණයක් පිළිබඳ විශ්වාසය බොහෝ දෙනකු තුළ පවතින බව ය. දේශපාලන වශයෙන් නිදහස් හා ස්වාධීන මත දැරීමට හා ක්‍රියාකිරීමට අවකාශයක් රට තුළ පැවැතිය යුතුය. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල ඇති ලක්ෂණයකි. වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බවත්; නීතියේ ආධිපත්‍යය තහවුරු වී ඇති බවත් ඉහත සාධක අපට මතක් කර දෙයි.

අපේක්ෂකයන් ඉදිරියේ ඇති බලවත් ම අභියෝගය වන්නේ රටේ ආර්ථිකය ගොඩනැඟීම යැයි කිව හැකි ය. මේ ජනාධිපතිවරණයේදී තමන්ගේ ආර්ථික දැක්ම හා වැඩසටහන් ජනතාව හමුවේ තැබීමට අපේක්ෂකයන්ට සිදු වී ඇත. 2019 වසරේ ආර්ථික වෘද්ධිය 2.7% ක් ලෙස පුරෝකථනය වී ඇත. විරැකියාව 4% කට වැඩි ය. රටේ කර්මාන්ත හා කෘෂිකර්මය පවතින්නේ ස්ථාවර මට්ටමක නොවේ. අපනයන ආදායම පහළට ගොස් ඇත. සුළු කර්මාන්ත ගණනාවක් වැසී යන තත්ත්වයේ පවතී. විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම අඩු වී ඇත.

සංචාරක කර්මාන්තය පාස්කු ප්‍රහාරයත් සමඟ පසුබෑමට ලක්විය. රාජ්‍ය අංශය තුළ ඇත්තේ බලවත් අකාර්යක්ෂමතාවකි. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පාඩු ලබන තත්ත්වයේ පවතී. මේවා පවත්වාගැනීම සඳහා වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රතිපාදන ඉහළ යමින් පවතී. සමස්ත ආර්ථිකය ගොඩනැඟීම සඳහා ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. අපේක්ෂකයන් මේ අවුල විසඳාගනු ලබන ආකාරය හා ඔවුන්ගේ උපාය මාර්ග ජනතාව ඉදිරියේ පැහැදිලි කළ යුතුව තිබේ.

දේශපාලන වශයෙන් සාකච්ඡාවට හා සංවාදයට විවෘත වේදිකාවක් පවතින්නේ යැයි කිව හැකිය. ජනමාධ්‍ය නිරන්තරයෙන් ම අපේක්ෂකයන් ප්‍රශ්න කරන තැනක සිටින බව පෙනෙයි. මාර්තු 12 ව්‍යාපාරය සංවිධාන කළ මහජන සභාව ඔස්සේ අපේක්ෂකයන්ට පොදු ප්‍රශ්න පහක් ලබා දී තිබිණි. මහජනයා ඉදිරියේ ඊට පිළිතුරු ලබාදීමට අපේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීම වැදගත් ය. එහෙත් තරගයේ ප්‍රධාන අපේක්ෂකයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සංවාදයට පැමිණ සිටියේ නැත. එබඳු අවස්ථාවක් මග හැරීම සුදුසු දෙයක් නොවන අතර මගහැරීමෙන් මහජන විශ්වාසය බිඳී යන්නට ද පුළුවන. ජනාධිපති අ‍පේක්ෂකයන් තමන්ගේ පෞරුෂය, දැක්ම පමණක් නොව; මහජනයාට පිළිතුරු දීමේ හැකියාව ද ප්‍රදර්ශනය කිරීම යහපත් ය.

මැතිවරණ කොමිසම හා පොලිස් දෙපාර්තමේන්තුව සිය රාජකාරිය අකුරටම ඉටු කරන බවක් ද පෙනෙන්නට තිබේ. එය යහපත් ප්‍රවණතාවක් වන්නා සේ ම නිදහස් මැතිවරණයකට අවශ්‍ය පසුබිම ද සකස් කරයි. මැතිවරණ කොමිසම කියා සිටින්නේ වැඩ වර්ජන පවා මේ කාලසීමාව තුළ වහාම නැවැත්විය යුතු බවය. කොමිසම ඊට අදාළ ඉල්ලීමක් ද වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කර තිබේ. නිදහස් මැතිවරණයකට අවශ්‍ය පසුබිම ගොඩනැඟී ඇතැ’යි සතුටු විය හැකි ය. ඊළඟ ජනාධිපතිවරයා පිළිබඳ තීන්දුව ඡන්දදායකයා අත පවතී.

 

නව අදහස දක්වන්න