ජනාධිපතිවරණ අපේක්ෂකයෝ නාමයෝජනා භාර දීමෙන් පසු මෙසේ කියති | දිනමිණ

ජනාධිපතිවරණ අපේක්ෂකයෝ නාමයෝජනා භාර දීමෙන් පසු මෙසේ කියති

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනකු ඊයේ (07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්හ.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අපේක්ෂකයන් කීපදෙනකු මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ මහලේකම් කර්යාලයෙන් ඉවතට පැමිණි අවස්ථාවේදී ඒ මහතා හට පැමිණ සිටි ජනතාවගෙන් උණුසුම් සුබපැතුම් ලැබිණි.

නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු ඇමැති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා -

අද දින නාමයෝජනා ලබාදීමෙන් පසුව අපගේ මාතෘභූමියේ දැවැන්ත හැරවුම් ලක්ෂයක ආරම්භය අපි දියත්කර නැවුම් භාවයකින්, නවීනත්වයෙන්, නව තාක්ෂණය උපයෝගී කරගෙන රට තුළ කළහැකි දැවැන්තම සංවර්ධන විප්ලවය දියත් කරන්නත්, මේ රටේ ජීවත්වන ජනතාවට සංවර්ධනයේ අරුණළු ලබාදීමටත්, ජීවත්වීමේ අයිතිය ලබාදීමටත්, මනුස්සකම අගයන සොදුරු දේශයක් නිර්මාණය කරන්නට අපි කැපවෙනවා කියා මේ අවස්ථාවේ කියන්න කැමතියි.

මේ රට නව තාක්ෂණයෙන් පුබුදුවන රටක් බවට ඔබ අප එක්වී කරන වෑයම ජයග්‍රාහී ගමනක් කරා රැගෙන යා යුතුයි. රටක නායකයකු ලෙස ජාති, ආගම්, කුල බේදයකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා කැප වී ක්‍රියාකරනවා.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා -

විජයග්‍රාහී ලෙස ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය එළැදැක්වීමේ දී අපගේ ප්‍රතිපත්ති පිළිබඳව ඉදිරියේ දී ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. යහපත්, සාමකාමී, තරුණ තරුණියන්ට නිදහසේ ජීවත්විය හැකි රටක් අප ගොඩ නඟනවා.එය මාගේ එකම අරමුණයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා -

2019 ජනාධිපතිවරණය සඳහා අපි ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ලකුණින් තරඟ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ සඳහා නාමයෝජනා අද භාරදුන්නා. වසර 71ක් පුරාවට රටේ ජනතාවට අවස්ථාව ලැබුණා තමන්ගේ ජන බලයෙන් පාලකයන් බිහිකිරීමට. ඒ වගේම පාලකයන් ඉවත් කරන්න. ජනතාව වසර 71ක් දෙස ආපසු හැරී බැලුවොත් ඒ සෑම ගොඩනඟන ලද පාලනයක්ම ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන්න අසමත් වුණා. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවට එම පාලකයන් සමත් වුණා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න.

දේශපාලන ඉතිහාසයේ පාඩම් ඕනෑවටත් වඩා අපි ඉගෙනගෙන තිබෙනවා. පැරණී, යල්පැනගිය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකට අපේ රට ඉදිරියට ගෙනයෑමට නොහැකියි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ අපේක්ෂාව සහ අපේ අපෙක්ෂාව සමපාත වන පාලනයක් ගොඩනැගීමටයි. නමුත් මෙතෙක් කාලයක් රට පාලනය වුණේ ජනතාවගේ අපේක්ෂාවන් වලට පරස්පරවයි. ඒ නිසා නොවැම්බර් 16 දින රටේ ජනතාවට අවස්ථාවක් තිබෙනවා පැරණි යල්පැනගිය දේශපාලන මාවතෙන් ඉවත්වී නව මාවතකට අවතීර්ණ වන්න. ඒ නිසා ජනතාවගේ පැරණි අද්දැකීම් හොදින් උකහාගත යුතුයි, විනාශකාරීත්වය හොදින් තේරුන්ගත යුතුයි. නොවැම්බර් 16 දින ජාතික ජන බලවේගය සඳහා එකතුවන ලෙස මා ඔබට ආරාධනා කරනවා. මේ රටේ ජනතාවගේ අනාගත දිසාව පෙන්වන්න අපි මාලිමාව ලකුණින් එකතුවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ඉදිරිපත් කරන්නේ පක්ෂය මිස අනෙක් පක්ෂවල අය නෙමෙයි. අපි අපේ පක්ෂයේ තීරණ, තීන්දු මාධ්‍යට දෙන්නේ අපි විතරයි. අනෙකුත් පක්ෂවල කොන්ත්‍රාත්කරුවන් අපි ගන්නේ නෑ. රාජිත සේනාරත්න වගේ අය විවිධ ප්‍රකාශ කර තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව එම ප්‍රකාශ අපි දැඩිසේ හෙලාදකිනවා.

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා -

නාමයෝජනා ලබාගැනීම තුළින් පැහැදිලි වෙනවා අපි ලබාගත්තේ ජයග්‍රහණයක් බව. අදින් පසු අපි පටන්ගන්නා ව්‍යාපාරය ජයග්‍රාහී ව්‍යාපාරයක්. අද ජනතාවට ලැබී තිබෙනවා ජනතාව නියෝජනය කරන නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. ජාතික ජනතා පක්ෂයෙන් අපි ඉදිරිපත් වනවා. අපේ සලකුණ බල්බ් එක. අපගේ අපේක්ෂාව රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන, පරිසරයට ආදරය කරන පාලනයක් ගෙනයෑමටයි. ඒ තුළින් අධ්‍යාපන සහ ආර්ථිකය සංවර්ධනය කළ හැකි පාලනයක් නිර්මාණය වනවා.

සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපගේ ප්‍රතිපත්ති මඟින් ඉදිරියට යන්න මේ මැතිවරණය අවස්ථාවක් කරගන්න කියා. අපි අවදිකරන්නේ අපේ මත නෙමෙයි ජනතාවගේ මතයයි. පීඩිත පන්තියේ ජනතාවගේ යටිහිතේ තිබෙන්නේ මේ පාලනය වෙනස්කිරීම යන මතයයි. එයයි අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ.

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා අජන්තා පෙරේරා මහත්මිය -

කාන්තා අපේක්ෂකයෙක් ලෙස මා ජනාධිපතිවරණයට ඉදිපත්වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඇගලුම් කර්මාන්තවල නියුතු කාන්තාවන් පැය අටක් වැඩකරනවා. ඒ අය අමාරුවෙන් හිටගෙන වැඩකරලත් මසකට හම්බවෙන්නේ රුපියල් 21000යි. ඒ වගේම රටේ ජනතාවගේ ජීවන වියදම වැඩියි. අපේ රටේ ප්‍රතිපත්ති හැදෙන්නේ විදේශ රටවලට අවශ්‍ය ලෙස සහ අමාත්‍යවරුන්ට අවශ්‍ය ලෙසයි. සියලු ප්‍රතිපත්ති හැදෙන්න අවශ්‍ය ගොවීන්, කම්කරුවන්, අගලුම් කර්මාන්තයේ සිටින සේවකයන්ට සහන ලැබෙන ලෙසයි.

උතුර, දකුණ, නැගෙනහිර එකතුවන යුගයක් නිර්මාණය කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන් කියන නම ප්‍රචලිත කළ යුතුයි. අපිට බෙදුම්වාදයක් අවශ්‍ය නෑ. මුස්ලිම්, සිංහල කියා බෙදෙන්නේ නැතිව එක ශ්‍රී ලාංකික රටක් කළ යුතුයි. එයට හේතුව මේ ලංකාවේ බිහිවන සෑම දරුවෙක්ටම අයිතියක් තිබෙනවා ජීවත්වීමට සහ ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිය ලබාගැනීමට. නැගෙනහිරට, උතුරට, දකුණට හඩක් අවශ්‍යයි, දුප්පත් මිනිසාට හඩක් අවශ්‍යයි. වසර 71ක් පුරාවට පාර්ලිමේන්තුවේ 225ම ජනතාව වෙනුවෙන් හඬක් නැගුවේ නෑ. මේ රටේ සියයට 45ක් තාමත් ඉන්නේ දුප්පත්කමේ. ඒ නිසා ජනතාව තීන්දු කළ යුතුයි පාර්ලිමේන්තුවේ 225ට සහයෝගය දක්වා තවදුරටත් දිලිදුකමේ සිටිනවාද?, නැතිනම් වෙනසක් මඟින් දියුණූ යුගයකට එක්වනවාද කියා. මා කාන්තාවක් ලෙස ජනාධිපතිවරණයට එකතුවුණේ මේ රටේ පරිවර්ථනීය වෙනසක් ඉටුකරන්නයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා -

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා. මේ වන විට ධනවාදී සමාජ ක්‍රමය රට තුළ ක්‍රියාත්මක වනවා. එම සමාජ ක්‍රමය මඟින් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් විසදන්න බැරිවුණා. කම්කරුවන්, ගොවියන්, දීවරයන්ගේ සහ සියලු සමාජ මට්ටම්වල ජනතාවගේ ප්‍රශ්න විසදන්න නොහැකිවී තිබෙනවා. ඒ නිසා ලෝකය පුරාවට සමාජවාදය පිළිබඳව රැල්ලක් ඇතිවී තිබෙනවා. සමාජවාදය ගොඩනැගීමේ අරමුණින් අපි මේ ජනාධිපතිවරණයට මුහුණදෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේවන විට රට මුහුණ දී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය විසදීමට අපට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි.

චීනය සහ ඇමරිකාව අතර තිබෙන බලගැටුමෙන් රට හිරකරලා තිබෙනවා. ඒ මගින් විශාල අවදානමක් රටතුළ ගොඩනැගී තිබෙනවා. ඒ නිසා ජනතාව එම කුමන්ත්‍රණ වලට එරෙහිව ඡන්දය ලබාදිය යුතුයි. ලෝකයක් ලෙස රට මුහුණ දී තිබෙන පාරිසරික අර්බුදය බලසම්පන්න වී තිබෙනවා. පාරිසරික අර්බුදය දෙස බැලුවාම මෙයට විසදුම සමාජවාදය කියා. ජනතාවගේ නිදහස් අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය දවසගානේ වළදැමීම තමයි මෙතෙක් කල් සිදුවුණේ. ඒ නිසා සමාජයේ අයිතිය රැකගැනීම සඳහා සමාජවාදය රටතුළ බිහිකළ යුතුයි.

ප්‍රජාත්‍රන්තවාදය, සමාජවාදය ස්ථාපිත වන බලයක් අවශ්‍යයි. ඒ සඳහා විසදුම සමාජවාදයයි. සමාජවාදයට එරෙහිව අපි පියවරක් තබා තිබෙනවා ඒ පියවර සමඟ ඉදිරියට යන්න ජනතාවට ආරාධනා කරනවා.

එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා -

ධනපති පන්තියේ දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවට තිබෙන බරපතළ අවිශ්වාසයක්. ඒ නිසා තමයි මේ තරම් ප්‍රමාණයක් ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත්ව තිබෙන්නේ. වසර 71ක් මේ පාලකයන් රට පාලනය කළත් රට ඉදිරියට ගෙනයෑමට මේ ගතානුගතික සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට නොහැකිවී තිබෙනවා. ඒ නිසා පැහැදිලි ගමනක් ඇතිකරන්න, සමාජයේ නව පරිවර්ථනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු මහතා -

නාගානන්ද මැතිවරණයට ඉදිරිපත්වීමට ලියාපදිංචි පක්ෂයක අපේක්ෂකත්වයක් තිබිය යුතුයි කියා මැතිවරණ කොමිසම දැනුම් දුන්නා. ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වසර හතරක් පැරණි විය යුතුයි. දැනට තිබෙන දේශපාලන පක්ෂයක මා හට ඉදිරිපත්වීමට අවශ්‍යයි. දැනට තිබෙන දේශපාලන පක්ෂ මිලියන 10, 15 ට විකිණීමට තිබෙනවා. නමුත් මා කිසිදු දේශපාලන පක්ෂයක් මිලදී ගන්නේ නෑ.

රෝෂන් තුෂාර, චන්දිමා කරුණාරත්න, අසේල ලියනගේ

නව අදහස දක්වන්න