අපේක්ෂකයෝ 35ක් ජනපති සටනේ | දිනමිණ

අපේක්ෂකයෝ 35ක් ජනපති සටනේ

* ඇප තැබූ 6ක් නම් නොදෙති
* හිටපු මන්ත්‍රීන් 15ක් සටනට
* ඉදිරිපත් වූ විරෝධතා 2ක් විසිවෙයි

එළැඹෙන නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාම යෝජනා 35ක් මැතිවරණ කොමිසම ඊයේ (7) පිළිගෙන ඇත.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 41ක් වෙනුවෙන් පෙරේදා (6) දහවල් 12වන විට ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා භාරගත් ඊයේ (7) මැතිවරණ කොමිසමට නාමයෝජනා ඉදිරිපත් වූයේ 35 ක් පමණි. පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා පැය දෙකක කාලයක් නාම යෝජනා භාරගැනීමට වෙන්ව තිබුණි. පසුව පැය භාගයක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට වෙන්විය. එහිදී නාමයෝජනා දෙකක් සම්බන්ධයෙන් විරෝධතා මැතිවරණ කොමිසමට ඉදිරිපත් විය.

ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ස්වාධින අපේක්ෂකයකු වූ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට එරෙහිවත් නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ස්වාධීන අපේක්ෂක එම්. කේ. සිවාජිලිංගම් මහතාට එරෙහිවත් එම විරෝධතාවන් ඉදිරිපත් කර තිබුණි.

හිස්බුල්ලා මහතාට එරෙහිව එල්ලවූයේ ඔහු ජාතිවාදය වපුරන්නෙක් බවට වූ චෝදනාවකි. සිවාජලිංගම් මහතාට එරෙහිව එල්ලවූ චෝදනාව වූයේ ඔහු රට දෙකඩ කරන්න කටයුතු කරන්නෙක් බවට සහ ත්‍රස්තවාදයට උදව් කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙක් බවටය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සෙසු සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ එන්.ජේ. අබේසේකර සහ මහාචාර්ය එස්. රත්නජීව එච්. හූල් යන මහත්වරු එම විරෝධතා පිළිබඳ යම් කරුණු අධ්‍යනයක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුව එම විරෝධතාව පිළි නොගෙන අපේක්ෂකයන් 35දෙනාගේ ම නාමයෝජනා පිළිගත්හ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 18ක් ද, වෙනත් දේශපාලන පක්ෂවලින් දෙදෙනෙක් ද , ස්වාධින අපේක්ෂකයන් 15ක් ද වශයෙන් අපේකෂකයන් 35 දෙනෙකුගේ නාම යෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය.

එම අපේක්ෂකයන්ගෙන් පිළිගත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් වන්නේ සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), අජන්තා පෙරේරා (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය), ආරියවංශ දිසානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය), බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සම සමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී. ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමඟි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ) යන මහත්ම මහත්මීන්ය.

ස්වාධිනව ඉදිරිපත්වන අපේක්ෂකයන් වන්නේ

ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු , සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අහමඩ් හසන් අලවි යන මහත්වරුන්ය.

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂවලින් නාමයෝජනා ඉදිරිපත් වූ දෙදෙනෙකුගේ නාම යෝජනා ද මැතිවරණ කොමිසම පිළිගත්තේය. ඒ අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය), සහ අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ) යන මහත්වරුන්ගේය.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 19 දෙනෙක් ද ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3දෙනෙක් ද ස්වාධිනව හිටපු සහ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 19 දෙනෙක් ද පෙරේදා (6) දහවල් 12 වන විට ඇප මුදල් තැන්පත්කර තිබුණි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නාමයෝජනා භාර ගන්නා අවස්ථාවේ දී දැනුම් දුන්නේ ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන්ගෙන් තිදෙනෙක් නාම යෝජනා භාර නොදෙන බව දැනුම් දී ඇති බවය.

ඇප මුදල් තැන්පත්කර නාම යෝජනා නොදුන් අපේක්ෂකයන් වන්නේ හිටපු කථානායකවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බෂිර් සේගුදාවුත්, ගුණපාල තිස්සකුටිටිආරච්චි සහ සිංහලදීප ජාතික පෙරමුණේ ජයන්ත ලියනගේ යන මහත්වරුන්ය.

ඒ අනුව මැතිවරණ කොමිසම ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස පිළිගත් අපේක්ෂකයන් 35දෙනා අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් ද වත්මන් පාර්ලිමේතුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද සිටිති. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සංජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ය.

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 35දෙනා අතර මී පෙර පැවැති ජනාධිපතිවරණවලට තරග කළ ජනපති අපේක්ෂකයන් 13 දෙනෙක් ද සිටිති.

ගයාන් කුමාර, රෝෂන් තුෂාර,චන්දිමා කරුණාරත්න, අසේල ලියනගේ
ඡායාරූප - හිරන්ත ගුණතිලක / විමල් කරුණාතිලක / වාසිත පටබැඳගේ

නව අදහස දක්වන්න