අද කලාව බඩගෝස්තරවාදියි | දිනමිණ

අද කලාව බඩගෝස්තරවාදියි

නිරෝෂන් ඉලේපෙරුම

ටෙලි තිරය මත නිරන්තරයෙන් මැවෙන පුහු ෆැන්ටසිය වෙනුවට මිහිපිට වෙසෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතය ප්‍රතිනිර්මාණයට ගත් උත්සාහයක් ලෙස ‘ධරණි’ හැඳින්විය හැක. එහි නිර්මාතෘ වන්නේ රංගන ශිල්පී නිරෝෂන් ඉලේපෙරුමය. මේ ඔහුගේ නවතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි. නුඳුරේදීම ටෙලි තිරය මත දිගහැරෙන්නට නියමිත ‘ධරණි’ හී අධ්‍යක්ෂ නිරෝෂන් ඉලේපෙරුම සමඟ කළ කතා බහකි.

‘ධරණි’ සත්‍ය සිදුවීමක් පාදක කරගත් ටෙලිනාට්‍යක් බව දැනගන්න ලැබුණා?

සම්මානලාභී ලේඛිකා ශාන්ති දිසානායකගේ නවතම නවකතාවයි මම ‘ධරණි’ නමින් ටෙලිනාට්‍යයකට නඟන්නෙ. උතුරුමැද පළාතේ ගොවීන් වකුගඩු රෝගයෙන් මියයෑම සහ ඔවුන්ගේ අඹුදරුවන් මුහුණ දෙන විවිධ ගැටලු පාදක කරගනිමින් ලියැවුණු මේ නවකතාව ඇසුරෙන් මාත් සමඟ තිර රචනය ලිවීමට එක්වුණේ සරත් ධර්මසිරි සහ අරුණ ප්‍රේමරත්න. ධරණි නිෂ්පාදනය කරන්නේ වසන්ත විජේන්ද්‍ර. සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරෙන් දිගහැරෙන මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා යොදාගත්තේ ගල්නෑව, තඹුත්තේගම, මහ ඉලුක්පල්ලම වැනි ප්‍රදේශයන්.

මේ ඔබේ කීවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයද?

‘ධරණි’ මං අධ්‍යක්ෂණයෙන් දායක වන 04 වන ටෙලිනාට්‍යය. මුලින් ම අධ්‍යක්ෂණය කළේ ‘සිහින අරන් එන්න’. ‘මැදියම් අහස’ නිෂ්පාදනය කළේ ඉන් පසුවයි. කොළඹ ආශ්‍රිත ව රූගත කළ ‘ නමක් නැති කතාවක්’ ටෙලිනාට්‍යයේ මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු සිදු කෙරෙනවා.

ඔබ රංගනයට පිවිසුණු ආකාරය පිළිබඳ මතකය අවධි කළොත්?

රංගනයට පිවිසිලා මේ වන විට අවුරුදු 22ක් වෙනවා. මුලින් ම රඟපෑවේ 1997දී බූඩි ගේ ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටියේ. මම පටන් ගත්තෙ ම සිනමාවෙන්. චිත්‍රපටිවල රඟපාලා, ටෙලිනාට්‍යවල රඟපාලා, ඊට පස්සෙ තමයි වේදිකා රංගනයට යොමු වුණේ. නමුත් පාසල් වේදිකාවේ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ජාතික තරුණසේවා සභාව, කතෝලික සිනමා පාසල , විභවි සංස්කෘතික ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව වැනි ආයතනවල අවුරුදු 08ක් පමණ රංගනය පිළිබඳ හැදෑරුවා. ඉන් පසුව වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. කේ. බී. හේරත්ගේ ‘දෙවැනි මහින්ද’, “බන්දුල විතානගේගේ සිකුරු සැණකෙළි’, රාජිත දිසානායකගේ ‘මට වෙඩි තියන් නැද්ද?’, ලලිතා සරච්චන්ද්‍රගේ ‘කපුවා කපෝති’, තරංග රන්දෙනියගේ ‘අසනි වලාහක’ වැනි නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.මම රඟපෑ පළමු ටෙලිනාට්‍ය ‘ඉංගම්මාරුව’ ඇතුළු ව ටෙලිනාට්‍ය සියයකට ආසන්න සංඛ්‍යාවක රඟපාලා තියෙනවා.

නළු වෘත්තියට වඩා වැඩි ඉඩක් ඔබ මේ වන විට අධ්‍යක්ෂණයට ලබාදී තිබෙන බවයි පෙනෙන්නේ?

වසර 17ක් පමණ රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනකොට අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් මා තුළ විශාල කැමැත්තක් ඇති වුණා. ඒ නිසා ම අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් හැදෑරීම් කළා සහ අධ්‍යයනයන් සිදු කළා.‍2011 වසරෙදී මම මගේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසුණේ විශාල පෙර සූදානමකින් පසුව යි. අධ්‍යක්ෂකවරයෙක් වීම තුළ මට ඉඩක් ලැබෙනවා නිර්මාණශීලී ව මගේ ප්‍රකාශනය සමාජයට ඉදිරිපත් කිරීමට. රංගන ශිල්පියෙක් විදිහට අපි කරන්නේ තවත් කෙනෙකුගේ ප්‍රකාශනයක් සමාජගත කිරීම සඳහා දායක වීමක්. මගේ ම ප්‍රකාශනයක් සමාජගත කරන්නයි මම අධ්‍යක්ෂණ භූමිකාවට පිවිසෙන්නේ. අධ්‍යක්ෂණයට වැඩි ඉඩක් යොමු වෙනකොට රංගනය වෙනුවෙන් මුල්කාලයේ මා තුළ තිබුණු ප්‍රමුඛතාව තරමක් අඩු වෙලා කියලා මමත් හිතනවා. නමුත් අදටත් මට චරිතයකට ආරාධනා ලැබුණම මට විවේකය තියෙනවා නම් සූදානම් වෙලා රඟපානවා.

අනෙක් කාරණාව නම් දැන් බොහෝ විට බිහි වන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න කලා නිර්මාණ නෙවෙයි. බඩගෝස්තර වාදි කලාවක් තමයි දකින්න ලැබෙන්නෙ. ඒ තුළින් මිනිස්සුන්ගේ රසවින්දනය මොට වෙනවා පමණක් නොවෙයි රංගන ශිල්පීන්ට පවා තමන්ගේ ඉලක්ක දිනාගැනීම අපහසු වෙනවා.ඔවුන්ගේ රංගනයත් මොට වෙනවා අවුරුදු තුන හතර එක ම චරිතයට කොටු වෙලා ඉන්නකොට. කොහොමටත් මම කැමති නෑ ප්‍රමිතියක් නැති නාට්‍යවල රඟපාන්න. මම නිර්මාණයකට දායක වෙද්දි බොහෝ දේ ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා ම මම රංගනයෙන් තරමක් දුරට ඈත් වෙලා වෙන්න පුළුවන්. නමුත් රංගනයට සමුදීලා නෑ. ළඟදි සිනමා නිර්මාණ දෙකකටත් ටෙලිනාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායක වුණා.

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ දැකිය හැකි කඩාවැටීම සම්බන්ධයෙන් දේශීය කලාකරුවන්ට කළ හැක්කේ කුමක්ද?

කර්මාන්තය වළපල්ලට යන්නේ මේක ව්‍යාපාරයක් විතරක් ම කරගත්ත පිරිසක් නිසා. නමුත් ටෙලිනාට්‍ය කර්මාන්තය ගැන කැක්කුමක්, උනන්දුවක් තියෙන පිරිසක් තාමත් ඉතුරුවෙලා ඉන්නවා. කර්මාන්තය ගොඩගැනීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නේ ඒ පිරිස. මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වර්තමාන උපලේකම්වරයා විදිහට වැඩ කටයුතු කරනවා. ලංකාවේ ප්‍රමුඛතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, තිරරචකයන්ගෙන් ඇතුළු පිරිසකගෙන් සැදුම්ලත් ඒ සංසදය හරහා හැකියාව ලැබුණා, ඉන්දියානු ටෙලිනාට්‍ය විකාශනයේදී බදු මුදලක් පනවා, ඒ එකතු වන බදු මුදල්වලින් රන්මිණි තැන්න සිනමා ගම්මානය නිර්මාණය කරන්න.

මේ වන විට ඉන්දියානු සහ වෙනත් විදෙස් හඬකැවූ ටෙලිනාට්‍ය සඳහා පැය බාගයකට ලක්ෂ එකහාමාරක බදු මුදලක් අයකරගැනීමට පනතක් හරහා කටයුතු සූදානම් කළා. ඒ තුළින් ඉන්දියානු සහ විදෙස් නාට්‍ය ගෙනැවිත් මෙරට විකාශය කිරීම අඩු වනවා මෙන් ම ඒ විකාශන කාලය දේශීය ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් වෙන් වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශය හා පැවති සාකච්ඡාවකදී අපි ඉල්ලා සිටියෙ එකතු වන බදු මුදල්වලින් හොඳ ටෙලිනාට්‍ය කර්මාන්තයක් සඳහා පහසුකම් සපයන්න කියලයි.

තෝරාගත් පිටපත්, තෝරාගත් අධ්‍යක්ෂකවරුන් යොදාගනිමින් අවම වශයෙන් වසරකට ගුණාත්මක ටෙලිනාට්‍ය 6ක් වත් ඒ හරහා නිෂ්පාදනය කිරීමට අපි යෝජනා ඉදිරිපත් කළා. නාලිකාවලින් හරසුන් නිර්මාණ විකාශය කරන්නේ ඒ ප්‍රේක්ෂකයාගේ කැමැත්ත බව පෙන්වා දෙමින් වුවත් හොඳ නිර්මාණයක් ආදරෙන් වැළඳගන්න කැමති ප්‍රේක්ෂකයින් තවමත් ඉන්නවා.

පසුගිය දිනවල ‘තාත්තා’, ‘කූඹියෝ’, 'සහෝදරයා', 'වන් වේ', "මද්දහන', 'ඉලන්දාරි හැන්දෑව' වැනි නිර්මාණ අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ ඒ නිසයි. නමුත් හොඳ නිර්මාණයක් කරන්න හොඳ මිලක් වැය වෙනවා. විශාල පිරිවැයක් දරලා හොඳ නිර්මාණයක් කළාට පස්සෙ ඒ සඳහා ගෙවන මුදල සම්බන්ධයෙන් නැවත මතු වන්නේ ගැටලුවක්. මේ තමයි ලංකාවේ ජීවන වියදම වැඩි වන විට ගෙවන මුදල අඩුවන එක ම කර්මාන්තය.

1999 වසර දී පමණ ටෙලිනාට්‍ය කොටසකට දෙලක්ෂ විසිපන්දහසක් පමණ ගෙව්වා. අවුරුදු 20ක් ගත වෙලත් අද වන විට නාලිකාවකින් ගෙවන්නේ එක් ලක්ෂ පනස්දහසක්, එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වගේ මුදලක්. එතකොට නිර්මාණකරුවන්ට මතු වන ගැටලුව තමයි හොඳ නිර්මාණයක් කරලා කාටද දෙන්නෙ කියන එක. නිෂ්පාදකයා දරන වියදමට අවම ලාභයක් හෝ ලැබිය යුතුයි. නැත්නම් මේ කර්මාන්තයට පැවැත්මක් නැති වෙනවා.මේ සියලු ගැටලු සාකච්ඡා කරලා අපි මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. මේ ගැටලු නිරාකරණය කරගත්තා නම් යහපත් ටෙලිනාට්‍ය කලාවක් බිහි කරගැනීමේ ප්‍රයත්නය සාර්ථක කරගන්න පුළුවන්.

පිටරටින් ගෙන්වන ටෙලිනාට්‍යවලින් විශාල බදු මුදලක් එකතු වන නමුත් එයින් සැලකිය යුතු ප්‍රමාණයක් දේශීය ටෙලිනාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් යෙදවෙන බවක් දකින්න ලැබෙන්නේ නැහැ?

මුලින් ම එකතු කරගත් බදු මුදල්වලින් රන්මිණිතැන්න සිනමා ගම්මානය නිර්මාණය කළා. එහි හොඳ සහ නරක පැති වෙන වෙන ම කතා කරන්න පුළුවන් වුණත් ඒ සංකල්පය හේතුවෙන් අපට ටෙලි සිනමා ගම්මානයකට මුලපුරන්න ලැබීම වටිනවා. ඉන් පසුව තවත් මිලියන ගාණක බදු මුදල් එකතු වෙලා තියෙනවා. මීට වසර දෙකකට කලින් මේ ගැන කතා කරද්දි ඒ මුදල වෙන ම සංචිතයක් විදිහට තැන්පත් කරලා යහපත් ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් යොදවන්න අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා.

අවාසනාවට අපට පසුව ආරංචි වුණා ඒ සංචිත ගිණුම පොදු ගිණුමකට යොමු කරලා තියෙන බව. කෝටි ගාණක බදු මුදල් එකතු වෙලා තියෙනවා. නමුත් අපි කොයිතරම් යෝජනා කළත් රන්මිණිතැන්නෙන් පසු ව ඒ බදු මුදල්වලින් මේ රටේ ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් කිසිවක් සිදු වුණේ නෑ. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ විශාල කලකිරීමක්. මේ සියල්ලට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියක් නැති නිසයි මේ කලාව අයාලේ යන්නෙ. ඒ අරමුදල හරියාකාර ව කළමනාකරණය කරලා මෙරට ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් යෙදෙව්වා නම් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සැලකිය යුතු යමක් කරන්නට නිර්මාණකරුවන්ට මැදිහත් වෙන්න තිබුණා.

 

සංවාදය
කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න