හදිසි නීතියට එරෙහිව දැමූ පෙත්සම් 2ක් නිෂ්ප්‍රභයි | දිනමිණ

හදිසි නීතියට එරෙහිව දැමූ පෙත්සම් 2ක් නිෂ්ප්‍රභයි

නෙල්කා මැදගෙදර

පාස්කු ඉරු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව හදිසි නීතිය ප්‍රකාශ කිරීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (08) ඉල්ලා අස්කර ගන්නා ලදී.

හදිසි නීතිය මේ වනවිට ඉවත්කර ගෙන ඇති නිසා පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති බැවින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු ඉල්ලීමක් කෙළේය.

එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කෙළේය. බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී. නීතිපතිවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනුකර ඇති මෙම පෙත්සම මගින් දන්වාසිටියේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව 2019 අප්‍රේල් මස 22 දින හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවය. ඒ අනුව 2120/3 දරන ගැසට් නිවේදනය මගින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අතර අප්‍රේල් මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ‍සඳහන් කෙරිණි.

එම පනතේ සඳහන් වගන්ති මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12 (1), 12 (2), 13 (2), 13 (3), 14 (1), (a) (h) යන වගන්ති මගින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලාතිබුණි.

ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ නීතිඥ විරාන් කොරයා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න