පොරොන්දු! | දිනමිණ

පොරොන්දු!

ජනාධිපතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම අවසන් විය. අපේක්ෂකයෝ තිස්පස් දෙනෙක් තරගයට පිවිස සිටිති. දැන් ආරම්භ වී ඇත්තේ දේශපාලන පොරොන්දු ලබාදෙන කාලය යැයි කිව හැකිය. අපේ දේශපාලකයන් මෙන්ම ඡන්දදායකයන් ද දීර්ඝ කාලයක සිට පොරොන්දු දේශපාලනයට හුරු වී ඇතැ’යි කීම නිවැරැදිය. ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වන්නේ ‍වුව පොරොන්දු දේශපාලනයෙන් ඉවත්වීම දුෂ්කර ය. ඡන්දදායකයා ද පොරොන්දු කෙරෙහි බලා සිටී. ජනතාවගේ සිහින හා අපේක්ෂාවලට සමීපවන පොරොන්දු ඇති දේශපාලකයා කෙරෙහි වැඩි නැඹුරුවක් අපේ සමාජය තුළ පවතී. එම පොරොන්දු ඉටුකළ හැකි ආකාරය ගැන ජනතා අවධානය යොමු වන්නේ ඉතා අඩුවෙන් ය.

මේ මොහොතේ ජනී - ජනයා හමුවේ ඇති ඇත්ත ප්‍රශ්න මොනවා ද? ඒවා විසැඳිය හැකි උපායමාර්ග මොනවා ද? ඒ සඳහා කෙබඳු දැක්මක් සහිත නායකයකු පත් කළ යුතු ද? යන්න සොයා බැලීම අතිශය වැදගත් ය. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ආර්ථික ගැටලුව ‘දුප්පත්කම’ යැයි කියනු ලැබේ. ලෝක බැංකුව වැනි ආයතන ද එය පිළිගනී. සාමාන්‍ය පිළිගැනීමට අනුව රටේ මුළු ජනගහනයෙන් 60% ක් පමණම දුප්පත් වෙති. එයින් දරු පවුල් ලක්ෂ ගණනක් දුප්පත්කමෙන් දැඩි ලෙස පීඩා විඳිති. ඇතැම් පවුලක දෛනික ආදායම රුපියල් දහසට අඩුය. සාමාජිකයන් හතරකින් සමන්විත පවුලක මාසික වියදම රුපියල් පනස්දහසට වැඩි වන බව ගණනය වී තිබේ. මේ තත්ත්වය අනුව දිළිඳු පවුල්වල පීඩනය වටහාගත හැකි ය.

ඉහත තත්ත්වයට අනුව ග්‍රාමීය මෙන් ම නාගරික දිළිඳු ජනයා අධික ණය බරකින් පෙළෙයි. ගොවියා තම වගා කටයුතු සඳහා ණය වෙයි. කම්කරුවා ජීවත්වීම සඳහා ණය වෙයි. ග්‍රාමීය කාන්තාව අධික ණය බරකින් පීඩා විඳින බව සමීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. රාජ්‍ය බැංකුවලට පමණක් නොව පෞද්ගලික ක්ෂුද්‍ර ණය ආයතනවලට ද කාන්තාවෝ අධික ලෙස ණය වී සිටිති. මේ ණයවලින් වැඩි කොටස වැය වී ඇත්තේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලට බවද පෙනී ගොස් ඇත. ඉදිරියේ රාජ්‍ය නායකයා බවට පත්වන කාට වුව ණය උගුල ගැනත් දුප්පත්කම ගැනත් ගැඹුරින් සිතන්නට සිදුවනු ඇත. වත්මන් ආණ්ඩුව කාන්තා ණයවලින් කොටසක් ගෙවීමට කටයුතු කළ බවද සිහිපත් කළ යුතුය.

ණය ගෙවා දැමීමෙන් පමණක් දිළිඳුකම පිටුදැකිය හැකි නොවේ. රටේ ආදායම් ඉහළ යා යුතු අතර සියලු දෙනාම නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල්කාරයන් බවට පත්විය යුතුව තිබේ. දැනට පවතින ක්‍රමයට අනුව ආදායම් බෙදීයෑමේ විසමතාවක් පවතී. රටේ ජාතික ආදායමෙන් 80% ක් පමණ ප්‍රමාණය 20% ක් වූ ධනවතුන් හා බලවතුන් විසින් ගිලගනු ලැබේ. දිළිඳුකමට එක හේතුවක් ලෙස ද එය පවතී. එලෙස ම දිළිඳුකම පිටුදැකීම සඳහා සියල්ලන්ම නිෂ්පාදනයේ හවුල්කරුවන් බවට පත්විය යුතුය. දැනට එවැන්නක් සිදුවන්නේ නැත. වටිනා තරුණ ශ්‍රමය අපතේ යයි. හැකියාවට රැකියාවක් නැතිකම එක අතෙකින් පවතින අතර වෙළෙඳ පොළ ඉල්ලා සිටින පුහුණු ශ්‍රමය ද අපට නැත. නිෂ්පාදන ක්‍රියාවලියේ ගැටලු විසඳා ගැනීම සඳහා මේවා විධිමත් ආකාරයකට හැසිරවිය යුතුය.

1950 ගණන්වල සිට ම ශ්‍රී ලංකාවේ දිළිඳුකම ගැන සාකච්ඡා වී ඇත. විවිධ වැඩසටහන් ඔස්සේ දිළිඳුකම පිටුදැකීමට ද උත්සාහ දරා ඇත. මුල්කාලීන වැඩසටහන් සහන හා ආධාර ලබාදීමට සීමා වූ බවක් පෙනෙයි. සහන, පිං - පඩි, ආධාර ආදියෙන් දිළිදුකම පිටුදැකිය නොහැකි බව අපේ පාලකයන් වටහා ගත්තේ 1980 පමණ වන විට යැයි සිතන්නට පුළුවන. 1989 දී ජනසවිය හඳුන්වා දෙන අතර එය 1990 ගණන්වලදී ක්‍රියාත්මක විය. ජනසවිය යනු දිළිඳුකම දෙස අලුත් දෘෂ්ටියකින් බලන වැඩසටහනකි. එය දිළින්ඳා ඉතිරි කිරීමටත්, ස්වයං නිෂ්පාදනයටත් යොමු කරන ක්‍රියාවලියක් සේ හැඳින්වීම වඩා නිවැරැදි ය. ජනසවිය නිර්මාතෘ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු ජනසවිය වැඩසටහනද අභාවයට ගියේ ය. එම වැඩසටහනෙහි පැවැති ඉලක්ක හා සැලැසුම් අදටත් වැදගත් ය. දේශපාලකයන් බලයෙන් ගිලිහී ගිය පසුව හෝ ඔවුන්ගේ අභාවයෙන් පසුව හෝ ජාතික සංවර්ධන වැඩසටහන් නැවතීම රටේ ප්‍රධාන දුර්වලතාවකි.

අපගේ ජාතික ආදායම ශීඝ්‍රයෙන් ඉහළ නංවන උපාය මාර්ග රටේ නායකයන්ට තිබිය යුතුය. නිදහස ලබාගන්නා විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවැතියේ ශක්තිමත් තැනකය. රටේ විදේශ විනිමය සංචිත පවා ඉහළ අගයක් ගෙන තිබිණි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය එදා ඉතා දියුණු තැනෙක පැවතීම ය. අපනයනය කෙතරම් ශක්තිමත් ව පැවැතියේ ද යත්; තේ -පොල් - රබර් ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඳින්විණි. මෙයින් සනාථවන සාධකය වන්නේ අපනයන ආර්ථිකය අපට දියුණුවීමට ඇති හොඳ ම මාර්ගය බව ය. ඈත අතීතයේ පටන් ම ශ්‍රී ලංකාව ශක්තිමත් අපනයන ආර්ථිකයක් පවත්වාගෙන ගොස් ඇති බව ඉතිහාසයේ සාක්ෂිවලින් පැහැදිලි වෙයි. අපනයන ආර්ථිකය නැංවීම වත්මන් ආණ්ඩුවේ ද ප්‍රධාන ආර්ථික ඉලක්කයක් ලෙස පවතී.

ආර්ථික වශයෙන් දියුණු රාජ්‍යයන් දෙස බලන විට පෙනීයන වැදගත් සාධක දෙකක් පෙන්වා දිය යුතුය. එක සාධකයක් වන්නේ එම රටවල ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය හා සමාජ පන්තිය පාදක කරගෙන ගැටුම් ඇති නොවන බව යි. සමාජය බෙදී වෙන්වන තරමට එහි පරිහානියත් වේගවත් වනු ඇත. අනෙක් සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය එම රටවල ඉතා හොඳින් තහවුරු වී ඇති බවය. අධිකරණයට බලපෑම් කිරීමත්, ජනමාධ්‍ය මර්දනය කිරීමත් එළිපිටම පාහේ සිදු වූ කාල - සීමාවන් තිබිණි. ඒවා ජනතාවට හොඳින් මතක ඇතැ’යි කියන්නට පුළුවන. එහෙත් අද තත්ත්වය ගැන සතුටු විය හැකිය. අධිකරණය නිදහසේ ක්‍රියා කරයි. ජනමාධ්‍ය නිදහස ඕනෑවටත් වඩා වැඩි බවක් ද පෙනෙයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳ පූර්ණ නිරීක්ෂණයක් කළ හැකි අවස්ථාව ජනතාවට තිබේ. එලෙසම සාමාන්‍ය පුද්ගලයකුට වුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ හැකියාවද ලබා දී තිබිණි. ඉදිරියේදී දකින්නට ලැබෙන්නේ ඡන්දය පිළිබඳ මතවාදී ගැටුම් යැයි කිව හැකි ය. එම මත ගැටුම් ශාරීරික ගැටුම් හෝ අවි ගැටුම් හෝ දක්වා ව්‍යාප්තවීම නවත්වාගත යුතු ය.

 

නව අදහස දක්වන්න