සජිත්ට ප්‍රබල සහයෝගයක් ඉදිරියේදී | දිනමිණ

සජිත්ට ප්‍රබල සහයෝගයක් ඉදිරියේදී

කමනි අල්විස්

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල සහායක් ඉදිරියේදී ලැබෙන බවත් ඒ පිළිබඳව තොරතුරු යථාකාලයේදී දැනගන්නට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මාධ්‍යවේදියකුගේ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වොක්ෂෝල්වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ කාර්යාලයේ ඊයේ (8) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින්ය. තවදුරටත් එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද අදහස් පළකළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවට තීන්දුවක් අධිකරණය ලබාදී නෑ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ ලිපිලේඛන නොතිබුන බැවින් නඩුව පැත්තකින් තැබීමයි සිදුවුණේ.

දෙමළ ජාතික සන්ධානයේ සහායක් අපේක්ෂක ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බවට විශ්වාසයි. තොන්ඩමන් මහතාගේ සහාය ලැබීම පිළිබඳවත් සාකච්ඡා පැවැත්වෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ නිහතමානිත්වය සරල බව අගය කළ යුතුයි. එතුමාගේ භාර්යාවටත් අපහාස කරනවා. කීමට දේ නැතිනිසා මෙවැනි අවලාද නැගීමට පොහොට්ටුව කටයුතු කිරීම අනුමත කළ නොහැකියි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සුදුවෑන් සංකල්පය, රාජ්‍ය සම්පත් කොල්ලකෑමේ චෝදනා එතුමාට නෑ. කිසිම නඩුවකට පැටලී නෑ. මැතිවරණ වේදිකාවේ සටහනක් දෙස බලාගෙන කථා කරන්නේ නෑ.

මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න හමුවේ නොපැකිලව පිළිතුරු සපයනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා වෙනුවට පිළිතුරු දෙන්නේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහතායි. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහසට ගරු කිරීම අපේ අපේක්ෂකයා සතු ගුණාංගයි.

ඡායාරූපය - රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න