ඕනෑම පවුලක දරුවකුට නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම තනතුරකට යාමේ දොරටුව විවෘත කළේ එජාපයයි | දිනමිණ

ඕනෑම පවුලක දරුවකුට නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම තනතුරකට යාමේ දොරටුව විවෘත කළේ එජාපයයි

මේ රටේ ඕනෑම පවුලක දරුවකුට නිදහස් අධ්‍යාපනයෙන් හා ජනතා විශ්වාසයෙන් රටේ ඉහළම ධූරය දක්වා යාමේ හැකියාව ලැබී තිබෙන බව හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.

ඒ සඳහා දොරටුව විවෘත කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා නම් කළා. ඡන්දය කුමක් වුවත් අපේක්ෂකයා කවුද, මන්ත්‍රීවරයා විය යුත්තේ කවුද කියලා ඒ අය නම් කරනවා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරගත්ත ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ද කියලා හිතලා බලන්න ඕනේ. එතුමාගේ අපේක්ෂකත්වය අධිකරණ ක්‍රියාදාමයක් නිසා ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. අපේක්ෂකත්වය සැකයට, අවිශ්වාසයට භාජනය වු අවස්ථාවේ ඒ වෙනුවට ඇප තැම්පත් කළේ චමල් රාජපක්ෂ මහතායි. මෙය පොදු ජන පෙරමුණේ සාමාජිකයින්ගේ තීන්දුවක් ද, මෙහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙනවාද? රටේ ප්‍රධාන තැනට යාමට වුවත් සුදුසුකම් තිබෙන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහතා ආදීන් මේ පක්ෂය තුළ ඉන්නවා. ඒ අයට දොරටු විවෘත කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ගෙයක් ඇතුළේ ගන්නා වු සීමා සහිත වු තීන්දු තීරණ තමයි තිබෙන්නේ.

ප්‍රසාදය ලබපු ඉහළ පවුල්වල, වලව්වල ඉන්න උදවිය තමයි ඉන්නේ. ඒ අයට එහෙයි කියන මානසිකත්වයෙන් සම්පුර්ණයෙන් මිදෙන්න අපේ සමහර කොටස්වලට බැරි වෙලා තිබෙනවා.

ධනපතින්ගේ පක්ෂයක් ලෙස අවලාද නඟපු එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ප්‍රේමදාස මහත්තයා වගේ සාමාන්‍ය පන්තියේ දරුවෙක් මුල් පුටුවට ගියේ. මෙවැනි පසුබිමකින් අයෙක් මුල් පුටුවට එනවා කියලා එදා යුගයේ හිතන්න බැහැ. ඒ නිසා ඒක විප්ලවයක්. අද මේ රටේ ඕනෑම පවුලක දරුවෙක්ට පොල් අතු පැලකින් හරි මැටි ගෙයකින් හරි නිදහස් අධ්‍යාපනය ප්‍රයෝජනයට ගෙන ඉහළට ගියොත් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වුණොත් රටේ ඉහළට යන්න පුළුවන්. ඒ දොරටුව විවෘත කළේ එක්සත් ජාතික පක්ෂයයි.

නව අදහස දක්වන්න