වැඩකරන නායකයෝ | දිනමිණ

වැඩකරන නායකයෝ

පොදුජනයා වෙනුවෙන් වැඩකරන හා බොහෝ කැපවීම් සිදුකරන නායකයන් අවශ්‍ය යුගයක අප ජීවත්වන්නේ යැයි කීම ඉතා නිවැරැදි ය. මැතිවරණ සමයක දී පමණක් ආයුබෝවන් කියමින් ජනී ජනයාගේ දෙපා මුලට එන දේශපාලකයන් කෙරෙහි සමාජය තුළ ඇත්තේ බලවත් කෝපයකි. හැම දේශපාලකයාම සාර්ථක නායකයකු වන්නේ නැත. දේශපාලන ව්‍යාපාරයක් තිබූ පමණින් ද, පවුල් පසුබිමක් හා උගත්කමක් තිබූ පමණින් ද සාර්ථක නායකයන් බිහිවන්නේ නැත. නායකයන් එකවර පහළ වන්නේ ද නැත. නායකයකු බිහිවීම කෙරෙහි බලපාන වැදගත් සාධක ගණනාවක් තිබේ. පොදුජනයා වෙනුවෙන් වැඩකිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ කළු ජනතාව වෙනුවෙන් වසර විසිපහක් හිරගෙදරක දුක් වින්දේය. ඔහු හිරගෙදර සිටින අතර ද කළු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණේ ය. සාමය යනු දුර ගමනක් බව ද මැන්ඩෙලා කියා සිටියේ ය. දකුණු අප්‍රිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මැන්ඩෙලා ඉටුකර ඇති කැපවීම අතිවිශිෂ්ට බව දේශපාලන විචාරකයන්ගේ මතය වෙයි. දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලනයට සමීප වී තනතුරු හා වරදාන ලබාගැනීමේ හැකියාව නෙල්සන් මැන්ඩෙලාට හොඳ හැටි තිබිණි. එහෙත් ඔහු තම පන්තිය අමතක කළේ නැත. ඔහු දකුණු අප්‍රිකාවේ දුගී දුප්පත් හා පීඩිත ජනතාව වෙනුවෙන් තම ජීවිතය ම කැප කළ නායකයකු ලෙස සැලැකිය හැකි ය.

බණ්ඩාරනායක මහතාගේ ප්‍රසිද්ධ කියමන වන්නේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්න ය. ඉන් හැ‍ඟෙන වැදගත් අර්ථය වන්නේ දේශපාලකයකු හැබෑ නම්; ඔහු පොදු ජනයා වෙනුවෙන් සේවය කිරීමට කොන්දේසි විරහිත ව බැඳී සිටින බව ය. එක්තරා කාලයක අපේ මහජන නියෝජිතයන් සිය ලිපිවලට අස්සන් කළේ මහජන සේවක යන විශේෂණයක් යොදා ගනිමින් ය. මහජන නියෝජිතයා මහජන සේවකයකු ලෙස සිතමින් කටයුතු කරන්නේ නම්; ජනතාව පෙළපාලි යන්නේ නැත. විරෝධතා පවත්වන්නේ නැත. එහෙත් එවැන්නක් අපේ දේශපාලනය තුළ දකින්නට නැත.

දේශපාලකයන්ගේ සුඛෝපභෝගී ජීවිත දෙස බලනවිට මහජනයා කෝපයට පත්වීම පුදුමයක් නො වේ. වෙඩි නොවදින සුඛෝපභෝගී වාහන, ආරක්ෂාව සඳහා සිය ගණන් භටයන් හා තවත් දේවල් දෙස බලනවිට සාමාන්‍ය ජනතාව දේශපාලනය කෙරෙහි කලකිරීමක් ඇති කර ගනිති. සෑම මැතිවරණයකදී ම ඡන්දය පාවිච්චි නොකරන පිරිසක් සිටිති. සෑම මැතිවරණයකදී ම ඡන්දය කටුගා දමන පිරිසක් ද සිටිති. මේ අයගේ ප්‍රමාණය කාලයත් සමඟ වර්ධනය වෙනු මිස; අඩුවන්නේ නැත. මෙවර ජනාධිපතිවරණයේ දී ද ඡන්දය ප්‍රතික්ෂේප කරන කොටසක් සිටින්නට පුළුවන. මහජනයාගේ දේශපාලන උනන්දුව හීනවන්නේ දේශපාලකයන්ගේ වරදින් යැයි සිතන්නට ද පුළුවන.

බලය ලබාගන්නා තෙක් ජනතාව වෙනුවෙන් හඬනඟන ඇතැම් නායකයෝ බලයට පත් වූ පසු ජනතාවට එරෙහි වෙති. සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු නායකයා එවැන්නෙකි. ඔහු රටේ නිදහස් අරගලයට සහභාගී වූ කාලයේ ජනහිතකාමී නායකයකු විය. එහෙත් දීර්ඝ කාලයක් රාජ්‍ය නායකත්වයේ සිටින විට ඔහු ඒකාධිපතියකු බවට පත්විය. අවසන් ලෙස ඔහුට එරෙහිව ජනතා කැරැල්ලක් ද ක්‍රියාත්මක විය. උගන්ඩාවේ හිටපු නායකයකු වූ ඉඩි අමීන් කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලාගත් තැනැත්තෙකි. ඉඩි අමීන් යනු තමන්ගේ රාජ්‍ය බලය පවත්වාගැනීම සඳහා ඉතා දරුණු හා අමානුෂික ක්‍රියාවන්හි නිරත වූ පාලකයෙකි. ඉරාකයේ සදාම් හුසේන්ට මෙන් ම ලිබියාවේ ගඩාෆිට ද එබඳු චෝදනා තිබේ. අ‍ෙප් ඇතැම් රාජ්‍ය පාලකයන්ගේ චර්යාවන් විග්‍රහ කිරීමේ දී ද ඉහත පුද්ගලයන්ගේ නම් යොදාගන්නා අවස්ථා තිබේ. ‍ෙම්වායින් පෙනී යන්නේ පාලකයන්ගේ හැඩය යැයි කිව හැකි ය.

උදෑසන අවදි වී තම පළමු රාජකාරිය ලෙස ජනතාව හමුවන හා ජනතාවගේ ගැටලු විසඳන නායකයෝ ද ශ්‍රී ලංකාවේ සිටියෝ ය. එබඳු නායකයන් පොඩි මිනිසුන් අතර මහත් ජනප්‍රසාදයකට ලක් වූ අය හැටියට සැලැකිය හැකි ය. රටේ නිලධාරි තන්ත්‍රය ද, දේශපාලන පැලැන්තිය ද පොඩි මිනිහාට සවන් දෙන්නේ ඉතා අඩුවෙන් ය. බොහෝ නිලධාරිහු දුගී දුප්පත් ජනතාව පළවා හරිති. දේශපාලකයෝ ධනවතුන් තම සමීපයට ගත්ත ද දුප්පතුන්ට සමීපවන්නේ නැත. රටේ බහුතරය අඩු ආදායම්ලාභීන් වන අතර ඔවුන්ගේ ඡන්දය නැතිව කිසිවකුට බලයට පත්වීමේ හැකියාවක් නැත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ රටේ පුංචි මිනිසුන්ට කතාකරන්නට ජනාධිපති අපේක්ෂකයන්ට ද සිදුවනු ඇත. මේ දිනවල එම කතාකිරීම සිදුවෙයි.

අද දවසේ අසන්නට ලැබෙන දේශපාලන කතාවලින් පෙනී යන්නේ සෑම අපේක්ෂකයකු ම දුප්පතාගේ හිතවතා යන චරිතයට ජීවය දෙන බව ය. රටේ ආර්ථිකය ගොඩනැඟීම, දිළිඳු ජනතාවට සහන ලබාදීම පමණක් නො ව; ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන ද පොරොන්දු මල්ලක් ජනතාව ඉදිරියෙහි තබා ඇත. පොරොන්දු ඉටුකරන උපායමාර්ග ගැන සඳහන් වන්නේ කලාතුරෙකින් ය. අපේ සමාජය දීර්ඝ කාලයක් තිස්සේ ‍පොරොන්දු දේශපාලනයට මුළා වී ඇතැ’යි සමහරු පෙන්වා දෙති. එය සත්‍යයක් බව පෙනී යන්නේ නිදහසින් පසුව ගෙවී ගිය වසර හැත්තෑ එක දෙස ආපසු හැරී බලනවිට ය. නිදහසින් පසු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගොස් නැත.

දිගින් දිගට ම ජනතාව මුළා කළ හැකි යැයි දේශපාලකයන් සිතන්නේ නම්; එය නිවැරැදි කල්පනාවක් නො වේ. අද වනවිට ජනතාව දේශපාලන වශයෙන් දැනුම්වත් ය. ඔවුන් පහසුවෙන් මුළා කළ හැකි නො වේ. අපට හැ‍ඟෙන පරිදි බහුතර ජනතාවගේ අවධානය යොමු වී ඇත්තේ වැඩකරන නායකයකු වෙත ය. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් වැඩකරන නායකයකු වෙත ය.

 

නව අදහස දක්වන්න