වෙඩි උණ්ඩයට බිය නොවූ සිංහයෝ සුදු පන්දුවට යට වෙයිද? | දිනමිණ

වෙඩි උණ්ඩයට බිය නොවූ සිංහයෝ සුදු පන්දුවට යට වෙයිද?

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිඹිඹු කෙරෙන සිංහ කොඩිය පාකිස්තානයේ සතර අත ලෙලදෙයි. ඇතැම් පාකිස්තාන වැසියන් කරච්චි හා ලාහෝර් ක්‍රීඩාංගණවලට පැමිණියේ එක් අතක පාකිස්තාන ජාතික කොඩිය හා අනෙක් අතේ සිංහ කොඩිය සහිතවය. ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ හා දසුන් ශානක වැන්නවුන් දැවැන්ත හයේ පහරවල් ගසද්දී එක් අතක වූ සිංහ කොඩිය ඉහළට එසැවෙන අතර මොහොමඩ් සින්වාරී හා මොහොමඩ් අමීර් වැනි පන්දු යවන්නන් කඩුලු දවා ගනිද්දී අනෙක් අතේ ඇති පාකිස්තාන කොඩිය ඉහළට එසැවෙනු අයුරු මනස්කාන්ත දසුනකි.

ක්‍රීඩාව හරහා මෙවැනි සංහිදියාවක් ඇති වුයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිවෙකුත් පාකිස්තානය දෙස නොබලන වේලාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානයට ගොස් අභීත ලෙස සටන් බිමට පිවිසි නිසාවෙනි. පාකිස්තානයේදී ප්‍රහාර එල්ල වනු ඇතැයි බොහෝ මත පල වෙද්දී රොකට් ලෝන්චර්වලට, බෝම්බයට, වෙඩි උණ්ඩයට බිය නොවී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තමන් වෙත එන සුදු පන්දුවට බිය වෙයිද? යන පැනයට කදිම පිළිතුරක් ලැබී හමාරය.

ඒ අභිමානයත් සමග වසර 10කට පසුව ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් අද ශ්‍රී ලංකාවට පය තබන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කටුනායකින් කොළඹට එන්නේ වීරයන් පිරිසක් මෙනි. එපමණක් නොව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාකිස්තාන ක්‍රිකට් සම්ප්‍රාප්තියත් සමග පාකිස්තානයේ අලුත් යුගයක් නිර්මාණය කිරීම ද ඔවුන් ලැබූ ඉතිහාසගත වන ගෞරවයක් බවට පත්ව ඇත.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයට පැමිණීම සම්බන්ධව විශාල ප්‍රීතියකින් පසුවෙයි. ශ්‍රී ලංකා පිල පාකිස්තානයට පැමිණීමෙන් පාකිස්තානයට නව යුගයක් උදාවූ බව එරට අගමැතිවරයාගේ අදහසවී තිබේ. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන කිසිදු රටක් පාකිස්තානය දෙස නොබලද්දී අභීත තීන්දුවක් ගෙන තණතිල්ලේ සිටගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හා එයට ශක්තිය සැපයූ ශ්‍රී ලංකා රජයට, ක්‍රීඩා ඇමැතිතුමාට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පාකිස්තානයේ ගෞරවය හිමිවන බව ඉම්රාන් ඛාන් අගමැතිවරයා ඉතා ප්‍රීතියෙන් යුතුව සඳහන්කර සිටී. පාකිස්තාන ජනාධිපතිතුමා පළමු තරගය නැරඹීමට පැමිණ ක්‍රීඩකයන් දිරි ගැන්වීම හා අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ප්‍රකාශය යන සිදුවීම් දෙකම මේ ක්‍රිකට් සංචාරයෙන් අනතුරුව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දැවැන්ත මිතුදමක් ගොඩ නැගීමේ ප්‍රබල මං සලකුණු වනු ඇත. එය ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත්වීමක් වන අතර ක්‍රීඩාවට කෙතරම් දේ කළ හැකිද යන්න කියා පෑමට කදිම සාධකයක්ද වේ.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අධිනීතීඥ එන්. එම්. සහීඩ් මහතා පැවැසූවේ මේ ක්‍රිකට් තරග සංචාරයත් සමග අගමැති ඉම්රාන් ඛාන් මහතා තමන් වෙනමම කැඳවා පැයක් පමණ සාකච්ඡා කළ බවය. අගමැතිවරයා සමග සාකච්ඡාවට පැය කාලක් නිල වශයෙන් වෙන්කර තිබුණද, පසුව එය පැය එකහමාරක දීර්ඝ කතා බහක්වූ බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අධිනීතීඥ එන්. එම්. සහීඩ් මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

“ක්‍රිකට් සංචාරයේ සාර්තකත්වය හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රජයට අගමැතිතුමා පෞද්ගලිකව ස්තූතිය පුද කළා. ඇත්තටම අපේ ක්‍රීඩකයන් හා රජය ගත්තේ ඉතාම වැදගත් තීන්දුවක්. ඒ ගැන වචනයෙන් විස්තර කළ නොහැකි ප්‍රසංශාවක් පුද කරන බව පැවැසූවා. මේ සංචාරයත්, මේ කැපවීමත් පාකිස්තාන රජයේ හා පාකිස්තාන වැසියන්ගේ හදවත් තුළ ලියැවී හමාරයි” සහීඩ් මහතා පැවැසීය.

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අපෙන් ඇහුව්වා මොනවගේ සිකුරිටි ඕනද කියලා. ජනාධිපතිවරයෙකුට දෙන ආරක්ෂාවකත් දෙන බව පැවැසූවා. ඒ සියල්ල ඒ ආකාරයෙන්ම සිදු වුණා. නමුත් සමහරු කියනවා ඒක වැඩියි කියලා. මේ අත්දැකීමත් එක්ක ඔවුන් ඉදිරි සංචාරවලදී ආරක්ෂාව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පාකිස්තාන ජනතාව ක්‍රිකට් වලට උනන්දුයි. ඒක ඒ අයගේ දෙවැනි ආගම වගෙයි. ශ්‍රී ලංකාව පැමිණීම පාකිස්තානයට කළ ලොකු උපහාරයක්. මා පාකිස්තානයේ කොහේ ගියත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරනවා. දැන් මටත් උපරිම සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිසා මට දෙවියෙක් විදිහට පාකිස්තානුවන් සලකනවා. පාකිස්තාන රජයත් සමස්ත ශ්‍රී ලංකාව දෙසම බලන්නේ ඒ විදිහටයි” අධිනීතීඥ එන්. එම්. සහීඩ් මහතා පැවැසීය.

වසර 2009දී පුද්ගලයන් අට දෙනකු මියගොස් ක්‍රීඩකයන් කිහිප දෙනකු වෙඩි ප්‍රහාරවලින් තුවාල සිදුවූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයට තවමත් බියවී පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඇතැම් ක්‍රීඩකයන්ගේ අවස්ථා මේ සංචාරයෙන් පසු අවධානමකට ලක්ව තිබීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවැසීම ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ශ්‍රී ලංකාව ලැබූ විශාල ඉදිරි පියවරකි. පාකිස්තානයේ ආරක්ෂක ක්‍රමවේද හා ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂඥ දැනුමැති අය දිගින් දිගටම නිරවුල්ව පැහැදිලි කිරීම් ශ්‍රී ලංකා කණ්ඩායමට සංචාරයට පෙරදී සිදු කළේය. එහෙත් මාලිංග, දිමුත් ඇතුළු ක්‍රීඩකයන් 10ක් මේ සංචාරයට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් හා තේරීම් කමිටුවගත් තීරණ ක්‍රිකට් ලෝකයේ විශාල අවධානයකට ලක්විය. කවුරුන් සිටියත්, නැතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංචාර ඉදිරියට යෑම හා එයින් රටකට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න මෙයින් ලැබුණු වටිනාම පණිවිඩයකි. කැලයේ පිපි මල් කැලයේ පරවෙන්නට නොදී ගෞරවනීය තත්ත්වයකට පත් කිරීමද මේ සංචාරයේ තවත් ප්‍රබල අරුතකි.

මුල්පෙළේ ක්‍රීඩකයන් සංචාරයෙන් ඉවත්වීමට දැඩි තීන්දුවක් ගැනීම හේතුවෙන් නවක ක්‍රීඩකයන් බොහොමයකට තම අනාගත ක්‍රිකට් දිවියට සරු අස්වැන්නක් නෙලා ගැනීමේ අවස්ථා උදාවිය. කුරුණෑගල මලියදේව විදුහලෙන් බිහිවූ 24 හැවිරිදි මිනෝද් භානුක හා රාජකීය විදුහලෙන් බිහිවී රාජකීය දස්කම් දැක්වු 27 හැවිරිදි භානුක රාජපක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි බව ඔප්පු කරමින් ජාතික ක්‍රිකට් පිලේ වරම් දිනා ගැනීම කැපී පෙණුනි.

සංචාරයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා කළ අනාවරණයක් මෙහිදී සිහිපත් කළ යුතුය. “මාලිංග, දිමුත් වගේ දක්ෂ ක්‍රීඩකයන් නෑ කියා මැච් එකක් ගහන්නේ නැතිව අපට ඉන්න බෑ. අපට හොඳ ආදේශක ක්‍රීඩකයන් ඉන්නවා. හොඳ දක්ෂ වේග පන්දු යවන්නන්, ආරම්භක පිතිකරුවන් අංක එක ස්ථානයට පිතිකරුවන් මෙන්ම සෑම ඉරියව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනකු අපට සිටිනවා. ඒ අයට මේ පාකිස්තාන ක්‍රිකට් සංචාරය තම තමන්ගේ දක්ෂතා දැක්වීමට හොඳ අවස්ථාවක්” ශ්‍රී ලංකා පුහුණුකරුගේ ඒ අදහස අද යථාර්තයක්වී ඇත.

 

 

නව අදහස දක්වන්න