පාකිස්තානයට මවු රටේදී 3-0ක ලැජ්ජා සහගත පරාජයක් | දිනමිණ

පාකිස්තානයට මවු රටේදී 3-0ක ලැජ්ජා සහගත පරාජයක්

ප්‍රින්ස් ගුණසේකර

ලෝක කුසලානය දිනූ ඓතිහාසික ලාහෝර් පිටියේදී ශ්‍රී ලංකාවේ නවක තරු දැවැන්ත තරගාවලි ජයක් ලබති

අවසන් පන්දුවේදී පාකිස්තානයට ජයග්‍රහණය පිණිස ලකුණු 15ක් ලබා ගැනීමේ අසීරු ඉලක්කයක් එල්ලවී තිබියදී එය ලකුණකට සීමා කළ ශ්‍රී ලංකාව අවසන් තෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 13ක ජයක් හිමිකර ගනියි. ඒ අනුව තරග තුනකින් සමන්විත ලාහෝර් විස්සයි 20 තරගාවලියේ ජය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

වසර 1996දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලෝක කුසලානය දිනාගත් ඓතිහාසික ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම උණුසුම් තරගයේදී අයි. සී. සී විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත දර්ශකයේ අංක එකේ පසුවන පාකිස්තානය පරදා පළමු වරට තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිලට ‘ජුබිලී ඉන්ෂුවරන්ස්’ කුසලානය හිමි විය.

ශ්‍රී ලංකාව විස්සයි 20 තරග ඉතිහාසයේ 3-0ක පූර්ණ තරගාවලි ජයක් (white wash) වාර්තා කළ පළමු අවස්ථාව මෙයවන අතර පාකිස්තානය තම මවු රටේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ එවැනි ලැජ්ජා සහගත ඉරණමකට ලක්වූ පළමු අවස්ථාව ලෙස ද සටහන් විය. පාකිස්තානය මෙයට පෙර 3-0ක පූර්ණ තරගාවලි පරාජයකට (white wash) ලක්ව තිබුණේ 2016දී එංගලන්තයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පමණි.

දෙරට අතර ඉතිහාසයේ විස්සයි 20 තරගාවලි 6ක් පවත්වා ඇතත් ඒ සියල්ලම පාකිස්තානය ජයගෙන තිබියදී නවක මුහුණුවලින් සමන්විත ශ්‍රී ලංකා පිල තරග තුනකින් සමන්විත 7වැනි විස්සයි 20 තරගාවලිය ජය ගැනීම විශේෂත්වයකි. ේ තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 7කට ලකුණු 147ක් ලබා ඕවරයකට දළ ලකුණු වේගය 7. 35ක් රදවා ගත්තේය. තරගයක දක්නට ලැබෙන විරල සිදුවීමක් සේ ශ්‍රී ලංකා කඩුලු 7ම ඕවරයක අවසන් පන්දුවේදී දැවී යෑම කැපී පෙණෙන සිදුවීමකි. ධනුෂ්ක (ඕවර 2.6), සධීර (ඕවර 3.6), භානුක(ඕවර 4.6), ඇන්ජලෝ (ඕවර 7.6), දසුන් (ඕවර 17.6), ළහිරු (ඕවර 18.6) හා වනිදු (ඕවර 19.6) දී රටාවක් අනුව දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානුවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ වමත් පිතිකරු හැරීස් සොහේල්ගේ කඩුල්ල ස්ටම්ප් කිරීමකට හසුකරගෙන දවාලූ වනිඳු හසරංග තරගය ශ්‍රී ලංකාව පැත්තට යොමුකර ගත්තේය. එවිට පාකිස්තාන ඉනිම කඩුලු තුනකට ලකුණු 94ක් වූ අතර ඕවර 15. 4ක් වැයවී තිබිණි. සොහේල් පන්දු 50කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් ලැබූ අතර ඉනිම ගොඩනැගීමට මහත්වූ වෙහෙසකින් ක්‍රීඩා කළේය. ඉක්මණින් ලකුණු ලබාගෙන ජයග්‍රහණයේ වාර්තා කිරීමේ පිපාසයෙන් පසුවූ පාකිස්තාන පිතිකරුවන් තිදෙනකු ලකුණු 17ක් තුළදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමග පාකිස්තාන ඉනිම මලානික ස්වරූපයකට පත්විය. ඉමාඩ්, අසීෆ් හා නායක සෆ්රාස් යන පිතිකරුවෝ පාකිස්තාන ප්‍රේක්ෂකයන්ගේ දෝෂදර්ශනයට ලක්වෙමින්ම ක්‍රීඩාගාරය වෙත පිය නැගූහ.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල මුල්ම පන්දුවෙන් දවා ගැනීමට කසුන් රාජිත සමත්වු අතර ෆකාර් සමාන් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුණු බින්දුවකට දැවී ගියේය. අනතුරුව දෙවැනි කඩුල්ලට බාබර් අසාම් හා හැරීස් සොහේල් එක්ව ලකුණු 76ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ.

දකුණත් පිතිකරු බාබර් අසාම්ට සුපුරුදු ප්‍රහාරයට යාමට නොදී පාලනයක් කරගත් වේග පන්දු යැවූ ළහිරු කුමාර පන්දු 32කදී හතරේ පහරක් සමග ලකුණු 27ක් ලබා සිටියදී දවා ගත්තේය.

පාකිස්තානයේ දුර්වල පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු 4ක් අත්හැරි යෑම එක්තරා වාසනාවන්ත තත්ත්වයක් විය. ශ්‍රී ලංකාවෙන් විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් 84 වැනි ක්‍රීඩකයා බවට පත්වූ ඕෂධ ප්‍රනාන්දු පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා බවට පත්විය. ඕෂධ පන්දු 47කදී හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමග නොදැවී ලකුණු 78ක් ලබාගත් අතර පැමිණි විගසම උස්මාන් ෂින්වාරීගේ පන්දුවකට හතරේ පහරක් හා හයේ පහරක් එල්ල කොට ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

ඕෂධ වාර්තා කළ ලකුණු ගණනට අමතරව අනෙක් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙක් සාර්ථක නොවූ අතර පන්දු 11කදී ලකුණු 13ක් වාර්තා කළේ ඇන්ජලෝ පෙරේරා පමණි. ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පන්දු 12කදී හතරේ පහරක් සමග ලකුණු 12ක් වාර්තා කළ අතර, වෙනදා වේගයෙන් ලකුණු අතරට පිවිසෙන දසුන් ශානක පන්දු 25කදී ලකුණු 12ක් ලබා යම් පීඩනයකට හසුව සිටියේය.

මේ තරගාවලියේදී කඩුලු 8ක් බිඳ හෙලා පන්දුවෙන් හා ලකුණු 46ක් පිත්තෙන් වාර්තා කළ වනිඳු හසරංග අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා සම්මාන දෙකම දිනා ගත්තේය.මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් 5ක් සිදු කොට තිබූ අතර පාකිස්තාන පිලේ ක්‍රීඩකයින් තිදෙනකු කැදවා තිබුණි. සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු මධුසංඛ හා ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ඇතුළත් වුයේ පිළිවෙළින් මිනෝද් භානුක, ෂෙහාන් ජයසූරිය, අවිශ්ක ප්‍රනාන්දු, ඉසුරු උදාන හා නුවන් ප්‍රදීප් වෙනුවෙනි. පාකිස්තානයේ අහමඩ් ෂේශාඩ්, ඉෆ්තිකාර් අහමඩ් හා උස්මාන් ෂින්වාරී කණ්ඩායමට පැමිණෙද්දී හැරීස් සොහේල් උමාර් අක්මාල් හා මොහොමඩ් හොස්නයින් ඉවතට ගියහ.

 

 

නව අදහස දක්වන්න