ස්කොට්ලන්තය අර්ධ අවසන් පූර්ව වටය අභියස | දිනමිණ

ස්කොට්ලන්තය අර්ධ අවසන් පූර්ව වටය අභියස

රුසියාව හමුවේ උත්සාහක දිනුම් 9ක්ම තැබූ ස්කොට්ලන්තය ලකුණු 61-0ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට ඊයේ සමත්විය.

ඊයේ තරගයේදි උත්සාහක දිනුම් 4කට වඩා තැබීම නිසා වැඩිපුර ප්‍රසාද ලකුණක් ද ස්කොට්ලන්තයට හිමිවූ බැවින් අර්ධ අවසන් පූර්ව වටයට යාමට මූලික වටයේ ඔවුන්ගේ අවසන් තරගයෙන් සත්කාරක ජපානයට වඩා අවශ්‍ය වන්නේ වැඩි ලකුණු 4ක් පමණි.

ජපානය හමුවේ මුහුණපෑමට සිදුවන අභියෝගය ඊයේ රුසියාව හමුවේ වඩාත් පහසු කරගත් ස්කොට්ලන්තය උත්සාහක දිනුම් 9ක් තබා ඉන් අටක්ම ගෝල බවට පත්කරගත්තේ ඇඩම් හැස්ටින්ගේ පිහිටෙනි. එපමණක් නොව ඔහු ඉතා වටිනා උත්සාහක දිනුම් දෙකක් ද සිය කණ්ඩායමට ලබා දුන්නේය.

තරගයේ ආරම්භක උත්සාහක දිනුම 13වැනි මිනිත්තුවේදි තැබූ හැස්ටින්ම එය ගෝලයක් බවට පත් කර මිනිත්තු 3කට පසුව දෙවැනි උත්සාහක දිනුමත් තැබීමට සමත්විය. ජෝර්ජ් හෝන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබීමට සමත්විය.

ෆිජී පරදවා වේල්සය ඊළඟ වටයට

කරට කර සටනක් බවට පත්වූ වේල්සය සහ ෆිජී කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 29-17ක ජයක් වාර්තාකළ වේල්සය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත්විය. සිය මූලික වටයේ අවසන් තරගයට එක්වූ ෆීජී කණ්ඩායමට අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හිස් අතින් ආපසු යාමට සිදුවිය.

මිනිත්තු 5ක් ඇතුළත පිට පිට උත්සාහක දිනුම් 2ක් තබා තරගයේ පෙරමුණ ගැනීමට ආරම්යේදිම ෆිජී කණ්ඩායම සමත්වූයේ ලකුණු 12-0ක් ලෙසිනි.

එහෙත් ජොස් ඇඩම්ස්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය නිසා හිස ඔසවා ගත් වේල්සය අනතුරුව 68 වැනි මිනිත්තුවේදි ලියම් විලියම්ස් තැබූ උත්සාහක දිනුමෙන් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. වේල්සය උත්සාහක දිනුම් 4ක් වාර්තා කළ අතර ඉන් 3ක් ගෝල බවට පත්විය. ඊට අමතරව දඬුවම් පහර වාර්තා කිරීමට ද වේල්සය සමත් විය.

 

නව අදහස දක්වන්න