ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70වන සංවත්සරය අදයි | දිනමිණ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70වන සංවත්සරය අදයි

විජයානි එදිරිසිංහ

රටේ ජාතික ආරක්ෂාවේ වගකිව යුතු ප්‍රබල කොටස්කරුවකු වන අපේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය හැත්තෑ වන සංවත්සරය අද (10) දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.

දශක තුනකට අධික කාලයක් මේ රටේ පැවති යුද්ධයේ දී සමස්ත ත්‍රස්තවාදී බළ මුළු පරදවා රට විජයග්‍රහණය කරා ගෙන යෑමේ මානුෂිය මෙහෙයුමේ දී අභීත රණවිරුවන් දස දහස් ගණනක් දිවි හිමියෙන් සටන් කළ අතර අද වන විට එතෙර මෙතෙර සෑම තැනකම සිය අභිමානය පතුරවා සිය කීර්ති නාමය රැකගත් හමුදාවක් බවට යුද්ධ හමුදාව පත් වී තිබේ.

මීට වසර හැත්තෑවකට පෙර ඉතා සුළු සාමාජිකයන් පිරිසකගෙන් ආරම්භ වු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද වන විට බළ ඇණි විශාල ප්‍රමාණයකින් යුක්තව රටේ ජාතික ආරක්ෂාවට මූලිකත්වය දෙමින් කටයුතු කරයි. එමෙන්ම රටේ සංවර්ධනය ඇතුළු සියලුම ප්‍රශ්නවලට මුහුණ දෙමින් රටේ ඉදිරි ගමනේ සුවිශේෂී කොටස්කරුවකු බවට පත් වී සිටී.

රටක හමුදාවකට එල්ල වන අභියෝග අප්‍රමාණය. ඒ අයුරින්ම අපේ යුද්ධ හමුදාවට ද අනෙකුත් සොයුරු හමුදාවන්ට ද දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වු අවස්ථා බොහෝය. වසර තිහකට අධික කාලයක් මේ රටේ පැවති ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ වු අසුව දශකයේ සිට 2009 වසර දක්වා යුද්ධ හමුදාව මේ රටේ එකම බිම් අඟලක් හෝ ත්‍රස්තවාදීන්ට අත් පත් කරගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. දිවා රෑ නොබලා ජීවිත පුජාවෙන් සටන් කළ ලක්ෂ සංඛ්‍යාත අපේ රණවිරුවන් එදා කළ කැපවීම තවත් වසර සිය ගණනක් ගත වුවද මේ රටේ ජනතාවට කිසිදු ආකාරයකින් අමතක කළ නොහැකිය.

තම මවුපිය, දු දරුවන්, බිරින්දෑවරුන් ඇතුළු සිය ජීවිතයේ සමීපතමයන් අමතක කර දමා ගිනි අවියත්, සිතේ ශක්තියත් පමණක් හිත දරාගෙන බිම් බෝම්බ, පැති බෝම්බ, මර උගුල්, ගිනි අවි පමණක් නොව ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමුවේ ද නොබියව ඉදිරියට යමින් රට බේරා ගැනීමේ මෙහෙයුම් සිය ගණනක් සිදු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත රණවිරුවන් කළ කැපවීම වචනයෙන් ලියා අවසන් කළ හැකිය.

කෑලි කැපිය හැකි මහා ඝන අඳුරේ වරින් වර ඇසෙන වෙඩි හඬ පමණක් ඉතිරි වූ යුද අඩවියක දෑතට සිර කර ගත් ගිනි අවියත් සමඟ වේලුන කොලයක් හෝ පෑගෙන හඬ නොඇසෙන්නට තරම් වු ප්‍රවේසමකින් කොටි අඩවි වෙත බඩ ගාගෙන ගොස් කඳවුරුවල ඔත්තු සොයා ගත් අපේ අභිත රණවිරුවන්ගේ මතකය කෙසේවත් අමතක කළ හැකියි. සිය අත් පා, ඇස්, ඉස්, මස්, ලේ, ඇට නහර පුජා කරමින් රණවිරු රුධිර දහරාවන්ගෙන් මේ මාතෘ භූමිය තෙත් කළ අපේ රණවිරුවන් එදා කිසිදු අවස්ථාවක මරාගෙන මැරුණත් ඉදිරියට තැබූ පය ආ පස්සට ගත් පිරිසක් නොවීය. එවන් වු කැපවීමක් කළ රණවිරුවන් වෙනුවෙන් යුද්ධ හමුදාව එදා ඔවුන්ටම ආවේණික වු යුද්ධ උපක්‍රම භාවිත කරමින් මීට වසර දහයකට පෙර ලැබූ විජයග්‍රහණයේ දී ලබා ගත් අත් දැකීම් අද ලෝකයේ බොහෝ රටවල් පවා සිය ජයග්‍රහණයන් කරාගෙන යෑමට උපයෝගි කරගෙන ඇති බව අප සිහිපත් කරන්නේ මහත්වූ ආඩම්බරයෙනි.

ලෝකයේ මානුෂියභාවයෙන් ඉහළම ස්ථානයක සිටින අපේ යුද්ධ හමුදාව අද වන විට ඒ බව ලෝකය ඉදිරියේ තහවුරු කර හමාරය. විශේෂයෙන් මෙරට දී යුද ජයග්‍රහණය කළ අපේ හමුදාව සාම සාධක හමුදා සේවයේ යෙදී සිටිය දී මාලේ රටේ දී එරට රථ පෙළකට එල්ල වු දැවැන්ත ප්‍රහාර දෙකක් දෙවරක්ම වළක්වා ගනිමින් එම රටවල් මවිතයට පත් කළේය. එපමණක් නොව ආබාධිත රණවිරුවන් සිය සිතේ ඇති ආත්ම ශක්තිය පවත්වාගෙන යමින් ලෝකයේ විවිධ රටවල පැවති විවිධ ක්‍රීඩා තරගවලට සහභාගී වෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත්, රටටත් කීර්තියක් ලබා දුන් අවස්ථා බොහෝය.

එවන් වු අභීත හමුදාවක් වන අපේ යුද්ධ හමුදාව පසුගිය කාලයේ යුද්ධයෙන් පසු රටේ ඇති වු බරපතළ ගැටලු හමුවේ නොබියව ඉදිරියට ගොස් රටේත්, මහජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ අවස්ථා එමටය. එමෙන්ම ස්වාභාවික ආපදා ඇති වු අවස්ථාවල දී ජනතාවගේ ජීවිත බේරා ගනිමින් සිය ජීවිත ගැන පවා නොතකා කටයුතු කළ අවස්ථා ද ඇත. යුද ජයග්‍රහණයෙන් පසු ගිනි අවිය පසෙකින් තබා බැරැක්කවලට සීමා නොවී රටේ සංවර්ධනයටත් මහජනතාවගේ ආරක්ෂාවටත් කටයුතු කරන යුද්ධ හමුදාව මේ වන විට උතුරු නැඟෙනහිර ජනතාවගේ සිත් දිනාගෙන ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීමට මහත් වු කැපවීමක් ක්‍රියා කරයි.

මේ ආකාරයෙන් රටේ ජනතාවගේ ගෞරවයටත්, භක්තියටත් භාජනය වී සිටින අපේ යුද්ධ හමුදාව අද (10) සිය 70 වැනි සංවත්සරය සමරනු ලබන්නේ වෙනදා මෙන් නොව රටේ ජනාතාවට ද එම අවස්ථාව දැක බලාගැනීමට හැකි වන ආකාරයට ගාලු මුවදොර පිටියේදීය. වර්තමාන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ තීරණයකට අනුව මෙතෙක් කාලයක් පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ දී හෝ වෙනත් ස්ථානයක දී පවත්වන මේ සැමරුම අද මෙසේ මහජනතාවට දැක බලාගැනීමට හැකි වන පරිදි පවත්වන්නේ ප්‍රථම වතාවටය. මීට සති කිහිපයකට පෙර සිට සියලුම හමුදා ධජවලට ජය ශ්‍රී මා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබා දෙමින් සියලුම හමුදා බළ සේනාංකවල සහභාගීත්වයෙන් මේ සංවත්සරය පවත්වයි.

උතුරු නැඟෙනහිර මානුෂිය මෙහෙයුමේ දී හමුදා භට පිරිස් මෙහෙයවමින් සතුරා පරාජය කිරීමේ මහඟු මෙහෙවරක් කළ වර්තමාන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විවිධ අභියෝග මැද සිය හමුදාපති ධුරයට පත් වෙමින් පවත්වනු ලබන ප්‍රථම හමුදා සැමරුම ද මෙය වීම තවත් විශේෂත්වයකි. ඉදිරියේ දී යුද්ධ හමුදාවේ බුද්ධි අංශයේ ද විශාල වෙනස්කමක් කරමින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කිරීමේ මහඟු කර්තව්‍යයට පියවර ගෙන ඇති යුද්ධ හමුදාපතිවරයා සමස්ත යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ මවුපියන්, ඥාතීන් ඇතුළු සමස්ත හමුදාවේ සියලු සාමාජිකයන් වෙනුවෙන් සුවිශේෂී සුබසාධක වැඩපිළිවෙළකට අත ගසා සිටින බව ද අප සිහිපත් කරන්නේ මහත් වු විශ්වාසයකින් යුක්තවයි.

එවන් වු දැවැන්ත කාර්යභාරයක් සමඟ නොබියව ඉදිරියට යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය 70 වැනි සංවත්සරය වෙනුවෙන් දිනමිණ සුබ පැතුම් ද මේ සමඟ එකතු කරමු .

 

 

 

නව අදහස දක්වන්න