වසර ගණනාවක් විසඳුම් නැතිව තිබූ විශ්‍රාම වැටුප් විසමතා ගැටලුවට වත්මන් ආණ්ඩුව විසඳුම් දුන්නා | දිනමිණ

වසර ගණනාවක් විසඳුම් නැතිව තිබූ විශ්‍රාම වැටුප් විසමතා ගැටලුවට වත්මන් ආණ්ඩුව විසඳුම් දුන්නා

විශ්‍රාම දින සැමරුම් උත්සවයේ දී අගමැති කියයි

ආර්ථික අපහසුතා තිබුණු රටක් 2015 භාරගත්ත ද වසර ගණනාවක සිට නොවිසුදුනු විශ්‍රාම වැටුප් විෂමතා ගැටලුව විසදීමට හැකි වුණේ වත්මන් ආණ්ඩුවට පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (8) නෙළුම් පොකුණ රඟහලේ පැවති 2019 විශ්‍රාම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 අගෝස්තු මස වනවිට ලංකාවේ සිටින සමස්ත විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව 631054 ක් වන අතර විශ්‍රාමික හමුදා නිලධාරීන් සංඛ්‍යාව 97268කි. මෙම සියළු විශ්‍රාමිකයන් සඳහා රජය පසුගිය අගෝස්තු මාසයේ පමණක් ගෙවන ලද පාරිතෝෂිතවල වටිනාකම රුපියල් 16 ,915 , 208 ,936කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

යුධ සමයේ සහ විවිධ ආපදා තත්ත්වයන්හි දී දිවි පරදුවට තබා ජනතාවගේ යහපත වෙනුවෙන් සේවය කළ සියළු විශ්‍රාමික රාජ්‍ය සේවයකයන්ගේ සේවයට මා ප්‍රශංසා කරනවා. දැනට විශ්‍රාම සුවයේ සිටින නිලධාරීන් රාජ්‍ය සේවයේ විශේෂ අවශ්‍යතා සඳහා බඳවා ගැනීමට මා කතානායකවරයා සමඟ සාකච්ඡා කරනවා.

අද ජාතික විශ්‍රාමික සැමරුම් දිනයයි. ඔබ සියලු දෙනාම ආණ්ඩුවේ සේවයට බැදිලා සේවය කෙළේ මා දේශපාලනයට සම්බන්ධ වූ කාලයේ. ඒත් රටේ නීතිය අනුව ඔබ සියලු දෙනාම යම්කිසි වයසක විශ්‍රාම යන්න තිබෙනවා. දේශපාලඥයන්ට එසේ විශ්‍රාම යෑමක් තාම නෑ. ඒ නිසා මමත්, මහින්ද රාජපක්ෂ මහතාත්, සම්බන්ධන් මැතිතුමාත් තාම සේවයේ සිටිනවා. දේශපාලන නායකයන්ගේ නම් තුනම මේ අවස්ථාවේ මා සඳහන් කළ නිසා මා මැතිවරණ නීති කඩකරලා නෑ කියා සිතනවා.

විශ්‍රාමික බොහෝ දෙනකුට විශාල අද්දැකීම් තිබෙනවා. 60 දශකයේ සමහරුන් රාජ්‍ය සේවයට බැදුනා.70 දශකයේ තවත් සමහරු රාජ්‍ය බැදෙනවා. 77 වන විට බොහෝ දෙනකු බැදුනා. පාලන ආර්ථිකයට සිට විවෘත ආර්ථිකයට ඒ කාලයේ පරිවර්තනය වීමට තිබුණා. ඒ පරිවර්තනයේදී රජයේ සේවකයන් තමයි විශාල දායකත්වයක් ලබා දුන්නේ. සමහර රාජ්‍ය සේවකයන් ඒ මොහොතේ සිට විවෘත ආර්ථිකයට ගැලපෙන සේ හැඩ ගැසුනා. සමහරුන්ට හැඩගැසීමට කලක් ගත වුණා. විශාල බයක් තිබුණා විවෘත ආර්ථිකයක් ආවාම රාජ්‍ය සේවකයන් අඩුවෙයි කියා. නමුත් අපේ අද්දැකීම් අනුව රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව විවිධ ආණ්ඩු තුළදී වැඩි වුණා.

මට මතකයි 1983 කෝලාහල කාලයේ, 78 උතුරු නැඟෙනහිර සුළි සුළං ආවා කාලයේ රාජ්‍ය සේවකයන් ඒ සියල්ලටම මහුණ දුන්නා. රාජ්‍ය සේවය මඟින් දිවයිනපුරා විශාල සංවර්ධනයක් ඇති කළා. රාජ්‍ය සේවකයෝ මහවැලිය කළා වසර පහකින්. කොළඹ කෝට්ටේ අගනුවර කළා. නිවාස නොමැති අයට නිවාස හදන්න, විදුලිබලය ලබා දෙන්න රාජ්‍ය සේවකයන් කැප වුණා. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් විශාල සේවයක් රටට කර තිබෙනවා. එම සේවය මඟින් විශාල සංවර්ධනයක් රටතු ළ ඇති වී තිබෙනවා. ඒත් අපිට යුද්ධයකට මුහුණදීමට සිදු වුණා. යුද්ධය අනුව උතුරේ, දකුණේ භීෂණ වාතාවරණයේදී ආණ්ඩුව වැටෙන්න ඉඩනොදී දිගටම පවත්වාගෙන යන්න රාජ්‍ය සේවකයන්ට හැකි වුණා. සමහර නිලධාරීන්ගේ ජීවිතය නැති වුණා. ඒත් රජයේ පාලනය ශක්තිමත්ව කර ගෙන ගියා. 2004 අපි සුනාමියට මුහුණ දුන්නා.

ඒ සූනාමියෙන් පසු ජනතාවගේ සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් පෙනී සිටියා. යුද්ධය අවසන් කර, ආර්ථික ප්‍රශ්නවලට මහුණ දී සංහිදියාවක් ඇති කරන්න පුළුවන් පලපුරුද්ද විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට තිබෙනවා. මා කලින් සඳහන් කළ අසීරු කාලයක රාජ්‍ය සේවයට මුහුණ දුන් සියළු විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට මා ස්තූතිවන්ත වෙනවා. ඔබ සේවය කළ නිසා රාජ්‍ය යන්ත්‍රණය යුද්ධ, කෝලාහල, සුනාමිවලින් ආරක්ෂා වුණා. ඒ වගේම විශ්‍රාමික ලේකම්වරුන්ගේ සංගම්වලින් මාගෙන් ඉල්ලීමක් කළා ඔවුන්ට රාජ්‍ය සේවයට ඔවුන්ගේ දැනුම එක් කරන්න අවස්ථාව දෙන්න කියා. අද පාර්ලිමේන්තුවේ කොමිසන් සභා ගණනාවක තිබෙනවා. ඒ නිසා මා විශ්‍රාමික ලේකම්වරුන්ට යෝජනා කරනවා ඔබගේ ඉල්ලීම කතානායකවරයාට දැනුම් දෙන්න. ඉන්පසු මා ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන්නම්.

අද ආණ්ඩුවක් හැටියට ඔබේ සේවය අපි අගය කළ නිසා විශ්‍රාමිකයන් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව දෙවතාවක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න අවස්ථාව ලැබුණා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න සිදු වුණා .ඒ අවස්ථාවේ විශ්‍රමිකයන් 650000කගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය ආවා. අපි දෙවතාවක් ඒ වැඩ කටයුත්ත කළා. 2015- 2019 අයවැය යෝජනාවලින් සියයට 80කට වැඩි විශ්‍රාමිකයන් පිරිසකගේ වැටුප් විෂමතා ඉවත් කළා. මා කියන් නෑ අපි සියළු ප්‍රශ්න විසදුවා කියා. නමුත් අපි ප්‍රශ්න් ගණනාවක් විසදා තිබෙනවා.

අපි වැටුප් විෂමතා ඉවත් කෙළේ සාමාන්‍ය කාලයකදී නොවෙයි. අපි මෙය කෙළේ රටේ ආර්ථිකය විශාල ණය බරක තිබූ අවස්ථාවේ. ණය ගන්න ලංකා ආණ්ඩුව කෙරෙහි විදේශ රටවල් විශ්වාසය නොතිබූ අවස්ථාවකයි. ඒ කාලය තුළදී ණය ප්‍රශ්න අවසන් කළා පමණක් නොවෙයි අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කළා. එය කරන ගමන් අපි විශ්‍රාම වැටුප් විෂමතා විසඳා තිබෙනවා. ජීවන වියදම වැඩි වෙන විට ඔබේ පඩියත් වැඩි වෙනවා. ඒත් ඒ වගේම අපි පියවර ගෙන තිබෙනවා සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න. අද ඉන්දන මිල අපි පසුගිය වසර පහ තුළ වැඩිවීමට ඉඩනොදී අඩු මිලට ජනතාවට ලබා දී තිබෙනවා. සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ වසර පහකින් මිල වැඩි වී නෑ .නමුත් සමහර අවස්ථාවලදී මිල අඩුවී තිබෙනවා.

එයින් අපි බලාපොරොත්තු වන්නේ ආණ්ඩුව ලෙස ජනතාවට උපකාර කිරීමයි. සෞඛ්‍ය සේවය අද දියුණු වී තිබෙනවා. ඒ සඳහා අපි විශාල මුදලක් වෙන් කර දී තිබෙනවා. ස්ටෙන්ස් වගේ ඖෂධ අපි නොමිලේ ලබාදී තිබෙනවා. රජය රෝහල් සඳහා නව උපකරණ ලබා දී තිබෙනවා. එදා ලබා ගන්න බැරිවූ සේවාවන් අද ළඟම රෝහලෙන් ලබා ගන්න පුළුවන් මට්ටමේ දියුණුවක් අපි සෞඛ්‍ය සේවයට කර තිබෙනවා. අද ඔබගේ නිවසට එනවා සුදු වෑන් එකක් එම වෑන් රථයේ දෙපස ගසා තිබෙනවා සුව සැරිය කියා. අපි නොමිලේ ගිලන් රථ සේවය රටපුරා ලබා දී තිබෙනවා. අද විශ්‍රාමිකයන්ගේ මුණුබුරා, මිණිබිරිය අසනීප වුණොත් ඒ අයට ගෙවන්න සල්ලි අවශ්‍ය නෑ. සුරක්ෂා රක්ෂණය මඟින් අපි අසනීප සඳහ මුදල් ලබා දෙනවා. ඒ නිසා වර්තමානයේ දී ජනතාවගේ ජීවන බර යම්කිසි ලෙස අපි අඩුකරදී තිබෙනවා.

ඒ සමඟම අපිට සමාජය දියුණු කිරීමේ වගකීම ලැබී තිබෙනවා. රාජ්‍ය පරිපාලන අැමැතිවරයා සමඟ මා සාකච්ඡා කළා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය මීටත් වඩා නවීකරණය කිරීමට. එය කළ හැක්කේ අපේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 7.5ක ප්‍රමාණයකට වැඩිකළොත් පමණයි. අපිට එය කරන්න හැකි වුණොත් අද රජයේ සේවයේ නියුතුව සිටන අයගේ විශ්‍රාම වැටුපටත් නව්‍යකරයක් ලැබෙනවා. එසේ කිරීමට අපේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් කළ යුතුයි. අපනයන ආර්ථික වේගයෙන් තමයි රට දියුණු වන්නේ. රාජ්‍ය සේවයේ ඔබ කළ සේවය නිසා මූළික ආර්ථික යටිතල පහසුකම් මහනුවර සිට කොළඹටත්, හම්බන්තොට දක්වාත් ලබාදී තිබෙනවා. ජාතික හා විදේශ ආයෝජන ලබා ගෙන ආර්ථිකය ගොඩගැනීමේ වගකීම අපි සතුව තිබෙනවා. ආර්ථික සංවර්ධනය මඟින් රටට මුදල් වැඩි වෙනවා. රටට මුදල් වැඩිවුණාම ආණ්ඩුවට මුදල් වැඩි වෙනවා .ඒ අනුව අපිට යටිතල පහසුකම් සඳහා වැඩි මුදලක් යෙදවිය හැකියි. රට ආර්ථික වර්ධන වේගය ඔබේ අනාගතයේ බිහිවන දරුවන්ට යහපතක්.

රාජ්‍ය පරිපාලන, ආපදා කලමණාකරන හා පශු සම්පත් අැමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා-

ජ්‍යෙෂ්ඨත්වය යනු විශිෂ්ඨත්වයයි. මෙතන සිටින සියලුම පුරවැසියන් විශිෂ්ඨයන්. තමන්නාසේලාගේ ජීවතයේ හොඳම කාලය වැය කෙළේ මේ රටේ දියුණුව වෙනුවෙන්. ඒ සේවය ඇගයීමට තමයි සෑම වර්ෂයකට විශ්‍රාම දිනය සමරන්නේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000කට ගේන්න විශ්‍රාමිකයන්ගේ දායකත්වය ලැබුණා. ආපදා බොහෝමයක්, කැරලි දෙකක් ආවා .එහිදී රටේ ජනතාව බලාගත්තේ රාජ්‍ය සේවයේ සිටින ඔබයි. අද රාජ්‍ය සේවයේ 625000ක් විශ්‍රාමිකව සිටිනවා. විශ්‍රාමික ඔබ වෙනුවෙන් සේවයක් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට වසර ගණනාවක සිට විශ්‍රාම වැටුප් විශමතාවයක් තිබුණා. අපි එය අපිට පුළුවන් උපරිම අයුරින් විසදා දුන්නා. විශ්‍රාමිකයට ආත්මගරුත්වකින් යුතුව ජීවත්වන්න අපි වටපිටාව නිර්මාණය කර දී තිබෙනවා. 2015 ඇති වූ වැටුප් විෂමතා සඳහා අපි විසදුම් ලබා දුන්නා. ඒ සඳහා ඔබට වැඩි විරෝධතා, උත්ඝෝෂණ කරන්න ඉඩ දුන්නේ නෑ. කොපමණ ප්‍රශ්න තිබුණත් ආණ්ඩුවක් ලෙස මෙම වසරේ අපි වැඩිම ණය පොලියක්, ණය වාරිකයක් ගෙවනවා. 2019 වර්ෂයේ බිලියන 12ක් විශ්‍රමිකයා වෙනුවෙන් වෙන් කර තමුන්නාසේලාගේ විශ්‍රාම වැටුප විසදීමට අපට හැකි වුණා. විශ්‍රාමිකයන්ගේ වැටුප සියයට 44කින් වැඩිකරන්න අපිට හැකි වුණා. මා සතුටු වෙනවා විෂය භාර අැමැතිවරයා ලෙස ඔබට සේවයක් කිරීමට හැකිවීම පිළිබඳව.

විශ්‍රාමිකයන්ටගේ වැටුප් වැඩි කළා සේම දුම්රිය ගමන්වාර නොමිලේ ලබාදීමට අපි තීරණය කර තිබෙනවා. ඒ 2015 වන විට රටේ සමස්ත විශ්‍රාම වැටුප වෙන් කර තිබෙන්නේ බිලියන 147ක්. බිලියන 270 දක්වා වැඩි කළා. රජයේ සේවකයාට ගෞරවනීය ලෙස ජීවත්විය හැකි වැටුපක් අපි ලබා දී තිබෙනවා. ජාතික ආදායම බිලියන 2000යි. ආණ්ඩුවක් ලෙස රාජ්‍ය සේවකයා සහ විශ්‍රාමිකයා නඩත්තු කරන්න බිලියන 1500ක් අපි යොදවනවා.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩයස්, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, පශු සම්පත් සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, විශ්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති එස්. ලියනගේ, විශ්‍රාමික රාජ්‍ය හා පලාත් පාළන සේවා සංවිධානයේ කැඳවුම්කරු ටී.ඒ. නන්දසේන, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සහභාගී වුහ.

අසේල ලියනගේ සදුනි රණසිංහ
ජායාරූප - හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න