කෘත්‍රිම සංහිඳියාව | දිනමිණ

කෘත්‍රිම සංහිඳියාව

කොන්ක්‍රීට් ගොඩනැගිලි, අධිවේග මාර්ග, තාක්ෂණය ,විද්්‍යුත් මාධ්‍ය වාණිජකරණය වූ ආගම් අඬහැර, වාචාල දේශපාලනය, කොටස් වෙළෙඳ පොළ හෝ අර්ථික වර්ධනය නමැති මිථ්‍යාව මගින් ශිෂ්ටාචාරය වර්ණවත් නොවේ.

ඉකුත් දසකය තුළ දේශපාලනය සහ ජනමාධ්‍ය බහුල ව “සංහිඳියාව” යන වදන භාවිත කළේය. බොහෝ දෙනෙක් එම වදනේ සැබෑ අරුත පවා නො දැන සිටි වග ක්‍රියාකාරකම් සහ හැසිරීම් මගින් ප්‍රත්‍යක්ෂ වේ. සංහිඳියාව නමැති වදනේ සැබෑ අරුත වටහා ගැනීමට නම් මෙහිදී “භාෂාවේ දේශපාලනය” විචාරාත්මක ව කියවීම අත්‍යවශ්‍ය සාධකයකි.

බල දේශපාලනය විසින් ඉතා යහපත් සාධනීය දෑ පවා තම කෑදර අවශ්‍යතාව මත විකෘති කර සම්මත අරුත වෙනස් කරයි. සංහිඳියාවෙන් ඇතිවිය හැකි සමාජ සංස්කෘතික උපයෝගිතාව මඟහරිමින් එහි ඵලය නීරස කරමින් සමාජයට ජීරණය කර ගත නො හැකි කටුක දෙයක් ලෙස පරිවර්තනය කිරීම ව්‍යාජ දේශප්‍රේමයේ සහ ආගමික අන්තවාදයේ ස්වරූපයයි.

පසු යුද සමයේ සංහිඳියාව ගැන කතා කළ ක්‍රියා කළ බොහෝ දෙනකු ජයග්‍රාහකයාගේ ආස්ථානයේ සිට පරාජයට පත් පීඩිතයා මත සිය අධිපති දේශපාලන සහ ආගමික මතවාදය බලහත්කාරයෙන් ආරෝපණය කිරීමට වෙරදැරීම සංහිඳියාව යැයි අවබෝධ කරගෙන සිටියහ. බහුතරයේ ආගමික සහ බල දේශපාලන ආධිපත්‍යය පිළිගෙන එයට අවනතවීම හෝ නිහඬ කිරීම මගින් සංස්කෘතික සංහිඳියාව සමස්ත සමාජය මත ආරෝපණය කළ හැකි යැයි ඔවූහු මනෝමූලික ව කල්පනා කළහ. කෘත්‍රිම සංහිඳියාව මුදල් උපදවන යන්ත්‍රයක් මිස සමාජ සංස්කෘතික සහයෝගිතාවක් නො වීය. ඔවූහු සිය පටු දේශපාලන අරමුණු බලසතු කිරීමට වෙරදැරූ කෘත්‍රිම සංහිඳියාවෙන් සිය බැංකු ගිණුම් තර කරගෙන පොදු ජනයාගෙන් වියෝවී මහා මන්දිරවල හුදකලා වූහ. පොදු ජන මනසට අනුව සංහිඳියාව යනු කිසිදිනක ළඟාවිය නො හැකි ප්‍රකෘතියෙන් දුරස්ත වූ විකෘති මායාජාලයකි.

පෙළපොත්වල යුද වීරයෝ

සංහිඳියාව මගින් සමාජ සංස්කෘතික කණ්ඩායම් අතර “සහයෝගිතා සංවාදය” ගොඩනඟනු වෙනුවට “වෛරී විසංවාදය” ගොඩනැඟීම දේශපාලන සහ ආගමික බල අරගලයේ ආනිශංසයකි.එය අනන්‍යතා අර්බුදය යැයි හැඳින්විය හැක. සමස්ත භුමියට හිමිකම් ඇති ස්වදේශිකයා තමන් යැයි පුරාකථා සහ කෞතුක වස්තු පොදිබඳිමින් අනෙක් සියලු කණ්ඩායම් ආක්‍රමණිකයන් ලෙස හනසලකුණු තබමින් වහසිබස් දොඩන භූමියක සංහිඳියාව ගැන දෙඩවීම ප්‍රයෝගයකි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව කිසිදු ගැටලුවක් විසඳාගැනීමට නො හැකිවන සේ බෙදී වෙන්වීමේ පටු දේශපාලනය දිනෙන් දින පෝෂණය වෙමින් මහා පිළිලයක් මෙන් ගම් නියම්ගම් පුරා විහිදයයි. නිරතුරු ව ප්‍රතිමල්ලවයෙක් නිර්මාණය කිරීම සහ අනෙකා සැකකිරීම අනන්‍යතා අර්බුදයේ මානසික ව්‍යාධියයි.

පාසල් පෙළපොත මත ඇති ප්‍රචණ්ඩ යුද වීරයන්ගේ චරිතාංග ඇතුළත් වෛරයේ පාඩම් මගින් සමස්ත දරු පරපුරේ මනස විකෘති කර දරුවා වහා ඇවිලෙන (ප්‍රචණ්ඩ) ගිනි කන්දක් මත ගාල් කිරීම අධ්‍යාපනයේ මුග්ධභාවයට හොඳම නිදර්ශනයකි. ආගම සහ ජනමාධ්‍ය එම මානසික ව්‍යාධිය සමූහ උන්මාදයක් ලෙස අධි පෝෂණය කරයි. නිසි පෝෂණය නො ලද සංහිඳියාව සියලු ව්‍යාධීන්ගෙන් ගිලාන ව වසංගත රෝගියකු සේ පදික වේදිකා මත සිහින් කෙඳිරිලි නගයි.

ඉතා රළු පරළු අන්තවාදී ජාතිකවාදය වෙත සමාජය ප්‍රවේශ කර ඇත්තේ කෙසේදැයි වටහාගැනීම කෘත්‍රිම සංහිඳියාවේ ස්වරූපය අවබෝධකර ගැනීමට උපකාරී වෙයි. ආගමික උන්මාදය සහ ව්‍යාජ දේශප්‍රේමය අනුව සිය අනුගාමිකයා භූමියේ සැබෑ උරුමක්කාරයා වන හෙයින් අනෙක් සියලු සංස්කෘතික කණ්ඩායම් සංවිධානාත්මක දෙවන පෙළ රටවැසියන් සේ සලකා බහුතරයට යටහත් පහත් ව වාසය කළ යුතු යැයි ව්‍යාජ දේශප්‍රේමය සහ විකලාංග ජාතිකවාදය අනෙක් සංස්කෘතික කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් කරයි. වාර්ගික නොසලකාහැරීම සඳහා සුළු වාර්ගිකයන්, සංස්කෘතික වශයෙන් වෙනස් කණ්ඩායම් ද ලේඛන ගත කර දේශපාලන පිටමළුවේ රඳවා තබයි. අනෙක් මතවාද යටපත් කිරීමට ප්‍රචණ්ඩත්වය සහ තර්ජන භාවිත කර කලින් කල ගැටුම් නිර්මාණ කරයි. ව්‍යාජ දේශප්‍රේමය සහ ආගමික අන්තවාදය යන සංවිධාන ද්විත්වය ම පෝෂණය වන්නේ කෑදර බල දේශපාලනය තුළ රාශිභූත වූ මුග්ධ දේශපාලකයන් සහ අන්තවාදී ආගමික සංවිධාන වලිනි.

පූජකයෝ සහ ව්‍යාපාරිකයෝ

පාලක පංතිය, පූජකාරාම හා ව්‍යාපාරික ප්‍රජාව අත්වැල් බැඳගෙන රළු පරළු විකලාංග ජතිකවාදය විසින් කෘත්‍රිම සංහිඳියාව පෝෂණය කරනු ලබයි. එමෙන් ම නාගරික මධ්‍යම පංතිය කේන්ද්‍ර කොට ගෙන පූජකාරාම භ්‍රමණයවේ. එම සංකලනය බල දේශපාලනය, ආගමිකාරාම, සමාගම් සංකීරණය State, Temple, Corporate Complex යනුවෙන් අර්ථගැන්විය හැකිය.

ආගමික පුද පූජා යාච්ඤා සම්පූර්ණයෙන් ම අනෙකාට එරෙහි ව වර්ගවාදය හා ආගමික අන්තවාදය ඉලිප්පිම හා වැපිරීම සදහා භාවිතවේ. එමෙන් ම සමාගම් මාධ්‍ය ව්‍යාජ දේශප්‍රේමය සහ ආගමික අන්තවාදය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කරයි. අන්ධ දේශප්‍රේමී අන්තවාදියා නූතන රාජ්‍යයේ නිර්මාතෘවරයා තමන් යැයි විශ්වාස කරයි. එහි අවසන් ප්‍රතිඵලය සැබෑ සංහිඳියාව යටපත් වී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමයි. ඝාතකයා සහ මංකොල්ලකරුවා සිය ගැලවුම්කරුවා ලෙස අභිෂේක කිරීමයි.

ඉකුත් වසර තුන් දහස තුළ මානවයා නූගත් පාඩම වෙනස්කම් සහිත සංස්කෘතික කණ්ඩායම් එක්ව සහජීවනයෙන් වාසය කිරීමේ ශක්‍යතාවයි. එය පරපුරෙන් පරපුර ප්‍රගුණ කළ යුතු ශික්ෂාකාමී අභ්‍යාසයකි. වැඩවසම්වාදී ආගමික අන්තවාදය තුළ කැකෑරෙමින් සමූහ උන්මාදය මත වෛරී පටු දේශපාලන වේදිකාවක බෙදී ගිය කම්පිත සමාජයක සහජීවනයේ වර්ණවත් හැසිරීම් රටා දැක ගත නො හැකිය. ශ්‍රී ලංකාව තුළ මඟහැර යාම සහ නොසලකාහැරීම නිසා වාර්ගික සහ සංස්කෘතික වෙනස්කමින් යුතු කණ්ඩායම් හතරක් (සිංහල, දෙමළ ,මුස්ලිම් සහ බර්ගර්) පමණක් ගැන බොහෝ දෙනෙක් දොඩවති. මානව විද්‍යාවේ සොයායාම්වලට අනුව ලංකාව තුළ වෙනස් සංස්කෘතික කණ්ඩායම් විසි නමයක් ජීවත් වෙති. ඒ අතරින් බොහෝ සංස්කෘතික කණ්ඩායම් ප්‍රධාන ප්‍රවාහය තුළට ගොනු නො කර වදවීයාමට හිතාමතා ම ඉඩහැර සිටීම බහුතර අන්තවාදයේ ප්‍රචණ්ඩත්වයයි.

හිංසන අධිකාරිය

පසු යුද සමයේ ජාතික රාජ්‍යයන් ලෙස පෙළ නො ගැසුණ භූ කලාප තුළ දක්නට ලැබෙන පසුගාමී පොදු ලක්ෂණයකි. බල දේශපාලනය තම පැවැත්ම හා සූරාකෑම සඳහා අන් සියලු ජන කණ්ඩායම් හා පංති යටපත් කර හිංසන අධිකාරිය රටවැසියා මත ආරෝපනය කරන්නේ නම්, එම ව්‍යුහයට අයත් යටපත් කරනු ලැබුවා වූ සියලු ජන කණ්ඩායම් හා පංතීන් පරපුරෙන් පරපුර ජීවිතාන්තය දක්වා එකී රාජ්‍යයේ ප්‍රාණ ඇපකරුවෝය, වක්‍ර හා සෘජු වහලුන්ය.

බල දේශපාලනය මෙම වහල්භාවය අරුත් ගන්වන්නේ ජනතා පරමාධිපත්‍යය නමැති ව්‍යාජ අර්ථකථනයෙනි. බල දේශපාලනය ස්ව මනාපය පරිදි හිංසනයේ ව්‍යුහ ශක්තිමත් කර ගැනීම උදෙසා කලින් කලට මැතිවරණය නම් වූ මායා ජාලය මගින් වහල්භාවය නැවත නැවත යාවත්කාලීන කරයි. නූතන වහලා අතීත වහලාගෙන් වෙන්වන්නේ තමා ම ගොඩනැගූ සිර මැදිරියක ස්ව කැමැත්තෙන් ම රාජ්‍ය නමැති මායාව තුළ සිරගත වීමෙනි. තම ආත්මය රාජ්‍යය නමැති මායාකාර බන්ධනයට නො බිඳෙන රැහැනකින් ගැට ගසා වැලඳ ගැනීමෙනි. එම වංචනික මායාව සත්‍යයක් ලෙස පිළිගනිමින් දෛනික ව දැඩි වෙහෙසකින් හා පරිත්‍යාගයකින් පෝෂණය හා නඩත්තු කරමින් තමන් ද එම මායාවේ කොටසක් යැයි සිහින දකිමින් තම දරුවන් ද ඒ තුළට අකාරුණික ව ගැට ගැසීමෙනි.

“එක් සීත සෘතුවක දරාගත නො හැකි සීතල නිසා ඉත්තෑවෝ බොහොදෙනක් මිය ගියහ. එක් ඉත්තෑවකු එම තත්ත්වය තේරුම්ගෙන සියලු දෙනා එකමුතුව එක් ව වාසය කිරීම ඉතා යහපත් යැයි කියා සිටියේය. සියල්ලෝම ඉත්තෑවාගේ කථාව අසා සීත කාලයේ එක ම තැනක ගුළි වූහ. උණුසුම හොඳින් දැනුණ ද එකිනෙකාගේ ඉත්තෑකූරු නිසා අනෙකාට අනතුරු සිදු විය. පසුව ඔවුන් එකිනෙකාගෙන් ඈත්ව ජීවත් වීමට තීරණය කළ හෙයින් හුදකලාව සීතලෙන් පීඩා විඳ මිය යාම නැවත ආරම්භ විය. නැවතත් ඔවුන්ට බුද්ධිමත් තීරණයක් ගැනීමට අවශ්‍ය විය. පොදු සංවාදයකින් පසු නැවත එකට එක් වී ජීවත්වීමට තීරණය කළහ. සුළු අපහසුතා මැද එක්ව ජීවත්වීමට ඔවුන් උගත්තේය.

විවිධත්වය නිසා යම් යම් අපහසුතා දැනුණි. එහෙත් සහජීවනය තුළින් උණුසුමත් සමගියත් ඇති විය. එම සංහිඳියාව පරපුරෙන් පරපුරට නො නැසී පැවත්වාගෙන යාමට ඔවූහු කථිකා කර ගත්හ.”

අරුත්බර සංහිඳියාව

“සංහිඳියාව” සංස්කෘතික භාෂාවෙන් ශාන්ති මෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් pacification යනුවෙන් අර්ථකථනය වෙයි. Saint යන වදන ද ලතීන් හා ඉංග්‍රීසි භාෂාවල සංස්කෘත භාෂාව් ශාන්ත යන වදනට සමාන අර්ථයක් දක්වයි. ප්‍රංශ හා ලතීන් භාෂාවලින් එම වදනේ අරුත සාමය ඇති කිරීම හා පවත්වාගෙන යාමයි. එකිනෙකාට එරෙහි යුද තත්ත්වයන් හෝ ප්‍රචණ්ඩත්වය රාජ තාන්ත්‍රික වශයෙන් පිටුදැකීම, වාද විවාද හෝ ගැටුම් සමනය කිරීම වැනි අරුත් රැසක් පහළොස්වන සියවසින් පසු එම වදනේ අරුත සමග ඒකරාශී වී ඇත. සංස්කෘතික විවිධත්වයෙන් යුතු ජන කණ්ඩායම් එක් භූ කලාපයක ස්ථාන ගත ව සාමයෙන් වාසය කිරීම සහජීවනය co-existence යැයි ඉංග්‍රීසි භාෂාවෙන් ද විවිධ ජන කණ්ඩායම් සමබිමක එකට එක්ව වාසය කිරීම එකස්ථානී යැයි සංස්කෘත භාෂාවේ ද සඳහන් වෙයි. අනෙකා සමග සමාදානයෙන් සහවාසය සහ සොබාදහම සමග Correlation සහසබඳතාව වෙත අපගේ අවධානය යොමු විය යුතුය.

කොන්ක්‍රීට් ගොඩනැගිලි, අධිවේග මාර්ග, තාක්ෂණය ,විද්‍යුත් මාධ්‍ය වාණිජකරණය වූ ආගම් අඬහැර, වාචාල දේශපාලනය, කොටස් වෙළෙඳ පොළ හෝ අර්ථික වර්ධනය නමැති මිථ්‍යාව මගින් ශිෂ්ටාචාරය වර්ණවත් නොවේ. මානවයා තම සහෝදර මානවයන් හා සොබාදහම සමග සහසබඳතා පැවැත්වීමට උගත්විට පමණක් ශිෂ්ටාචාරය (සංහිඳියාව) අර්ථවත් වෙයි.

කිසිදු භූමියකට සංහිඳියාව විදේශ ආධාර සහ ආගන්තුක ව්‍යාපෘති මගින් ආනයනය කළ නො හැකිය. දේශපාලනික ව පිළුණු ව කල් ඉකුත් වූ බලලෝභී කෑදර අක්‍රීය චරිතාංග මගින් ප්‍රවර්ධනය කළ නො හැකිය. පුරවරයේ වල්මත් ව කලාකරුවන්ගේ වේශයෙන් සංහිඳියාවේ ව්‍යාජ වෙස්මුහුණු පැලඳගත් සම්මාන සහ මුදල් දඩයක්කරුවන්ට ඔවුන් සැරිසරන කඩඉම්වල සහජීවනයේ අරුත පවා මුණ නො ගැසෙයි. එහෙයින් තවමත් සංහිඳියාව මෙම භූමියේ මුණනොගැසෙන මායාවක් පමණි.

අනෙකා සමග සහවාසයේ (ඒකස්ථානී) දී අපේ දැක්මට පරිබාහිර වූව ද විවිධත්වය ශික්ෂාකාමී ව ඉවසා සිටීම ප්‍රගුණ කළ යුතු මානව ක්‍රියාකාරකමකි. මානවයා තවමත් ශිෂ්ට සත්වයකු නො වේ. ශිෂ්ටත්වය (සහජීවනය) උත්පානය වන්නේ නිෂ්පාදන ආර්ථික පදනමක් යටතේ ය. පරිභෝජනයෙන් පමණක් යැපෙන සමාජයක, නව නිපැයුම් නො කරන සමාජයක සහජීවනය යනු හුදෙක් වදන්කෝෂයක එක් වැකිකඩක් පමණි. එහෙයින් සංහිඳියාව යනු අනෙකාගේ විවිධත්වය ඉවසීමට ඉගෙනීම හා අනෙකාට ගෞරව කරමින් සහසබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ සවිඥානික අවබෝධයයි.

සංහිඳියාව යනු හුදෙක් භාෂාවේ එක් වදනක් හෝ නො හැකියාව වසා ගැනීමට භාවිත කරන පැලැස්තරයක් හෝ හිතළුවක් නො වේ. සංහිඳියාව කිසිදු ආකරයක වාණිජ පදනමක් හෝ පරිභෝජනවාදී එළඹුමක් සහිත ව්‍යාපෘතියක් ද නො වේ. සංහිඳියාව පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩ ව ප්‍රවාහයක් ලෙස ගලා යන සමාජයේ ජීවත්වන සියලු ජන කන්ඩායම් අතර පොදු ශික්ෂණය (හික්මීම) පිළිබඳ ව ඇතිවන්නා වූ සමාජ කථිකාවක දීර්ඝ භාවිතය මත නෙළා ගන්නා පොදු අස්වැන්නකි.

නව අදහස දක්වන්න