ආර්ථික ව්‍යාධිය මැතිවරණ ප්‍රතිපත්ති | දිනමිණ

ආර්ථික ව්‍යාධිය මැතිවරණ ප්‍රතිපත්ති

II කොටස

ලසන්ත සෝමරත්න වරලත් මූල්‍ය විශ්ලේෂක සහ මූල්‍ය අවදානම් කළමනාකරු

රජයේ කාර්ය ආයෝජක හිතකාමී විය යුතුය.ආකල්ප වෙනස් කිරීම රජයේ යාන්ත්‍රණය සඳහා අවශ්‍ය වේ.ව්‍යාපාර පුළුල් කිරීම සඳහා නියාමන ආයතන වඩාත් ව්‍යාපාරික හිතකාමී හා කාර්යක්ෂම විය යුතුය. රජය තුළ සංස්කෘතික වෙනසක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් දියත් කළ යුතුය.

ප්‍රතිපත්තිවල නිරන්තර වෙනස්වීම විශාලතම ප්‍රශ්නයයි. බදු රාමුව අවම වශයෙන් ඉදිරි වසර 5 සඳහාවත් වෙනස් නොවන බවට රජය සහතික විය යුතුය. අතීතය සඳහා බලපවත්වන බදු අය කිරීමක් නොමැති බවට සහතිකයක් ලබා දීම අවශ්‍ය වේ. වර්තමාන බදු ආදායමෙන් 200% කට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීම් බවට ඇස්තමේන්තු කර ඇති අතර ඒවා නතර කර බදු අදායම වැඩිකිරීම නම්, බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ.

විධිමත් අංශය අධික බදු බරකට යටත් වේ. කෘත්‍රිම බුද්ධිය සහ දත්ත විද්‍යාව වැනි නව ක්‍රමවේද භාවිත කර බදු එකතු කිරීම වැඩි කිරීම අරමුණු කර ගනිමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කළ යුතුය. දේශීය අාදායම් දෙපාර්තමේන්තුව හි වර්තමාන තත්ත්වය රාජ්‍ය සම්පත් නාස්තියකි. අපේ දරුවන් අනාගත ණය ගැනීම වැලක් වීමට බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දේශීය අදායම් වෘත්තීය සමිතිවල සහ පුළුල් සිවිල් සමාජයේ සහාය ලබා ගැනීම තේරී පත්වන රජයේ යුතුකමකි.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම:

මෙරට රාජ්‍ය අංශය, අවශ්‍යතාවය ඉක්මවා ගිය අධික කාර්ය මණ්ඩලයකින් යුක්ත වන අතර එහි ක්‍රියාකාරිත්වය දැඩි අකාර්යක්ෂමතාවයෙන් යුක්තය. අනෙක් අතට, රජයේ සමහර අංශ නිදහසින් පසු කිසිසේත්ම වැඩිදියුණු වී නොමැති බව පෙනී යයි. උදාහරණයක් ලෙස ඉඩම් අයිතිය පිළිබඳ ලියකියවිලි දැක්විය හැකිය. රාජ්‍ය අංශයේ අතිරික්ත ශ්‍රමය සංචිත කර රජයේ අත්‍යවශ්‍ය අංශ වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති පදනම මත භාවිත කළ යුතුය. ආයෝජනය අවශ්‍ය වන්නේ දැවැන්ත ගොඩනැගිලිවලට පමණක් නොවේ. නව තාක්ෂණය වැලඳ ගැනීමෙන් සේවා සැපයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහා ය.

රජයේ කාර්ය ආයෝජක හිතකාමී විය යුතුය. ආකල්ප වෙනස් කිරීම රජයේ යාන්ත්‍රණය සඳහා අවශ්‍ය වේ. ව්‍යාපාර පුළුල් කිරීම සඳහා නියාමන ආයතන වඩාත් ව්‍යාපාරික හිතකාමී හා කාර්යක්ෂම විය යුතුය. රජය තුළ සංස්කෘතික වෙනසක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් දියත් කළ යුතුය. පෞද්ගලික ව්‍යවසාය රජයට ආදායම් උත්පාදනය කරන අතර රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා ඒවාට පලදායීව හා කාර්යක්ෂමව සේවය සැපයීම කළ යුතුය. මේ සඳහා ප්‍රධාන කාර්ය සාධන දර්ශක (කේ.පී.අයි) උදව් විය හැකි අතර රාජ්‍යයේ සේවකයන්ගේ උසස්වීම් සහ රැකියා වර්ධක එවැනි දර්ශක සමඟ සම්බන්ධ කළ යුතුය. ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු රාජ්‍ය සේවයක් අප ජාත්‍යන්තර ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ අගයක් ලබා ගැනීමට රටට උපකාරී වනු ඇත.

අපනයන දිරිගැන්වීම:

අපනයන කර්මාන්ත දිගු කලක් තිස්සේ නොසලකා හැර තිබුණි. රටේ අපනයන අධික ලෙස සංකේන්ද්‍රණය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන ආදායම එකතැන පල් වී ඇත. බදු සහන දීමෙන් පමණක් අපනයන අරමුණු කර ගත් වීදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි නොවේ. ඍජු විදේශ ආයෝජන ප්‍රතිපත්ති රාමුව වඩාත් පාරදෘශ්‍ය හා විනිවිද පෙනෙනසුලු විය යුතුය. ඉඩම් අයිතිය සරල කළ යුතු අතර නීතිය නිතර වෙනස් නොවන ලෙස සකස් විය යුතුය. ව්‍යාපාර හිමිකාරීත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාමය සහතිකයක් ලබා දිය යුතුය.

වරාය පර්යන්ත දෙක හා ගුවන්තොටුපළ සම්බන්ධ කරමින් අප දැනටමත් ගොඩනගා ඇති මාර්ග ජාලය භාවිත කරමින් රටේ උපායමාර්ගික සමුද්‍රීය පිහිටීම සහ යටිතල පහසුකම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීම ට ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිවම ඉලක්ක කළ යුතුය. හම්බන්තොට අපනයන කලාපය සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. හම්බන්තොට නිදහස් වෙළෙඳ කලාපයට ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු රජය විසින් නිරාකරණය කළ යුතු අතර නිදහස් වෙළෙඳ කලාපය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ යුතුය. වරාය නගරය තුළ ස්ථාපිත කිරීමට යෝජිත නිදහස් මුල්‍ය කලාපය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුය.

ජාත්‍යන්තර ආර්ථික බලපෑමට මුහුණ දීම

අහිතකර උච්චාවචනයන් සහ අඩු ජාත්‍යන්තර වර්ධන අපේක්ෂාවන් යනාදී බාහිර ජාතන්තර ආර්ථිකයේ දැඩි අහිතකර බලපෑමට නව ජනාධිපතිවරයා සහ රජය මුහුණ දෙනු ඇත. ආර්ථිකයේ පවත්නා අඩුපාඩු සහ ගැටලු හේතුවෙන් බාහිර පරිසරයෙන් ඇති වන පීඩනය විශාල විය හැකිය. අප පසුකරන්නේ විශාල බාහිර ණය ආපසු ගෙවීමේ චක්‍රයක් මධ්‍යයේ හිරවී සිටින යුගයකි. මෙම කාලය තුළ රජයට සෑම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 කට ආසන්න මුදලක් ආපසු ගෙවීමට සිදුවේ. ආපසු ගෙවීම සඳහා අරමුදල් සපයනු ලබන්නේ නව ණය ගැනීම් හරහා ය. අමෙරිකා එක්සත් ජනපද මහ බැංකුවේ වර්තමාන ක්‍රියාමාර්ග යම් තරමකට අපට හිතකර වේ. කෙසේ වෙතත් ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීම සහ පවත්වා ගැනීම සඳහා රට ආර්ථික වර්ධනය ප්‍රමුඛ කර ගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය.

කේන්සියානු වර්ධන ආකෘතිය

2015ට පෙර රජයේ වර්ධන ආකෘතිය දේශීය ආර්ථිකය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජයේ වියදම් මත දැඩි ලෙස රඳා පැවතුණි. යටිතල පහසුකම් සඳහා බොහෝ දුරට අරමුදල් සපයනු ලැබුවේ රජයේ ණය හරහා ය. එහි ප්‍රතිඵලයක් ලෙස 2010-2014 කාලය තුළ ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා ප්‍රධාන සාධකයක් වූයේ ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයයි. කේන්සියානු ආර්ථික ආකෘතිය නිර්දේශ කරන්නේ, රටක ආර්ථිකය හැකිලීමකට භාජනය වන විට, ආර්ථික වර්ධනය වේගවත් කිරීමට රජයේ වියදම් වැඩි කිරීම කළ යුතු බවයි.

මෙම ආකෘතිය දිගු කාලීනව තිරසාර සංවර්ධනයක් කරා ගෙනයාමට නම් පෞද්ගලික අංශය වියදම් ක්‍රමිකව වැඩි කළ යුතුය. පෞද්ගලික වියදම් නිරන්තරයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්තිය ආයෝජක හිතකාමී, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි විය යුතුය. ඒ හා සමානව, විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට රජය වෙනත් විකල්ප ගවේෂණය කළ යුතුය. යටිතල පහසුකම් සඳහා වන වියදම් කඩිනම් කිරීම සඳහා රජයට මූල්‍යකරණ විකල්ප රාශියක් තිබේ. එවැනි එක් මාර්ගයක් වන්නේ විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකිරීමේ දී රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයයි.

ජාතික දේපල

අප ජාතියට අත්‍යවශ්‍ය සේවා සැපයීම සිදුකළ යුතු රාජ්‍ය ව්‍යවසායන් (SOES) හි ක්‍රියාකාරිත්වය ඉතා අයහපත් බව කිව යුතුය. ඒවා දියුණු කිරීමට පෞද්ගලීකරණය සහ කළමනාකරණ වැඩිදියුණු කිරීම වැනි විකල්ප කිහිපයක් තිබේ. කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය අංශයේ ව්‍යවසාය (SOE) තුළ පෞද්ගලික අංශයේ කාර්ය සාධනය මත පදනම් වූ කළමනාකරණ සංස්කෘතියක් ඇතිකිරීම අවශ්‍ය වේ. මහාමාර්ග, වරාය සහ ගුවන්තොටුපළ වැනි මහා පරිමාණ වත්කම්වල ප්‍රතිලාභ සිවිල් සමාජය අතර ඵලදායී ලෙස බෙදා ගන්නා තාක් කල් එහි හිමිකාරිත්වය වැදගත් නොවේ. රාජ්‍ය මූල්‍ය සීමාවන් මඟහරවා, හැකි ඉක්මනින් මහජන අභිලාසයන් සපුරාලීම සඳහා පෞද්ගලික අංශයේ පලදායී හවුල්කාරිත්වයක් ඇතිව එවැනි මහා පරිමාණ ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කිරීමට ඇති අවකාශය අප පුළුල් අර්ථයකින් සලකා බැලිය යුතුයි.

* කතුවරයා දේශීය සහ අන්තර්ජාතික මුල්‍ය වෙළෙද පොළ තුළ දීර්ග අත්දැකීම් ලබා ඇත්තකු වන අතර මුල්‍ය සහ අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ සුදුසු කම් ලබා ඇත. මෙම ලිපියේ දැක්වෙන අදහස් ලේඛකයාගේ අදහස් වන අතර කිසිදු ආයතනයක නිල ප්‍රතිපත්තිය හෝ ස්ථාවරය පිළිබිඹු නොකරයි.

අවසානයි.

  

නව අදහස දක්වන්න