නෑනා තිළිණ කළ මාලය | දිනමිණ

නෑනා තිළිණ කළ මාලය

‘අංජන’ ඇගේ රට උළු සෙවිලි කළ නිවස ඉදිරිපිට මිදුලේ, රට පුවක්ගසක හා රතු පේර ගසක ගැට ගසන ලද එල්ලෙන ඇඳක (Hammock) නිස්කාංසුවේ වැතිරී සිටියේය. එය ශක්තිමත්, ඝන කපු නූලෙන් සකස් කළ දැලක් විය.

වේලාව උදෑසන දහය පමණ වූ අතර ඈත කඳු වැටියෙන් නැගුණු හිරු තෙදවත්ව අහසේ අණසක පතුරුවමින් සිටියේය. වත්තේ නිවසට හා මිදුලට වෙන්කළකොටස පමණක් සමතලා හැඩයෙන් යුක්ත විය. ඒ හැරුණු විට අක්කර හතඅටක සාවියෙන් යුතු එම වත්ත පිටිය බෑවුම් සහගත ස්වභාවයකින් සැදුම් ලද්දේය. අතරින් පතර අඹ, ඇම්බරැල්ලා, චීන දෙල්, වල් දෙල්, කජු වැනි ගස්ද දැකගත හැකි විය. මැනවින් අමදින ලද මිදුලේ සුදු වැලි අතුරා තිබිණි.

‘අංජන’ මදක් හිස හරවා නිවසේ ඉදිරි දොර දෙස බැලුවේය. ඔහුගේ සිත රංජනය කරමින් අප්සරා ඔහු වෙත පිය මනිමින් සිටියාය. එතරම් උස් දේහයක් නොතිබුණද එකුන් විසි හැවිරිදි වියේ උන් ඇය බෙහෙවින් නිරෝගී ශක්තිමත් තැනැත්තියක් වූවාය. ළා කොළ පැහැති අත් දිග බ්ලවුසයක් හා සුදු පැහැති කෙටි සායක් ඇය හැඳ උන්නාය.

මෙය හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ හිමි ‘චාල්ස් කුමාරයා’ සහ ඔහුගේ සුරූපී පෙම්වතිය වූ ‘ඩයනා කුමරිය’ අතිනත ගත් සමය විය. ‘ඩයනා’ නම් අයස්කාන්ත, ප්‍රිය දේහිනියගේ කොණ්ඩා මෝස්තරය ලොව පුරා අඟනුන් අතර උන්මාදයක් තරමට පැතිර තිබිණි. අගනුවර සිට ඈත පිටිසර ගම් දනව් දක්වා ජීවත් වූ බො‍හෝ යුවතියෝ දිගු මුහුලස කෙටි කර ‘ඩයනා කට්’ කැපූහ. ඒ මෝස්තර රැල්ලෙන්’අප්සරා’ ද ගැලවුණේ නැත. තරමක කළු පැහැයෙන් යුතු යුවතියක් වුවද, ‘අප්සරා’ දිදුලන දෑසකටද, සම දසන් දක්වා සිනාසෙන සොඳුරු සිනාවකටද උරුමකම් කීවාය.

ඇයට වඩා මාසයක් පමණ වැඩිමහලු වූ ‘අංජන’ ඇගේ ඇවැස්ස මස්සිනා විය. තරමක දුර බැහැර ගම්මාන දෙකක ජීවත් වුවද ඔවුහු පාසල් නිවාඩු කාලයේ මුණ ගැසුණහ. ‘අංජන’ ඇතැම්විට ‘අප්සරාගේ නිවසේ මුළු නිවාඩු කාලයෙන් තුනෙන් දෙකක්ම ගත කළ අවස්ථා තිබිණි. ළමා වියේ ඔවුන් අතර පැවතුනේ සොයුරු පෙමක් පමණි. එහෙත් උතුරා යන තාරුණ්‍යයේ සිහින කොදෙව්වකදී ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.

‘අප්සරා’ සෙමෙන් අංජන වැතිරී සිටින ‘එල්ලෙන ඇඳ’ වෙත ආවාය. ඔහු හිස ඔසව‍ා ඇය දෙස බැළුවේ ස්නේහයෙනි. “අයියේ ඔය‍ා ට තේ ටිකක් අරන් එන්නද?” සිය අනාගත සැමියා වුවද ඔවුන් ළමා වියේ සිටම ආමන්ත්‍රණය කළේ ‘අයියා’ ‘නංගි’ යනුවෙනි. ඇතැම් විට එම ඇමතුමට නමේ කෙ‍‍ාටසක්ද ඇතුළු විය.

“මට ‍ෙත් එපා! ඔය‍ා ළඟට වෙලා ඉන්නව‍ා නම් ඇති”

ඔහු කීවේ හැඟීම්බර කට හඩ්නි. එවිට ඇය සමච්චල් සහගතව සිනාසුණාය.

“ අනේ .....මේ පිස්සු නම් කියවන්න එපා හො‍ඳේ. අපේ අම්මා මා ගැන හෝදිසියෙන් ඉන්නේ”

“ඇයි නැන්දා හිතන්නේ මං ඔයාව ගිලියි කියලද?”

ඔහු ඇසුවේද උපහාසාත්මක ස්වරයෙනි.

ඇය එයට සුදුසු පිළිතුරක් දෙන්නට කල්පනා කළද, එක්වරම ඔහුගේ ගෙල පැළඳි මාලය දුටුවාය. එය ඇයට මීට පෙර දිනයේද දුටු බව මතක ඇතත්, එහි අමුත්තක් නම් පෙනුණේ නැත. එම මාලය වසර දෙකකට ආසන්න කාලයක සිට ඔහුගේ ගෙලෙහි තිබුණේය.

සැබැවින්ම ඒ මාලය ගැන ඉතා හොඳින් දැන උන්නේ ‘අප්සරා’ ම පමණි. ඊට හේතුව එය ඇයට අයිතිව තිබූ වස්තුවක් වීමයි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය ඇරඹුණු යුගයේදිම, ඇය සිය ගෙල පැළඳි මාලය ඔහුට තිළිණ කළාය.

“මේක තමයි අපේ ආදරේ වෙනුවෙන් ඔයාට දෙන්න පුළුවන් සිහිවටනය. ඒත් ඔයාට බොරුවක් කියන්න ඕනි නැහැනෙ. මේක සම්පූර්ණ රත්තරන්වලින් හදපු එකක් නෙවෙයි. අපේ පොඩි අයිය මට මේක අරන් දුන්නෙ. මං හිතන්නෙ මේක රත්තරං ගාපු එකක්.”

“මට ඔයාගෙන් තෑගි ඕනෙ නැහැ. ඔයාව හැම වෙලාවෙම මට මතක් වෙනවා. ඒකට සිහිවටන ඕනි නැහැ.”

ඇය එයට එකඟ වූයේ නැත.

“මට දෙන්න තියෙන්නෙ මෙච්චරයි අයියෙ. මේක ගොඩක් වටින දෙයක් නෙවෙයි. ඒත් මේකෙ රත්තරං පාට කොහොමටවත් යන්නෙ නැහැ. අවුරුදු ගාණක් මං මේක දාගෙන හිටියනෙ. ඔයත් මේක කවදාවත් බෙල්ලෙන් ගලවන්න එපා. ඒක එහෙමයි කියල මට පොරොන්දු වෙන්න.”

රන් ආලේපිත මාලයේ කතාව එසේය. එහෙත් දැන් ‘අප්සරා’ කුතුහලයෙන් අංජන වෙත ළංවී මාලය ස්පර්ශ කරන්නට උත්සාහ කළාය. එවිට පුදුමාකාර ලෙස කලබල වූ ‘අංජන’ මාලය වසං කර ගැනීමට මෙන් තැත් කළේය. එහෙත් ඇය ඔහුගේ විරුද්ධත්වය නොතකාම මාලය අතින් අල්වා පරීක්ෂා කළේය. ක්ෂණයකින් ඇගේ දැකුම්කළු මුහුණ අපමණ විමතියෙන්ද, වේදනාවෙන්ද විකෘති වී ගියේය.

“මේ මොකක්ද මේ? කෝ ඔයාට මං දුන්න මාලේ? අයියෝ ඒකට මොකද වුණේ?”

‘අංජන’ගේ මුවින් එකදු වදනක් හෝ පිට වෙනතුරු ඈ රැඳී සිටියේ නැත. ඇය වේගවත් ගමනින් නිවස දෙසට ඇවිදගෙන ගියාය.

ඔහු විනාඩියක්, දෙකක් කරකියාගත දෙයක් නොමැතිව එල්ලෙන ඇඳට වී සිටියේය. මේ අකරතැබ්බය කොයි මොහොතක හෝ සිදුවන බව ඔහු හොඳින් දැන උන්නේය. එහෙත් දැං ‘අංජන’ දෙකොන පත්තු වූ විලක්කුවේ සිටින කූඹිත්තකු’ මෙන්ය.

එහෙත් තමන්ගේම මෝඩකමින් මාලය සදහටම අහිමි වූ බව කටක් ඇර ඇයට කිව හැකිද?

‘අංජන’ ඉන් පසුව සෙමෙන් සෙමෙන් ඇයගිය දෙසට ඇවිද ගියේය. ඇය කාමරයේ වියන් ඇද මත හිඳගෙන නිහඬවම සිටියා. ;

“ ‘අප්සරා’ නංගි ඇයි මේ?”

ඇය මුනිවත රකිමින් තවත් විනාඩි කීපයක් ගත කළේය. ඇගේ සෝබර දසුනින් මහත් කම්පාවට පත් අංජන ඇයගේ සැනසිල්ල පිණිස සුරතේ මැණික් කටුව ළඟින් අල්වා ගත්තේය. එවිට මෙතෙක් නිදා උන් යමහලක් විදාරනය වූවා සේ විලාප නගමින් ඇය මෙසේ කීවාය.

“අනේ අයියෙ. මට එහෙම කරන්න එපා!”

ඇයගේ මුළු සිරුරම ආවේගයෙන් සලිත විය. ඇයගේ මුව ඇරී විලාප හඬක් නිකුත් වූ අතර, දෑසින් නොකඩවා කඳුළු වක්කඩ ගලා ගියේය.

මීට මාසයකට පමණ පෙර තමන්ගේ නිවසට ආ මනිබඩු වෙළෙන්දන් දෙදෙනා ඔහුට මෙවේලේ මෙනෙහි විය. ඔවුහු ගම්මාන පුරා ඇවිද යමින් පරණ බඩුවලට අලුත් අරුමෝසම් බඩු ලබා දුන්හ. තමන්ගේ මාලය රත්තරන් දැයි නිකමට විමසූ වෙළෙන්දන්ට ‘අංජන’ අභියෝග කළේ, එහි රන් පැහැය ගැන පුරසාම්ද දොඬමිනි. මාලය පරීක්ෂා කරන්නට ඉල්ලූ, සේරිවාණිජයන්ට එය ලබා දුන්නේ මන්දැයි ඔහුට නිනව්වක් නැත.

ඔවුන් අතුරින් මැදිවියේ කැහැටු මිනිසා එය ඔහුගෙන් ඩැහැගත්තේ අතට දීමටත් පෙරය. සාවද්‍ය සිනාවක් පෑ ඔහු එය සිමෙන්ති පඩිය උඩ තැබුවේය. සෝමාරියකුගේ පෙනුමක් තිබූ අනෙක් තරුණ වෙළෙන්දා, කුඩා කුප්පියකින්, මොනවාදෝ දියරයක් මාලය මතට හැලුවේය. තත්ත්පර කීපයකින් ‘සූ....සූ...’ හඬක් නැංවිණි. බොහෝ ප්‍රාර්ථනා කැටිව ‘අප්සරා’ සිය ඇවැස්ස මස්සිනාට දුන්මාලය මොහොතකින් අජූත කළු පැහැයට හැරිණි.

“පේනවද ඒක රත්තරන් නෙවෙයි!”

මැදිවියේ මිනිසා හැඟීමක් නැතිව එසේ කීවේය. ඔහුගේ වචනවල නිර්දය ස්වරූපයක් ගැබ් විය.

කිසිදු හේතුවක් නොමැතිව කවර නරකාදියකින් පැමිණියාදැයි නොදන්නා ඒ නරුම මිනිස්සුන්ට, මාලය ගලවා පරික්ෂා කරන්නට ඉඩ දුන්නේ කුමන උමතුවක් නිසාදැයි ‘අංජන’ තමන්ටම දසදහස් වර ශාප කරගත්තේය.

ඊටත් වඩා අරුමය නම්; ‘අංජන’ සිය සෙනේබර නෑනන්ඩියගේ මාලය ඔවුන්ටම රැගෙන යන්නට ඉඩදීමයි. එපමණක් නොව ඔවුන් විසින් ඒ හිලව්වට ලබා දුන් උලව් රෝල්ගෝල්ඩ් මාලය ඈ රවටනු රිසින් ගෙල පැළැඳ සිටීමයි!

 

Tiniwick [email protected]

නව අදහස දක්වන්න